විදේශගත ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් නව පනතක්; ඉතිහාසයේ වැඩිම විදේශ ප්‍රේෂණ වත්මන් රජය යටතේ - අමාත්‍ය විජිත හේරත්
විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ අයිතිවාසිකම් සහ සුරක්ෂිතතාවය වෙනුවෙන් පවතින නීතිමය අඩුපාඩු මඟහරවා ගනිමින් සකස් කළ නව විදේශ රැකියා පනත කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අද දින පාර්ලිමේන්තු කතාවේදී ප්‍රකාශ කළේය. එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ විදේශගත ලාංකිකයන්ට ඡන්ද අයිතිය ලබා දීමේ ක්‍රමවේදය සහ දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක මූලික කටයුතු මේ වන විට සකස් වෙමින් පවතින බවයි. එසේම, ලෝකයේ ඕනෑම තැනක සිට තමන්ගේ ගැටලු ඉදිරිපත් කළ හැකි "ලංකා කොනෙක්ට්" (Lanka Konnect) වෙබ් අඩවිය සහ ඇප් එක හඳුන්වා දී ඇති බවද ඔහු පැවසීය.
රැකියා ඒජන්සි ජාවාරම් සහ අල්ලස් ලබා ගැනීම් සම්පූර්ණයෙන්ම නතර කර ඇති අතර, CID නිලධාරීන් ද ඇතුළත් විශේෂ විමර්ශන ඒකකයක් හරහා නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා අවධාරණය කළේය. මීට අමතරව, විදේශගතව සිටියදී මියයන ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් පෙර ලබාදුන් රුපියල් ලක්ෂ 6ක වන්දි මුදල රුපියල් ලක්ෂ 20ක් දක්වා ඉහළ නංවා තිබේ. ආර්ථිකය පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ රජය බලයට පත්වූ පළමු වසරේදී ඉතිහාසයේ වැඩිම විදේශ ප්‍රේෂණ ලෙස ඩොලර් බිලියන 8ක් ලැබී ඇති අතර, 2026 වසරේ ගතවූ මාස 6 තුළ පමණක් ඩොලර් බිලියන 4.75ක් රටට ලැබී ඇති බවයි. උතුරේ තරුණ තරුණියන් වෙනුවෙන් නව පුහුණු මධ්‍යස්ථානයක් ද කඩිනමින් පිහිටුවන බව ඔහු පැවසීය.
නව රැකියා වෙළඳපොළවල් පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ජපානය සමඟ ගිවිසුම් අත්සන් කරමින් ට්‍රක් රථ රියදුරන්, ඉදිකිරීම් ශ්‍රමිකයන් සහ උපාධිධාරීන් සඳහා අලුත් අවස්ථා විවෘත කර ඇති බවයි. ඉතාලි සාමාන්‍ය රියදුරු බලපත්‍ර ප්‍රශ්නය විසඳා ඇති අතර, ඊශ්‍රායල රැකියා සඳහා පුද්ගලික අංශයට අය කළ හැක්කේ උපරිම මාසික වැටුප මෙන් දෙගුණයක් පමණක් බවත්, ලක්ෂ 40-45ක් ඉල්ලන ජාවාරම්කරුවන්ට මුදල් නොදෙන ලෙසත් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය. රට බංකොලොත් කරපු යුගය අවසන් කරමින් විදේශගත ශ්‍රමිකයන් එවන මුදල්වලින් නැවත රට ගොඩගන්නා බැවින් ඔවුන්ගේ අයිතිය සහ ගෞරවය ආරක්ෂා කිරීමට රජය බැඳී සිටින බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

