වැඩලෝකයේ ප්‍රචණ්ඩත්වය හා හිරිහැර දුරලීම පිළිබඳ C190 සම්මුතිය ගැන වැදගත් කරුණු

වැඩලෝකයේ ප්‍රචණ්ඩත්වය හා හිරිහැර දුරලීම පිළිබඳ C190 සම්මුතිය ගැන වැදගත් කරුණු

වැඩලෝකයේ ප්‍රචණ්ඩත්වය හා හිරිහැර දුරලීම පිළිබඳ C190 සම්මුතිය සම්මත කර ගත යුත්තේ ඇයි? සම්බන්ධයෙන් පොදු ජනතාව විශේෂයෙන් සමස්ත කම්කරු ප්‍රජාව දැනුවත් කිරීමේ අභිලාෂයෙන් මෙවර වැඩබිම නීති පිටුව ඔස්සේ ප්‍රශ්න 17ක් සහ ඊට අදාළ නිරවුල් පිළිතුරු පහතින් දක්වා තිබේ.

1. ලෝක කම්කරු සංවිධානය කියන්නේ මොකද්ද?

ලොව පුරා වෙසෙන කම්කරුවන්ගේ අයිතිවාසිකම් රැක ගැනීම හා සමාජ සාධාරණත්වයක් ඉටු කිරීමට 1944 මැයි 10 දින දී ෆිලඩෙල්ෆියා ප්‍රකාශය මගින් පිළිගෙන ඇතිකර ගත් ජාත්‍යන්තර සංවිධානයකි.

02. ලෝක කම්කරු සංවිධානයට ඇති පිළි ගැනීම සහ නෛතික ආවරණය මොන වගේද?

ලෝක කම්කරු සංවිධානය 1919 වසරේ සිට පැවතෙන එකම ත්‍රියිපාර්ශවීය එක්සත් ජාතීන්ගේ විශේෂිත නියෝජිත ආයතනයයි.එනම් රජය,හාම්පුතුන් සහ සේවකයින් එකම තලයකට ගෙනෙමින් කම්කරු ප්‍රමිතීන්,කම්කරු ප්‍රතිපත්ති සකසමින් සහ සියළුම සේවකයින්ට සේවය කරන ස්ථානයේ ශිෂ්ඨ සම්පන්න රැකියා අවස්ථාවන් ලබා දීමයි.

03.ලෝක කම්කරු සංවිධානයේ කම්කරුවන් ආරක්ෂා කිරීම සදහා ඇති භාවිතාවන් මොන වගේද?

ලෝක කම්කරු සංවිධානයද අනිකුත් ජාත්‍යන්තර සංවිධාන මෙන් නෛතික පුද්ගලයෙක්වන අතර එකී නෛතික රාමුව ලෝක කම්කරු සංවිධානයේ ව්‍යවස්ථාව මගින් තහවුරුකොට ඇත.

04. එහි සම්මුති යනු මොනවාද? එම සම්මුති සැකසෙන්නේ සහ ක්‍රියත්මක වෙන්නේ කොහොමද?

ලෝක කම්කරු සංවිධානය මගින් කම්කරුවන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් විවිද භාවිතයන් අනුගමනය කරයි.ඒවා නම් සමාජ ආරක්ෂණය වැඩිදියුණු කිරීම,වැඩබිම තුළ කම්කරු ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා බලවත් කිරීම, සේවක අයිතීන් ගැන උනන්දුව ඇති කිරීම,සමාගමේ රැස්වීමේ නිදහස,සාමූහික කේවල් කිරීම ගැන උනන්දුව වැඩිදියුණු කිරීම,බලෙන් ශ්‍රමය ලබා ගැනීම සහ වැඩ කරන ස්ථානයේ වෙනස්කොට සැලකීම ගැන අවදානය යොමුකිරීම සහ ඊට හඬ නැගීම.

මේ එක් එක් අංශ පිළිබඳව ජාත්‍යන්තර කම්කරු සංවිධානය එහි වාර්ෂික සැසි වාරයන්හිදී ගෝලීය වශයෙන් එකතු වන එක් එක් රටෙහි රාජ්‍ය, වෘත්තීය සමිති සහ හාම්පුතුන්ගේ ගේ නියෝජිතයන් විසින්, යම් පාර්ශවයකින් හෝ සංවිධානය තුලින් යෝජිත ප්‍රතිපත්ති සහ කොන්දේසි මාලාවක් සාකච්චා කර ජාත්‍යාන්තර නීතියක් වන සම්මුන්තියක් ලෙස සම්මත කර ගනී. ඉන් පසුව, ඕනෑම රටකට අවශ්‍යතාවය පරිදි එම සම්මුතිය තම රට තුල පිළිගන්නා බවට අපරානුමත කරන බව (නෛතික වශයෙන් පිළිගන්නා බව) ජාත්‍යන්තර කම්කරු සංවිධානට ලිඛිතව නිලවශයෙන් දැන්විය හැක. ඉන් වසරකට පසුව එම සම්මුතිය එම රට තුල බලාත්මක වන අතර, එහි ප්‍රතිපාදන එම ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය නීතිමය සහ ප්‍රායෝගික සංශෝධන කිරීමට එම රජය බැදී සිටී.

ඉන්පසුව, තුන් වසරකට වරක්, එසේ අපරානුමත කරන ලද සම්මුතිය සම්බන්ධයෙන් එය ක්‍රියාත්මක කර ඇති ආකාරය ගැන ලිඛිත වාර් තාව ක් අදාල යාන්ත්‍රණ කමිටුව වෙත එම රජය විසින් දැනුම් දිය යුතුය. එම වාර් තාව සම්බන්ධයෙන් එම රටෙහි වෘත්තීය සමිති වලින් සහ හාම්පුතුන්ගේ සම්මේලනයෙන්ද කාරුණි දැක්විය හැකි අතර සම්මුතිය බලාත්මක කිරීම සම්බන්දයෙන් රට තුල ප්‍රායෝගික තත්වය සලකා බලා කලයුතු වැඩි දියුණුකිරීම් වේ නම් ඒ ගැන කමිටුව විසින් නිර් දේශ කරනු ලබයි.

05.කම්කරු සංවිධානය, ශ්‍රමිකයින්ගේ ආරක්ෂාව සදහා දැනට සම්මත කර ඇති සම්මුති කීයක් තිබෙනවාද? ඒවායින් ප්‍රධාන කාර්යක් සිදු කල වගන්ති මොනවාද

ලෝක කම්කරු සංවිධානය විසින් මේවන විට සම්මුති 190ක් පිළිගෙන තිබෙන අතර එන් සම්මුතීන් 44ක් මේවනවිට ශ්‍රී ලංකාව විසින් අපරානුමත කර ඇත.

06. C 190 වගන්තියෙන් කියවෙන්නේ කුමක්ද?

C190 යනු වැඩලෝකය තුළ සිදුවන ප්‍රචණ්ඩත්වය හා හිරිහැර සිදු කිරීම වළක්වාලීම සඳහා 2019 ජූනි 21 වෙනි දින ජිනීවා හිදී ඇතිකරගත් වැදගත් සම්මුතියකි.

07.C 190 වගන්තියක් ඇති කිරීමේ පසුබිම කුමක්ද?

දිගු කාලීනව වැඩ බිම තුළ සිදුවෙන්නාවූ මානසික,ශාරීරික,ලිංගික සහ ආර්ථිකමය වශයෙන් ඇතිවෙන්නාවූ ප්‍රචණ්ඩත්වය සහ හිරිහැර වළක්වාලීම සඳහාත් වැඩ කරන සේවකයින්ට වඩා යහපත් වැඩ පරිසරයක් ඇතිකරලීම වෙනුවෙන් සම්මතකරගත් සම්මුතියකි.

08.C 190 ස්ත්‍රීන්ගේ අයිතිය ගැන හෝ වැඩ බිමේ ලිංගික පීඩාවන් ගැන පමණක් කථා කරන වගන්තියක්ද?

කොහෙත්ම නැත.මෙම සම්මුතිය කාන්තා ,පිරිමි දෙපාර්ශවයම මුහුණදෙන්නාවූ ප්‍රචණ්ඩත්වය සහ හිරිහැරයන් ආමන්ත්‍රණය කරනු ලබයි.

09.C 190 ශ්‍රී ලංකාව තුල පිළිගණු ලබන්නේද?

C190 සම්මුතිය ජිනීවාහීදී සම්මතකර ගන්නා අවස්ථාවේදී ශ්‍රී ලංකාවද පාර් ශවීය රාජ්‍යක් ලෙස එම සම්මුතිය අනුමත කිරීම සදහා දායක වුවද මෙම සම්මුතිය අපරානුමත කිරීමට ශ්‍රී ලංකා රජය බැදී නැත . අපරානුමත කිරීම සඳහා මෙම සම්මුතිය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය 2021 මාර් තු මස ලබා දී ඇතත්, තවම නීත්‍යානුකූල පිළිගැනීමක් සිදුකොට නැත.

10. C190 ශ්‍රී ලංකාව තුල පිළි ගැනීමට ලක් කිරීම සදහා අනුගමනය කල යුතු ක්‍රියා පිළිවෙත මොකක්ද?

මුලින්ම ශ්‍රී ලංකාව තුළ මෙම සම්මුතිය නීත්‍යානුකූල පිළිගැනීමක් කිරීමට නම් අපරානුමත කළ යුතුයි. අපරානුමත කිරීමෙන් පසු ඒ සඳහා විශේෂිත නීතියක් හෝ, දැනට ඇති නීති සංශෝධනය කිරීම මඟින් එම සම්මුතියෙහි ප්‍රතිපාදන රට තුල ක්‍රියාත්මක කර, එය බලාත්මක කිරීම සඳහා යාන්ත්‍රණයක් ඇතිකළ යුතුය.

11.එය පිළිගත් පසු රාජ්‍ය අංශය තුල නීතියක් බවට පත් කිරීම සදහා කුමක් විය යුතුද?

රජයේ සේවකයන්ට බලපාන නීතිය වන ආයතන සංග්‍රහය තුලට එම සම්මුතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන චක්‍ර ලේඛනයක් මගින් ඇතුලත් කල යුතුයි. ඒ සඳහා පැමිණිලි කිරීමට විශේෂ යාන්ත්‍රණයක් අවශ්‍ය විය හැකි බවට රාජ්‍ය සේවා වෘත්තීය සමිති මගින් අදහස් පලවී ඇත.

12.පෞද්ගලික අංශය තුල නිතියක් ලෙස භාවිත කිරීමට කල යුතු ක්‍රියා පටිපාටිය කුමක්ද?

දැනට පවතින අපරාධ නීතිය යටතේ ඇති ප්‍රතිපාදන ක්‍රියාත්මක කිරීම පොලිසිය හරහා සිදුකල යුතු නිසා එය ප්‍රායෝගික ලෙස පෞද්ගලික අංශය තුළ සේවකයන්හට අපහසු වන හෙයින්, මෙම නව ප්‍රතිපාදන කම්කරු කොමසාරිස් ජනරාල් වරයා යටතේ ඇති යාන්ත්‍රණයක් මඟින් සිදුවිය යුතු බව වෘත්තීය සමිති වල ස්ථාවරයයි. එය කිරීම සඳහා නව නීතියක් අවශ්‍ය නොවන බවත්, කම්කරු ඇමතිවරයාගේ අභිමතය පරිදි කම්කරු ආරවුල් පනත යටතේ අවශ්‍ය ක්‍රමවේද අඩංගු නියෝගයක් සකසා පාර්ලිමේන්තුවට දැනුම් දී ගැසට් කිරීම ප්‍රමාණවත් වන බව පෙනී යයි. .

13.මේ වන විට රටක් ලෙස අප එය අනුමත කර ගැනීමට අදාලව සිදු කර ඇත්තේ මොනවාද?

  • වෘත්තීය සමිති ප්‍රජාව දැනුවත් කිරීම
  • ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරීම
  • නීතිඥවරුන් දැනුවත් කිරීම
  • සියළුම සේවකයින් ආවරණයවන පරිදි මාධ්‍ය කමිටුව,නීති කමිටුව සහ ප්‍රජා කමිටුව ලෙස සන්ධානයක් ගොඩනැගීම.
  • රාජ්‍ය හා පෞද්ගලික යන අංශයන්හි ශ්‍රමබලකාය දැනුවත් කිරීම
  • විෂයභාර කම්කරු ඇමතිවරයා දැනුවත් කිරීම
  • මාධ්‍ය ව්‍යාපාර හරහා පොදු ජනතාව දැනුවත් කිරීම (මුද්‍රිත,විද්‍යුත්,ගුවන්විදුලි,නව මාධ්‍ය)
  • C190 සම්මුතිය සම්බන්ධ තොරතුරු ඇතුළත් පොත් මුද්‍රණය කොට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත බෙදා හැරීම
  • පෞද්ගලික අංශය ආවරණය වන පරිදි කාර්මික ආරවු පනත පදනම්කරගෙන රෙගුලාසි සෑදීම.

14.අප එය රටේ නීතියක් බවට පත් කර ගැනීමට ඊළගට සිදු කල යුත්තේ කුමක්ද?

මෙය නීතියක් බවට පත්කිරීම සඳහා පවතින රජයට බලකිරීම මගින් ජාතික නීති සැකසීම හා සම්මුතිය අපරානුමත කිරීම.

15.ILO සම්මුතීන් සහ C 190 වැනි වගන්ති රටක් තුල ක්‍රියාත්මක නොවීමෙන් ඇතිවන අවාසි මොනවාද?

  • ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමක් නොමැතිවීම
  • සේවාස්ථානය තුල යම් ප්‍රචණ්ඩත්වයක් හෝ හිංසනයක් සිදුවූ විට ඒ ගැන පැමිණිලි කිරීම පලක් නැති සේ සලක සේවකයන් සේවයෙන් ඉවත්ව යාම අශිෂ්ඨ වැඩබිම තුළ වැඩ කිරීමට සිදුවීම

16.C 190 අනුමත කිරීමෙන් රටට ඇති වාසිය කුමක්ද?

  • සමස්ත ශ්‍රම බලකායට ගෞරවනීය,ශිෂ්ඨ සම්පන්න වැඩ පරිසරයක සේවය කිරීමට හැකිවීම.
  • දැනට සේවය තුල ප්‍රචණ්ඩත්වය හා හිංසනය හේතුවෙන් ශ්‍රම බලකායෙන් ඉවත්වී සිටින කාන්තා පුරුෂ දෙපාර්ශ්වයටම රැකියාවේ යෙදීමට ශක්තියක් ඇතිවීම.
  • ලෝක කම්කරු සංවිධානය සහ ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ සේවක අයිතිවාසික පිළිගන්නා රටක් ලෙස පිළිගැනීම.

17.C 190 අනුමත කිරීමෙන් සේවා ලාභීන්ට සහ සේවා දායකයන්ට ඇති වාසි මොනවාද?

  • C190 සම්මත කිරීමෙන් සේවා යෝජකයින්ට මෙන්ම සේවකයින්ටද වඩා හොඳ වැඩ පරිසරයක් බිහිවෙයි.
  • සේවා යෝජකයාගේ පාර්ශවයෙන් ගත් කළ සේවකයාගෙන් වඩා හොඳ සේවාවක් ලබා ගැනීමට හැකි අතර එමගින් ආර්ථික වාසි (GSP+) ,ලාභ,හොඳ නිෂ්පාදන,නිමැවුම් ලබා ගැනීමට හැකියි.
  • අවසානයේ සමස්ත රටේ ආර්ථිකයටද එමඟින් සෘජු බලපෑමක් සිදුවෙයි.