වෘත්තීය සමිති නීතිය

වෘත්තීය සමිති නීතිය

ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකාය හා බැඳී පවතින වෘත්තීය සමිති ව්‍යාපාරය පිළිබඳ නීතිමය තත්ත්වය කුමක්ද සහ ඊට අදාළව බලපාන්නාවූ නීතිමය ප්‍රතිපාදන සම්බන්ධයෙන් මෙවර වැඩබිම නීති පිටුව වෙන්කර ඇත.එහිදී ඔබට වැදගත්වන්නාවූ නීතිමය කරුණු සම්බන්ධයෙන් ප්‍රශ්න හා පිළිතුරු වශයෙන් පහතින් සඳහන් කර තිබේ.

01: ප්‍රශ්නය : ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති සම්බන්ධව නීතිමය ප්‍රතිපාදන දක්වා ඇති ලේඛන මොනවාද?

පිළිතුර

  1. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
  2. 1935 අංක 14 දරන වෘත්තිය සමිති ආඥා පනත
  3. 1999 අංක 56 දරන කාර්මික ආරවුල් සංශෝධන පනත

 

02. ප්‍රශ්නය : වෘත්තීය සමිති අයිතිය ජාත්‍යන්තර සංවිධාන(ILO) මගින්  පිළිගෙන ඇති ජාත්‍යන්තර සම්මුතීන් මොනවාද?

පිළිතුර

  1. ILO 87 වැනි සම්මුතිය- මෙමගින් එක් රැස්වීමේ නිදහස හා සංවිධානය වීමට ඇති අයිතිය ආරක්ෂා වේ.
  2. ILO 98 වැනි සම්මුතිය- මේ මගින් සංවිධානය වීමට හා කේවල් කිරීමට ඇති අයිතිය දක්වා ඇත.

 

03. ප්‍රශ්නය : 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් වෘත්තීය සමිති වලට ලබාදී ඇති අයිතීන් කවරේද?

පිළිතුර

මෙමඟින් වෘත්තිය සමිතියක සාමාජිකයෙකු වීමට හා වෘත්තිය සමිති පිහිටුවීමට ප්‍රකාශිතව ම අයිතිය ලබාදී නොමැති වුවද එහි (18)(1) (ඊ) ව්‍යවස්ථාව මගින් එක්රැස් වීමට ඇති අයිතිය පිළිගෙන ඇත. එනම් වක්‍රාකාරයෙන් වෘත්තිය සමිති පිහිටුවා ගැනීමට ඇති අයිතිය පිළිගන්නා බවයි.

 04. ප්‍රශ්නය : 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් වෘත්තීය සමිති සම්බන්ධයෙන් ලබා දී ඇති නීතිමය අයිතීන් කවරේද?

 පිළිතුර

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වෙනි පරිච්ඡේදය මගින් මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් ප්‍රතිපාදන දක්වා ඇත. ඒ අනුව 14(1)d ව්‍යවස්ථාව මගින් සෑම පුරවැසියෙකුටම වෘත්තීය සමිති පිහිටුවීමේ හා වෘත්තිය සමිති වලට බැඳීමේ නිදහස ලබා දී ඇත. එසේම එහි දක්වා ඇති භාෂණයේ නිදහස, ප්‍රකාශනය ඇතුළු අදහස් පළකිරීමේ නිදහස, සාමකාමීව රැස්වීමේ නිදහස, සමාගමේ නිදහස ආදි අයිතීන් ද වෘත්තිය සමිති අයිතිවාසිකම් හා සම්බන්ධ වේ.

05. ප්‍රශ්නය : කාර්මික ආරවුල් පනතේ 1999 අංක 56 දරණ සංශෝධනය අනුව වෘත්තීය සමිති අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ලබාදී ඇති නීතිමය ප්‍රතිපාදන කවරේද?

 පිළිතුර

කාර්මික ආරවුල් පනතේ 32 (a) වගන්තිය අනුව සේවායෝජකයකු විසින් සේවකයෙකුට වෘත්තීය  සමිතියක් පිහිටුවීම හෝ වෘත්තිය සමිතියක සාමාජිකයෙකු වීම වැළැක්වීම හෝ ඊට බලපෑම් කිරීම සිදුකළ නොහැක. වෘත්තිය සමිතියකට  යම් ආයතනයක සේවකයන්ගෙන් හතළිහකට වඩා වැඩි ප්‍රමාණයක් සිටීනම් සේවායෝජකයා විසින් එම ආයතනයේ සේවකයන් හට වෘත්තිය සමිති හරහා සෑම සාමූහික කේවල් කිරීම සඳහා ඇති අයිතිය පිළිගත යුතුය.

06. ප්‍රශ්නය : කාර්මික ආරවුල්  පනතේ ඇති ප්‍රතිපාදන උල්ලංඝනය කරන සේවායෝජකයාට එරෙහිව ගත හැකියි නීතිමය පියවර කවරේද?

පිළිතුර .

කාර්මික ආරවුල් පනතේ සඳහන් කර ඇති වෘත්තිය අයිතිවාසිකම් කඩකරන සේවායෝජකයකු නීතිමය වරදක් සිදු කරයි. ඒ අනුව ඔහුට විරුද්ධව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරිය හැක. ඒ සඳහා දඩය රුපියල් 20,000-100,000 දක්වා 2011 කාර්මික ආරවුල් සංශෝධනයට  අනුව වැඩි කර ඇත.