කර්මාන්තශාලා ආඥා පනත යනු කුමක්ද?

කර්මාන්තශාලා ආඥා පනත යනු කුමක්ද?

කර්මාන්තශාලා සේවකයින්ගේ සුරක්ෂිතතාවය ,සෞඛ්‍ය හා සුබ සාධනය සලසා දීමේ අරමුණින් ඇතිවූ පණතක් ලෙස 1942 අංක 45 දරන කර්මාන්තශාලා ආඥා පණත හඳුන්වා දිය හැකිය.

මෙම පණත සැකසී ඇත්තේ ජාත්‍යන්තර ප්‍රමිතීන් පදනම්කර ගනිමින් සේවක සුබ සාධනය,සෞඛ්‍යය, ආරක්ෂාව හා වන්දි ලබා දීම සඳහායි. එනම් සේවකයින්ට සේවා ස්ථානයේදී සිදුවෙන උපද්‍රව,හදිසි අනතුරු පිළිබඳව මෙන්ම කම්කරු දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ කර්මාන්තශාලා පවත්වාගෙන යා යුතු ආකාරය මෙම ආඥා පණත මගින් තහවුරු කර ඇත්තේ වැඩබිම හෙවත් සේවා ස්ථානය වඩාත් ආරක්ෂාකාරී, සෞඛ්‍යාරක්ෂිත ස්ථානයක් බවට පත්කිරීම සඳහායි.

මෙම පණතේ සුවිශේෂීතාවය වන්නේ සේවකයා හා සේවායෝජකයා යන දෙපාර්ශවයේම සෞඛ්‍ය, ආරක්ෂාව,සුබ සාධනය තහවුරු කිරීමයි.

මෙම කර්මාන්තශාලා ආඥා පණතේ වගන්තිවලට අනුව එකී කර්මාන්තශාලාවේ භෞතික පරිසරය,රසායනික ද්‍රව්‍ය ඉවත් කිරීම, යන්ත්‍රෝපකරණ ආවරණය, යන්ත්‍රෝපකරණ ක්‍රියාකරවීම සඳහා සේවකයින් යෙදවීම, සේවායෝජක විසින් ඉංජිනේරුවරයාට කලයුතු දැනුවත් කිරීම්, ස්ත්‍රීන් හා තරුණ අය සේවයේ යෙදවීමේදී අනුගමනය කල යුතු කොන්දේසි සකස්කර තිබිය යුතුය.

බොහෝ කර්මාන්තශාලාවල සේවක සේවිකාවන් සිය සෞඛ්‍ය හා සුබ සාධනය ප්‍රමාණවත් තරම් සපයා නොදෙන කර්මාන්තශාලා තිබෙන බවට මැසිවිලි නගති.නමුත් සමහර සේවකයින් ඒ බව නොදනිති.එනම් කර්මාන්තශාලාවල සේවයකරන ස්ත්‍රීන් හා තරුණ අය සේවයේ යෙදවීම මෙම පණත ප්‍රකාරව සේවිකාවන්ට සේවා කොන්දේසි ක්‍රියාත්මක කල යුතුය. එනම්,

  1. ආහාර සහ තේ විවේකය සඳහා ලබාදෙන කාලය හැර වැඩකරන කාලය එක් දිනයකදී පැය 09ක් හෝ එක් සතියකට පැය 48ක් නොඉක්මවිය යුතුය.
  2. ස්ත්‍රියක හෝ තරුණ අයෙකු ආහාර සඳහා අවම වශයෙන් පැය 1/2 ක විවේක කාලයක් නොමැතිව එක දිගටම පැය 4 1/2 කාලයක් සේවයේ නොයෙදවිය යුතුය.
  3. මෙම ස්ත්‍රීන් අතිකාල සේවයේ යෙදවීමදී වැඩ කරන පැය ගණන හා සේවා නියුක්තිය පිළිබඳ වයස අවුරුදු 16 සම්පූර්ණ වූ හා අවුරුදු 18 සම්පූර්ණ නොවූ අය මගින් වැඩ අධික අවස්ථාවල අතිකාල සේවයේ යෙදවිය හැකිය.
  4. තවද එක් ස්ත්‍රියක් එක් මාසයක කරනු ලබන අතිකාල පැය ගණන පැය 60 නොඉක්මවිය යුතුය. එසේම සේවාකාලය දිනකට පැය 12 නොඉක්මවිය යුතුය.