තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම ගැන ඇති නීතිමය තත්වය විමසා බලමු

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම ගැන ඇති නීතිමය තත්වය විමසා බලමු

ප්‍රජාත්‍රන්ත්‍රවාදී සමාජයක වෙසෙන සෑම පුරවැසියෙකුටම රාජ්‍ය තොරතුරු ලබා ගැනීමේ අයිතිය ඉතා වැදගත් අවශ්‍යතාවයකි.මන්ද යත් රාජ්‍ය තොරතුරු ජනතාවට මුදා හැරීම තුළින් රාජ්‍ය සහ මහජනතාව අතර මනා අන්තර් සම්බන්ධතාවයක් පවත්වාගෙන යා හැකිය.

එසේ නොවෙන අවස්ථාවන්හිදී රජය සහ මහජනතාව අතර සැක ඇතිවීම තුළින් අනවශ්‍ය නිරන්තර ගැටුම් ඇතිවිය හැකිය.එම නිසා මෙම තොරතුරු ලබා දීම සහ ලබා ගැනීම තුළින් ප්‍රජාත්‍රන්ත්‍රවාදය සුරැකෙන සමාජයක් බිහිවෙයි.

මෙම මාතෘකාවට අදාළ මූලික නීතිය මෙම ලිපිය හරහා පලකරන අතර ඊට අදාළ කාර්ය පටිපාටිය ඉදිරි ලිපියෙන් බලාපොරොත්තු වෙන්න.

01. ගැටළුව

තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකමේ ඇති වැදගත්කම කුමක්ද?

පිළිතුර :

ප්‍රජාතන්ත්‍රවාදය පිළිගනු ලබන ඕනෑම රජයක  මූලික කාර්යභාරය වන්නේ සිය රාජ්‍ය ආයතන මගින් සෑම තොරතුරක්ම ජනතාවට ලබාගැනීමට ඇති අයිතිය තහවුරු කර දීමයි. තොරතුරු යනු ප්‍රජාතන්ත්‍රවාදයේ  ප්‍රධානම අංගයක් වන අතර ජනතාවගේ යහපත උදෙසා එකී සියලු තොරතුරු ලබාදීම තුළින් රාජ්‍ය ආයතන තුළ සිදුවන්නාවූ වංචාව හා දූෂණය වැනි වැරදි භාවිතාවන් අඩු කර ගැනීමට හැකිවේ. එහිදී රජයේ නිලධාරීන් සිය කාර්යභාරයන් ඉටු කිරීමේදී ඔවුන් ගන්නා තීරණ තීන්දු කෙරෙහි වගකීමක් මෙන්ම වගවීමක්ද මෙමගින් සිදුවේ.

මෙම තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම තුලින්  රටක බදු මුදල් මනා ලෙස කළමනාකරණය කිරීම, රාජ්‍ය නිලධාරීන්ගේ වංචා දූෂණ ක්‍රියා අවම කිරීම, යහපාලන මූලධර්ම තහවුරු කිරීම, මාධ්‍යවේදීන්ට රටේ පවතින අනතුරුදායක තත්වයන් ජනතාවට මනා ලෙස වාර්තා කිරීම,රටේ පරිපාලනය පිළිබඳ විනිවිදභාවයක් ඇතිවීම, ජනතාවට රජයේ තීරණ ගැනීමේ ක්‍රියාවලියට සක්‍රීයව දායක වීමට හැකි වීම, රටේ ආර්ථික සංවර්ධනයට, සහ සමාජය තුළ වඩා සහනදායි මානසික තත්වයක් ජනතාවට ලබාගත හැකිය. 

02.ගැටළුව

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පෙර පැවති නීතිමය තත්ත්වය කෙසේද?

පිළිතුර :

මෙම අයිතිය පිළිබඳ තොරතුරු සැඟවීම අප රට තුළ තිබුණු මූලික සංස්කෘතියක් ලෙස දැක්විය හැකිය. එනම් මෙමගින් රටේ ජනතාවට රාජ්‍ය තොරතුරු වංචා කොට නොයෙකුත් ආකාරයේ පරිපාලනමය දූෂිත ක්‍රියා සිදු කිරීමේ අවස්ථාව තිබුණි.

මේ තත්ත්වය සඳහා බලපෑ නීතිය වන්නේ,

1. රාජ්‍ය රහස් පනත

2.ආයතනික සංග්‍රහය

3. හදිසි නීති රෙගුලාසි

4. පුවත්පත් නීතිය

ඉහත සඳහන් මෙම පනත් හරහා ජනතාවට රාජ්‍ය තොරතුරු ලබා දීමේ අයිතිය සීමා විය.

නමුත් පසුකාලීනව මෙම තොරතුරු දැනගැනීමේ අයිතිය දිරිගැන්වීමේ නීතීන් කීපයක් දක්නට ලැබුණි. ඒවා නම්,

1.1975 වත්කම් හා වගකීම් ප්‍රකාශ කිරීමේ නීතිය

2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිපාදන හා නඩු තීන්දු

03. ගැටළුව

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකමට ඇති ජාත්‍යන්තර නීතිමය තත්වය කෙසේද?

පිළිතුර :

මෙම අයිතිවාසිකම මුලින්ම ස්වීඩන් රටේ 1766  පනතකින් පිළිගනු ලැබීය. එනම් එහි වටිනාකම අන්තර්ජාතික වශයෙන් පසුකාලීනව ව්‍යාප්ත වන්නට විය. මෙම අයිතිය 2011 සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය මගින්ද පැහැදිලි කොට ඇත. මෙමගින් ජාතික අයිතිය පමණක් නොව ජාත්‍යන්තර තොරතුරු ලබාගැනීමේ අයිතිය දක්වා මෙම අයිතිය පුළුල් වී ඇත. තවද මෙම අයිතිය මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය යෝජනා සම්මුතිය ආදි මගින් තහවුරු කොට ඇත.

 04. ගැටළුව

ශ්‍රී ලංකාව තුළ පනතකින් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම නීත්‍යානුකූල වූයේ කෙසේද?.

පිළිතුර 

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ලබා දී තිබූ මෙම අයිතිවාසිකම 19 වන සංශෝධනය මගින් වඩා ශක්තිමත් වී ජනතාවට මෙම අයිතිය වර්තමානයේ ප්‍රායෝගිකව භුක්ති විඳීමට අවස්ථා උදාවිය.

එනම් 14 (අ) (1) යටතේ එම අයිතිය 19 වන සංශෝධනය හරහා එකතු වී ඇත. එමෙන්ම 14 (2) ව්‍යවස්ථාව මගින් මෙම අයිතිවාසිකම සීමා කොට ඇත.

2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත අනුමත වීමත් සමඟම ජනතාවට මෙම අයිතිය භුක්ති විඳිය හැක. තවද මෙම පනතට අදාලව මේ වන විට අති විශේෂ ගැසට් නිවේදන 03ක් නිකුත් කොට ඇත.

ඒවා නම්

1. 2017 ජනවාරි මස 20 දින ඇති 2002/42 දරන අති විශේෂ ගැසට් පත්‍රය

2. 2017 පෙබරවාරි මස 03 දින ඇති 2004/66 දරන අති විශේෂ ගැසට් පත්‍රය

3. 2017 පෙබරවාරි මස 17 දින ඇති2006/43 දරන අති විශේෂ ගැසට් පත්‍රය

මෙම ගැසට් පත්‍ර මගින් නීති ක්‍රියාත්මක වන ආකාරය, පනතට අදාළ නියෝග සහ තොරතුරු දැනගැනීමේ කොමිසමට අදාල රීතී පෙළ ගස්වා ඇත.