මානව අයිතිවාසිකම් හමුවේ පොලිසියේ යුතුකම් හා වගකීම් පිළිබඳ නීතිමය රාමුව

මානව අයිතිවාසිකම් හමුවේ පොලිසියේ යුතුකම් හා වගකීම් පිළිබඳ නීතිමය රාමුව

පොලිස් නිලධාරීන්ගේ සේවයට අදාළ යුතුකම් හා අයිතිවාසිකම් ඇතුළත් කර ඇත්තේ 1866  අංක 17  දරන පොලිස් ආඥා පනත,   පොලිස් දෙපාර්තමේන්තුව විසින්  නිකුත් කරන  චක්‍ර ලේඛණයන් තුළය.  මෙහිදී ඔබට  බැලූ බැල්මට පෙනී යන්නේ ශ්‍රී ලංකාව තුළ බල පවතින පොලිස් ආඥා පනත 1866  තරම් ඉතා පැරණි වූවකි. එය නිරන්තරයෙන් සංශෝධනයට ලක් වී තිබුණ ද එහි සාම්ප්‍රදායික සහ යල් පැන ගිය  මූලික නීතීන් මත පදනම්ව ක්‍රියාත්මක වන බවක් පෙනේ. එපමණක් නොව මෙම ප්‍රධාන නීතීන්,02 ට  අමතරව අපරාධ නඩු විධාන ස‍ංග්‍රහය, මෝටර් රථ ප්‍රවාහන පණත යනාදිය මගින්ද පොලිස් නිලධාරීන්ට වගකීම් හා යුතුකම් රාශියක් පවරා ඇත.

ශ්‍රී ලංකා පොලීසියේ ඉතිහාසය දෙසට අවදානය යොමු කල විට පෙනී යන්නේ පොලීසියේ ප්‍රධානතම සහ ප්‍රචලිත කාර්යය වී තිබු‌ණේ නගරවල ආරක්ෂාව සැපයීම සහ සාමය ආරක්ෂා කිරීමයි. එනම් බ්‍රිතාන්‍ය සහ ඉංග්‍රීසි පාලනයත් සමඟ මුහුදුබඩ ප්‍රදේශවලට ආරක්ෂාව සඳහා පොලීසියේ රාජකාරි වැඩියෙන් ව්‍යාප්ත කරන්නට විය.ක්‍රමයෙන් එය අනිකුත් ප්‍රදේශවලටද පසුව ව්‍යාප්ත වී ඇත.

1948 වර්ෂයේදී ශ්‍රී ලංකාව නිදහස් රාජ්‍යයක් වීමත් සමඟම පොලිස් දෙපාර්තමේන්තුවේ යම් යම් වෙනස්කම් සිදුවී ඇත. එනම් මුල්වරට කාන්තා පොලිස් සේවය ,විශ්‍රාමික දීමනා ගෙවීම,නොමිලේ ගමන් බලපත්‍ර නිකුත් කිරීම වැනි දෑය.

1983 වර්ෂයේදී පොලිස් විශේෂ කාර්යය බලකාය පිහිටුවීම,1948 දී පොලිස් සමුද්‍රික ඒකකය පිහිටුවීම,2002 වසරේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 17 වන සංශෝධනයට අනුකූලව පොලිස් කොමිසම පිහිටුවීම,21 වැනි සියවසේ ශ්‍රී ලංකා පොලීසියට ඇතුලත්කළ වැදගත් හඳුන්වාදීමකි.

එය හුදෙක් ස්වාධීන පොලිස් කොමිසමක් බවට උදම් ඇනුවද එහි ස්වරූපය වෙනස් කරමින් දේශපාලනීකරණයට හසුවෙමින් පක්ෂග්‍රාහීව කටයුතු කරන බවක් පසුකාලීනව පෙනෙන්නට විය. පොලිස් දෙපාර්තමේන්තුව යටතේ සේවය කරන පිරිමි හා කාන්තා සියළුම නිලධාරීන් සිවිල් වැසියන්ගේ සාමය හා ආරක්ෂාව සපයන්නට බැඳී සිටින නිලධාරීන් කොට්ඨාශයක් විය යුතු වුවද වර්තමානය වනවිට  ඔවුන්ගේ රැකියාවේ ස්වරූපයද වෙනස්කරමින් විකෘති මුහුණුවරකින් හැසිරෙම මානව අයිතිවාසිකම්ද උල්ලංඝනය කරමින් හැසිරීම අප්‍රසන්න සහ පිළිකුල් බවක් දැනෙනා දෙයක් බවට පත්වී ඇත. සාමාන්‍යයෙන් පුද්ගලයෙකු වන පොලිස් නිලධාරියා තමන්ගේ නිල ඇඳුම ඇඳගත්විට තමා සිවිල් ජනතාවගේ ආරක්ෂාව උපරිම ලෙස සපයන්නෙකු විය යුතුය.

පොලිස් ආඥා පණතේ 56 වගන්තිය අනුව පොලිස් නිලධාරියෙකුගේ කාර්යයන් හා වගකීම් මොනවාද යන්න සොයා බැලීම අප කාටත් වැදගත් වේ.ඒවා නම්,

  1. සියලු අපරාධ වැරදි සහ මහජන පීඩා වැලැක්වීමට උපරිම උත්සාහය සහ හැකියාව යෙදීම
  2. සාමය ආරක්ෂා කිරීම
  3. කලහකාරී සහ සැකකටයුතු පුද්ගලයින් අල්ලා ගැනීම
  4. වැරදිකරුවන් අල්ලාගෙන  අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම
  5. මහජන සාමය කෙරෙහි බලපෑම් ඇතිවන්නාවූ තොරතුරු රැස් කිරීම හා දැන්වීම.
  6. ඉහළ නිලධාරීන්ගේ නීත්‍යානුකූල නියෝග සහ වරෙන්තු ක්‍රියාත්මක කිරීම

ඉහත සඳහන් කාර්යයන් දෙස බැලූවිට මෙම කාර්යයන් නිසි ආකාරයෙන් ක්‍රියාවට නගන්නේද යන්න අප තුළ මතුවෙන ප්‍රබල ප්‍රශ්නයකි. එනම් උදාහරණයක් ලෙස සියලු අපරාධ වැරදි සහ මහජන පීඩා වැලැක්වීමට පොලිස් නිලධාරීන් උපරිම උත්සාහය ගත යුතුය" යන්නෙන් ඔවුන් නියමාකාරයෙන් අපරාධ සොයාබලා අපරාධකරුවන්ට නීතියේ රැහැනට හසු කරන්නේද? එසේත් නැතිනම් අපරාධකරුවන් නිදැල්ලේ සිටියදී අහිංසක පාර්ශවයන්ට දඬුවම් ලබා දෙන්නේද? යන ප්‍රශ්නය මතුවේ.වර්තමානයේ රටතුළ පවතින අර්බුදය හමුවේ අපට පෙනී යන්නේ පොලිස් නිලධාරීන් තමුන්ගේ රාජකාරි වපසරිය තුලින් ඔබ්බට ගොස් කටයුතු කරන බවකි.

අපරාධයක් සිදුවෙන බව දැනගත් විට එය මර්දනය කල යුත්තේ කිසිඳු පකෂග්‍රාහීත්වයකින් තොරවය. නමුත් අද වන විට තත්ත්වය වෙනස් වී ඇත.දේශපාලනික නියෝග මත සහ තම පොලීසියේ ඉහළ නිලධාරීන්ගේ නියෝගවලට අනුව කටයුතු කරන අතර ඒහිදී සිදුවිය යුත්තේ ඉහළ නිලධාරීන්ගේ නීත්‍යානුකූල නියෝග ක්‍රියාත්මක කිරීමයි. ඉහළ නිලධාරියෙකු වුවද යම් සිවිල් පුරවැසියෙකුට වෙඩිතබා මරාදමන ලෙස නියෝග කලද එය මනුෂ්‍ය අයිතිවාසිකම් උල්ලංඝනයක් මිස නීත්‍යානුකූල නියෝගයක් නොවේ. මේ සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් ඉතා පුළුල්ව සහ විවෘත මනසකින් නොබලන්නේ මනුෂ්‍යයින්ගේ අයිතිවාසිකම් මොනවාද?යන්න හරිහැටි නොදන්නාකම නිසාද නැතහොත් අපරාධ මර්ධනය පසෙකලා අපරාධ වර්ධනය කිරීමට අවශ්‍යව ඇති නිසාද? යන්න සැකයක් මතුවෙයි.

පොලිස් ආඥා පණතේ 95 වගන්තිය අනුව අනවසරයෙන් පිස්තෝල,කඩු,පොලු ආදී ආයුධ රැගෙන පෙළපාලිවල ගමන් කිරීම වරදක් වෙයි.එකී වරදට වරදකරුවෙකු වන්නෙකුට වසරක බරපතල සිරදඬුවමකට හෝ දඩයකට යටත්කළ හැකිය.නමුත් වර්තමානයේ සාමකාමී මහජන අරගලයන් තුලට පොලිස් නිලධාරීන් අවි ආයුධ සමග පෙලපාලි හරහා ගමන් කිරීම, අරගලයේ යෙදි සිටින්නන්හට තර්ජන,බිය වැද්දීම,වක්‍රාකාරයෙන් සිදුකරයි. මේ සම්බන්ධයෙන් මහජනතාවට පොලීසියට පැමිණිලි කල හැකිය. නමුත් එහිදී හොරාගේ අම්මාගෙන් පේන ඇහුවට වැඩක් නොවන නිසා පැමිණිලි දමන්නේ නැත.

කෙසේ වුවද පොලීසියේ බලතල ක්‍රියාවට නැංවීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වන ව්‍යවස්ථාවේ වැදගත් මූලික අයිතීන් සමග තුලනාත්මක සැළකිල්ලට ගෙන ක්‍රියාකල යුතුය. 14 (1) සෑම පුරවැසියෙකුටම භාෂණයේ නිදහසට හා ප්‍රකාශනයට, අදහස් පල කිරීමේ නිදහස, සාමකාමීව රැස්වීමේ නිදහස, සමාගමේ නිදහස, වෘත්තීය සමිති පීටුවීමේ සා වෘත්තීය සමිතිවලට බැඳීමේ නිදහස ඇත්තේය. එවැනි අයිතීන් භුක්ති විදීම ප්‍රචණ්ඩත්වයෙන් තොරව සමකාමීව සිදුකරන විට පොලීසිය අත්තනෝමතිකව ක්‍රියාකිරීම අනවශ්‍ය බලය යොදා මර්ධනය කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ එකී පොලිස් නිලධාරියාට විරුද්ධව පෙත්සමක් ගොනුකර මානව අයිතිවාසිකම් නඩුකර පැවරිය හැකිය.

අවසාන වශයෙන් පොලිස් නිලධාරියා රජයේ සේවකයකු ,අපරාධ නිවාරකයෙකු සහ සාම නිලධාරියෙකු සේම අපක්ෂපාතීව සේවයේ නියැලෙමින් සිය වෘත්තීය ගෞරවය ආරක්ෂා කර ගැනීමට කටයුතු කල යුතුය. එනම් රජයේ සේවකයෙකු නිරන්තරයෙන් රටේ ජනතාවට සේවය කල යුතු සේම අනීතිකව කටයුතු නොකල යුතුය.