යෝජිත කම්කරු පනත සම්මත වුනොත් මෙන්න සේවකයින්ට වෙන්න යන දේ

යෝජිත කම්කරු පනත සම්මත වුනොත් මෙන්න සේවකයින්ට වෙන්න යන දේ

වත්මන් ආණ්ඩුව විසින් යෝජිත කම්කරු නීති සංශෝධන පනත සම්බන්ධයෙන්,  නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය විසින් එය වැඩ කරන සේවකයින්ට බලපාන්නේ  කෙසේද යන්න පිළිඳව සකස් කරන ලද විශ්ලේෂණයකි.

■ විශ්‍රාම වයස අවුරුදු 60 සිට 55 දක්වා පහත හෙලීම.

■ පැය 8ක  වැඩ දිනය අහෝසි කිරීම.

■ පැය 8 ඉක්මවා සේවය කරන සෑම විටම අතිකාල ගෙවීම් ලබාගැනීමට ඇති නෛතික අයිතිය අහෝසි කිරීම.

■ එක් දිනක් තුලදී මූලික සේවය, අතිකාල සහ විවේක කාල ඇතුළුව සේවකයෙකු සේවයේ යෙදවිය හැකි උපරිම පැය ගණන පැය 12 නොඉක්මවිය යුතු බවට වන අනිවාර්ය නෛතික ප්‍රතිපාදනය අහෝසි කිරීම.

■ වැඩ මුර ක්‍රමය (Shift basis) මත සේවය කරන සේවකයින්ට කිසිදු අතිකාල (OT) ගෙවීමක් රහිතව, පැයක විවේක කාලයකට යටත්ව එක දිනක් තුලදී එක දිගට ගෙවී යන ලෙස පැය 16ක් සේවයේ යෙදවිය හැක. (සතියට අදාළ පැය 45 සැපිරීම උදෙසා).

■ වැඩ මුර ක්‍රමයට (Shift basis) සේවය නොකරන සේවකයින්ට කිසිදු අතිකාල (OT) ගෙවීමක් රහිතව, පැයක විවේක කාලයකට යටත්ව දිනකට පැය 12 බැගින් සේවයේ යෙදවිය හැක (සතියට අදාළ පැය 45 සැපිරීම උදෙසා).

■ පැය 45 වැඩ සතියට අමතරව, සේවකයාගේ කැමැත්ත නොමැතිව සතියකට පැය 20ක් දක්වා සහ මසකට පැය 80 ක් දක්වා, සේවකයින්ව අතිකාල සේවයේ යෙදවීමේ පූර්ණ අභිමතය හාම්පුතා සතු කිරීම.

■ කම්කරු කොමසාරිස්ගේ කිසිදු පූර්ව අවසරයකින් තොරව ඕනෑම දිගු කාලීන ස්ථීර සේවකයෙකු වුවද සේවායෝජකගේ ව්‍යාපාරික අවශ්‍යතා මත පදනම්ව දින 30 ක කෙටි දැනුම් දීමක් මගින් සොච්චම් වන්දි සූත්‍රයක් හරහා ඒකපාර්ශ්විකව සේවයෙන් නෙරපීමට හාම්පුතාට පූර්ණ බලය.

■ කම්කරු කොමසාරිස්ගේ කිසිදු පූර්ව අවසරයකින් තොරව ස්ථීර සේවකයෙකු වුවද සේවායෝජක ලබා දෙන ටාගට් සැපිරීමට අසමත් වන්නේ නම් හාම්පුතාගේ තනි කැමැත්ත මත දින 30 ක කෙටි දැනුම් දීමකින්, සොච්චම් වන්දි සූත්‍රයක් හරහා ඒකපාර්ශ්විකව සේවයෙන් නෙරපීමට හාම්පුතාට පූර්ණ බලය.

■ දින 30 ක කෙටි දැනුම් දීමක් මගින් සොච්චම් වන්දි සූත්‍රයක් හරහා ඒකපාර්ශ්විකව සේවකයින් සේවයෙන් නෙරපීමේදී, එකී වන්දි සූත්‍රයේ මුදල ගෙවීමට සේවායෝජක පැකිලෙන්නේ නම් එම වන්දි මුදල තවත් අඩුකර හාම්පුතාට සහන සැලසීමට අවශ්‍ය නෛතික ප්‍රතිපාදන නීතිගත කිරීම.

■ කොන්ත්‍රාත් (Fixed Term) සේවකයින් හට දින 14 ක කෙටි දැනුම් දීමක් හරහා ඒකපාර්ශ්විකව සේවය අවසන් කිරීමේ පූර්ණ බලය සේවායෝජක සතු කිරීම.

■ ස්ථිර සේවා නියුක්තිය සහ රැකියා සුරක්ෂිත භාවය තවදුරටත් ප්‍රායෝගිකව වලංගු නෛතික හිමිකමක් වීම සම්පූර්ණයෙන්ම අවසන් කිරීම.

■ විනය හේතු මත මාස 6ක් දක්වා හෝ ඊටත් වඩා එක දිගට සේවකයින්ගේ වැඩ තහනම් කිරීමේ නෛතික බලය.

■ ජාතික අවම වැටුපටත් වඩා අඩු වැටුපකට පුහුණුවන සේවකයින් සේවයේ යෙදවීමට අවසර.

■ රු.20,000 කට වඩා වැඩි එනමුත් රු.40,000කට වඩා අඩු මූලික මාසික වැටුපක් ලබන සේවකයින්ට නීතියෙන් ලබා දෙන රු.2,500 මාසික අයවැය සහන දීමනාව ඉදිරියේදී සේවයට බැඳෙන සේවකයින්ට අහිමි කිරීම.

■ රු.20,000කට වඩා අඩු මූලික මාසික වැටුපක් ලබන සේවකයින්ට නීතියෙන් ලබාදෙන රු.1,000 මාසික අයවැය සහන දීමනාව සහ රු.2,500 ක අමතර මාසික අයවැය සහන දීමනාව ඉදිරියේදී සේවයට බැඳෙන සේවකයින්ට අහිමි කිරීම.

■ මෑන් පවර් වහල් සේවයට නෛතික පිළිගැනීම ලබා දීම.

■ ප්‍රතිව්‍යුහගතකරණය මුවාවෙන් හෝ එවැනි ව්‍යාපාරික අවශ්‍යතාවයක්, ටාගට් සපිරීමට අසමත්විමක් වැන්නක් හුවා දක්වමින් සේවායෝජකගේ වෙනත් ආයතනවලට හෝ වෙනත් අංශ වලට සේවකයාගේ කැමැත්ත නොමැතිව ඒකපාර්ශවිකව මාරු කර හැරීමේ පූර්ණ බලය හාම්පුතා වෙත පැවරීම.

■ දින එකහමාරක පඩි සහිත සති නිවාඩුව, දින භාගයක් දක්වා අඩු කිරීම, සති නිවාඩුවේ ඉතිරි දිනයට හිමි පඩිය  අහිමි කිරීම.

■ අදාළ සතියට හිමි සති නිවාඩුව, එම සතිය තුලදී හෝ ඉක්බිතිව එළඹෙන සතියේදී භුක්ති විඳීමට දැනට ඇති නෛතික අයිතිය අහෝසිකොට, ඒ වෙනුවට සේවකයාගේ කැමැත්ත රහිතව සති හතරක් එක දිගට නිවාඩු රහිතව අඛණ්ඩව සේවයේ යෙදවීමෙන් අනතුරුව පමණක්, එකතු වූ සති නිවාඩුව භුක්ති විඳිය යුතු යැයි නියෝග කිරීමට හාම්පුතාට බලය පැවරීම.

■ පාරිතෝෂික හිමිකර ගැනීම සඳහා වසරකට දින 180 ක් සේවයට වාර්තා කර තිබීම අනිවාර්ය කොන්දේසියක් බවට නියම කිරීම.

■ අර්ධ කාලීනව (Part Time) සේවා සැපයීමට ගිවිසගෙන සිටින සේවකයින් කෙතරම් කලක් එක දිගට සේවය කළත් ඔවුනට සති නිවාඩු සඳහා ප්‍රතිපාදන සලසා නොමැත. ඔවුන්ට පෝය සහ ප්‍රසිද්ධ නිවාඩු සඳහා වැටුප් සහිත නිවාඩු නැත.

■ අර්ධ කාලීන (Part Time) සේවකයින් පෝය සහ ප්‍රසිද්ධ නිවාඩු දිනවල සේවයේ නිරත වුවහොත් ඔවුන්ට ගෙවිය යුත්තේ සාමාන්‍ය දිනකට ගෙවන වැටුප පමණි.

■ විනය නොවන හේතු මත සේවය අවසන් කිරීමේදී සේවකයාගේ ලිඛිත අවසරය හෝ කම්කරු කොමසාරිස්ගේ පූර්ව අවසරය ලබා ගැනීමේ අනිවාර්ය නෛතික අවශ්‍යතාවය අහෝසි කිරීම හරහා රිසි සේ සේවකයින් ඉවත් කිරීමට සේවායෝජකට ඒකපාර්ශ්වික බලයක් පැවරීම.

■ සමිති ගොඩනැගීමට තැත්කරන, සිය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින හෝ සේවායෝජකගේ උදහසට ලක්වන ඕනෑම සේවකයෙක්, ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීමේ මුවාවෙන් කම්කරු කොමසාරිස්ගේ කිසිදු පූර්ව අවසරයක් රහිතව දින 30 ක කෙටි දැනුම් දීමක් මගින් සොච්චම් වන්දි සූත්‍රයක් හරහා ඒකපාර්ශ්විකව සේවයෙන් නෙරපීමේ පූර්ණ බලය. මෙමගින් අයුක්තියට එරෙහිව සේවකයින්ට කටයුතු කිරීමට ඇති හැකියාව මොට කර, හාම්පුතාට හීලෑ වී කටයුතු කිරීමේ වැඩපොළ සංස්කෘතියක් නිර්මාණයට මග පෑදීම. 

■ පඩි පාලක සභා හරහා ප්‍රජාතන්ත්‍රවාදීව සේවායෝජක, සේවක සහ රජය යන ත්‍රෛ පාර්ශ්වීය සම්මුතියෙන් සහ සාකච්ඡා මාර්ගයෙන් එක්, එක් කර්මාන්ත ක්ෂේත්‍ර සහ නිශ්චිත සේවා නියුක්ති ක්ෂේත්‍ර උදෙසා සේවා නියුක්ති කොන්දේසි සැකසීමට ඉඩ සලසන පඩි පාලක සභා ආඥා පනත මුළුමනින්ම අහෝසි කර එකී සම්පූර්ණ බලයම කම්කරු අමාත්‍යවරයාගේ අත්තනෝමතික විධායක අධිකාරියට යටත් කිරීම.

■ සේවායෝජකගේ අවසරය රහිතව සේවාස්ථානය තුල පත්‍රිකා හෝ දැන්වීම් ප්‍රදර්ශනය කිරීම, බෙදාහැරීම සේවය අවසන් කිරීමට තුඩු දිය හැකි විෂමාචාරයක් ලෙස නීතිගත කිරීම.

■ විනය නොවන හේතුවක් උදෙසා වැරදි සහගත ලෙස සේවය අවසන් කිරීමක් පිළිබඳව කම්කරු කොමසාරිස් වරයාට පැමිණිලි කිරීමට දැනට නීතියෙන් ලබා දී ඇති කාලය සය මසක සිට මාස තුනක් දක්වා අඩු කිරීම.

■ සේවායෝජකගේ හෝ කළමනාකරණ කාර්යමණ්ඩල සාමාජිකයෙකුගේ නිවාස ඉදිරිපිට පෙළපාලි පැවැත්වීම, අධිකරණය හමුවේ දඬුවම් ලැබිය යුතු වැරදි ලෙස නීතිගත කිරීම.

■ වසරකට දින 14ක වාර්ෂික නිවාඩු භුක්ති විඳීමට සැලැස්වීමේ අනිවාර්ය නෛතික අවශ්‍යතාවය දියාරු කොට, වාර්ෂික නිවාඩු වලින් දින 7ක කාලයක් සේවය ලබාගෙන, එම නිවාඩුව මුදලට හිලව් කිරීමට ප්‍රතිපාදන සැලසීම.

■ රැකියා ගිවිසුමේ කොන්දේසිවල කුමක් සඳහන් වුවද, වසංගත, යටිතල පහසුකම් බිඳවැටීම්, ගෝලීය ආර්ථික අවපාත, ඇනවුම් අඩුවීම වැනි අවස්ථාව හුවා දක්වමින්, සේවායෝජක නම් කරන සේවකයින් අවිනිශ්චිත කාලයකට මූලික වැටුපෙන් 50%ක් ගෙවා නිවසේ රැඳවීමේ හැකියාව සහ රැකියාවට අදාළ අනෙකුත් සියළු දීමනා හා ගෙවීම් අහිමි කිරීම.

■ කාර්මික අංශයේ ස්ත්‍රීන් රාත්‍රී සේවයේ යෙදවීමේදී ඔවුන්ට අවශ්‍ය නිසි ආරක්ෂාව සලසනුවස් නීතියේ විධිවිධානවලට අනුකූලව සේවයේ යෙදවීම තහවුරු කිරීම පිණිස කම්කරු කොමසාරිස්ගේ පූර්ව අවසරය ලබාගැනීමේ නෛතික අවශ්‍යතාවය අහෝසි කිරීම සහ විධිමත් නෛතික අධීක්ෂණ ක්‍රියාවලිය දුර්වල කිරීම.

■ කාර්මික අංශයට අදාලව නීතියෙන් මසකට දින 10කට සීමාවී පැවති, රාත්‍රියේ ස්ත්‍රීන් සේවයේ යෙදවිය හැකි සීමාව දින 15 දක්වා වැඩි කිරීම.

■ රාත්‍රී 8 න් පසු සාප්පු හා කාර්යාල අංශයේ ස්ත්‍රී සේවකයින් සේවයේ යෙදවීම සීමා කරන නෛතික විධිවිධාන සම්පූර්ණයෙන්ම අහෝසි කිරීම.

■ කම්කරු කොමසාරිස්ගේ පූර්ව අවසරයක් රහිතව සාප්පු හා කාර්යාල අංශයේ ස්ත්‍රී සේවිකාවන්ට හාම්පුතාගේ අභිමතය පරිදි තීරණය වන ප්‍රවාහන දීමනාවක් මත රාත්‍රී 10 න් පසුව ඕනෑම වෙලාවක් දක්වා සේවයේ නියුක්ත කරවීමට අවසර.

■ අතිකාල සහ රාත්‍රී සේවය ඇතුළුව (විවේකය සඳහා දිනකට ලබා දෙන පැය අතහැර) සතියකට  පැය 80 ක් දක්වා කාන්තාවන් සේවයේ යෙදවීමට හාම්පුතාට අවසර.

■ මේ වන විට කර්මාන්තශාලා සේවකයින් සහ කාර්යාල සේවකයින් හට වෙනස් වූ සේවා කොන්දේසි ක්‍රියාත්මක වනුයේ පඩිපාලක සභා ආඥා පනත සහ සාප්පු සහ කාර්යාල පණත මගින් එම සේවක සේවිකාවන් වෙන් වෙන්ව ආවරණය වූ බැවිනි. එහෙත් පඩිපාලක සභා ආඥා පණත සහ සාප්පු සහ කාර්යාල පණත අහෝසි වන බැවින් මින් ඉදිරියට මෙම සේවක කොට්ඨාෂ දෙකටම ක්‍රියාත්මක වනුයේ මෙම නව පණතෙහි අන්තර්ගත ඉහත දැක්වෙන සේවා කොන්දේසි වේ.

■   සේවානියුක්තියට අදාළ සාධාරණත්වය සහ යුක්තිය සලසන මූලික අණපනත් 13 ක් සම්පූර්ණයෙන්ම අහෝසි කර ඒ වෙනුවට සූරාකෑම සහ මර්ධනය නීතිගත කරන, ශ්‍රමය තවත් වෙළඳ භාණ්ඩයක් බවට පත්කරන දියාරු තනි කම්කරු නීති මාලාවකට සේවකයින් බැඳ තැබීම.

ඇන්ටන් මාකස්

සම ලේකම්

නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය