ඉරානයේ නව ශ්‍රී ලංකා තානාපති ලෙස වැඩ ඇරඹූ මහාචාර්ය ෆසීමා අස්මි ගැන මේ තොරතුරු ඔබ දැන සිටියා ද?
ඉරානයේ නව ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස පත්වීම් ලැබූ මහාචාර්ය ෆසීමා අස්මි ජූනි 30 වන දින ටෙහෙරානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී වැඩ භාරගෙන තිබේ.
මේ වසර මුලදී ඇයගේ පත්වීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි වී තිබිණි.
ඉරානය දෙන බව කී ඉන්ධන ශ්‍රී ලංකාවට ඇත්තට ම ලබා ගන්න පුළුවන් ද?
ඉරාන තානාපති ධූරය දැරීමට පෙර ඇය වසර ගණනාවක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා මහාචාර්යවරියක ලෙස කටයුතු කර තිබේ.
අධ්‍යාපනය
ඇය මාවනැල්ල සහිරා විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය හදාරා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වී ඇති අතර, එහිදී භූගෝල විද්‍යාව සඳහා ඇය පළමු පෙළ පන්ති සාමාර්ථයක් සහිතව 1995දී ශාස්ත්‍රවේදී උපාධි පාඨමාලාව අවසන් කර තිබේ.
ඉන්පසුව ඇය 1996 වසරේ සිට කථිකාචාර්යවරියක ලෙස 2001 වසර දක්වා කාලයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සේවය කළ අතර එම කාලය තුළදී ඇය සිය පශ්චාත් උපාධිය හැදෑරීම සඳහා නෝර්වීජියානු විශ්වවිද්‍යාලයක ශිෂ්‍යත්වයකට සුදුසුකම් ලැබී ය.
ඒ අනුව, නෝර්වීජියානු විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලය පිරිනමන, සංවර්ධනය වෙමින් පවතින රටවල සමාජීය විපර්යාස (සංවර්ධන අධ්‍යයන) පිළිබඳ දර්ශනපති උපාධියක් හැදෑරීම සඳහා ශිෂ්‍යත්වයකට 1997 වසරේදී ඇය සුදුසුකම් ලැබූ අතර, එම විශ්වවිද්‍යාලයේ ම භූගෝල විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය හැදෑරීම සඳහා ද 2004 වසරේදී ශිෂ්‍යත්වයක් හිමි කර ගත්තා ය.
පසුව ඇය, නෝර්වීජියානු විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ ම පශ්චාත් ආචාර්ය උපාධියක් සම්පූර්ණ කර තිබේ. ඒ, 2016 සිට 2018 දක්වා කාලයේදී ය.
වෘත්තීය ගමන් මග
1996දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක ලෙස සේවය කිරීම ආරම්භ කිරීමෙන් පසුව මහාචාර්ය ෆසීමා 2001 වසරේදී දෙවන ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක ලෙස උසස්වීමක් ලැබූ බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නිල වෙබ් අඩවියේ සඳහන් වේ.
2009 වසරේ සිට 2012 දක්වා ඇය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය උපදේශිකාවක ලෙස කටයුතු කර තිබේ.
ඉන්පසුව ඇය 2013 සිට 2015 දක්වා ජනවාර්ගික අධ්‍යයන සඳහා වූ ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකාවක ලෙස කටයුතු කර ඇති අතර, 2012 සිට 2019 දක්වා කාලයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ "නූතන ශ්‍රී ලංකා අධ්‍යයන" සඟරාවේ කර්තෘ මණ්ඩල සාමාජිකාවක ලෙස ද, 2012 සිට 2015 කාලයේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දුරස්ථ හා අඛණ්ඩ අධ්‍යාපන මධ්‍යස්ථානයේ අධ්‍යන මණ්ඩල සාමාජිකාවක ලෙස ද කටයුතු කර ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය නිල වෙබ් අඩවිය සඳහන් කරයි.
ඉන්පසුව මහාචාර්ය ෆසීමා 2015 අගෝස්තු මාසයේ සිට 2016 මැයි දක්වා සහකාර මහාචාර්යවරියක ලෙස ෆීජි ජාතික විශ්වවිද්‍යාලයේ සේවය කර ඇත.
2020 වසරේ සිට ඇය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්යවරියක ලෙස කටයුතු කර ඇත.
මේ අතරතුර ඇය, විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කවුන්සිලයේ සාමාජිකාවක ලෙස ද, පීඨ පර්යේෂණ කමිටුවේ සභාපතිවරිය ලෙස ද කටයුතු කර තිබේ.
පර්යේෂණ සහ විශේෂඥතා
මහාචාර්ය ෆසීමා අස්මි තාරුණ්‍යය, දරිද්‍රතාව සහ ජීවනෝපායේ වෙනස්කම්, කාන්තාවන් සහ සංක්‍රමණය වීම්, අභ්‍යන්තර අවතැන්වීම්, සංචාරක ව්‍යාපාරය, කුඩා පරිමාණ ධීවර කටයුතු, නාගරික සංස්කෘතික උරුමයන් සහ ශ්‍රී ලංකාවේ පශ්චාත් යුද සංවර්ධනය යන ක්ෂේත්‍රවල ඉගැන්වීම, පර්යේෂණ සහ ශාස්ත්‍රීය කටයුතුවල වසර 20කට අධික කාලයක් නිරත වූ බව ටෙහෙරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිල ෆේස්බුක් ගිණුමේ සඳහන් කර තිබේ.
එමෙන් ම ඇය බොහෝ ශාස්ත්‍රීය සඟරාවලට ද, පශ්චාත් යුද සමය සහ කාන්තාවන්, එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් සිදුවූ අනතුර, ධීවර කර්මාන්තය වැනි බොහෝ විෂය පථයන් ඔස්සේ ලිපි ද සම්පාදනය කර තිබේ.
(www.bbc.com/sinhala)

