රජයේ සේවක වැටුප රු.10,000කින් වැඩිකිරීමට යයි

රජයේ සේවක වැටුප රු.10,000කින් වැඩිකිරීමට යයි

2024 සඳහා වන අයවැයෙන් රජයේ සේවකයන්ට රුපියල් 10,000/- ක පමණ වැටුප් වර්ධකයක් හිමිවනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 

ලබන ජනවාරි මස සිට ලක්ෂ 15ක් පමණ වන රාජ්‍ය සේවකයන්ට මෙම වැටුප් වර්ධකය හිමිවනු ඇතැයි ඉහත ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

එළඹෙන අයවැය යෝජනාවලිය මගින් සියළුම රජයේ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය 30 දා අමාත්‍ය මණ්ඩලය අමතා ප්‍රකාශ කර තිබේ.

රජයේ සේවකයින්ගේ වැටුප් වැඩි වීමට සමගාමීව පෞද්ගලික අංශයේ පඩියද වැඩි කරන ලෙස ඉල්ලීමක් කරන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.

ආණ්ඩුව රජයේ සේවකයින්ගේ වැටුප් වැඩි කරන බව දැනගෙන ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු ඇතැම් කණ්ඩායම් එය ඔවුන්ගේ බලපෑම අනුව සිදු වූ බවට පැවසීමට උත්සාහ දැරීම කිසිදු පදනමක් නැති කතාවක් යැයිද ජනාධිපති රනිල් වික්‍රමසිංහ කැබිනට් මණ්ඩල රැස්වීමේදී පවසා තිබේ.

දිනෙන් දිනම බඩු මිල වැඩි වෙනවා මිස අඩු වීමක් සිදු නොවන තත්ත්වය යටතේ වැඩ කරන ජනතාවගේ වැටුප් ඉහළ දැමීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය බවද ජනාධිපතිවරයා තවදුරටත් සඳහන් කර ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ තුන්වැනි අයවැය යෝජනාවලිය නොවැම්බර් 13 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ මාසේ මැද සිට රට පුරා උද්ඝෝෂණ: බුද්ධි අංශ හෙළි කරයි

රජයේ සේවකයින්ගේ වැටුප් වැඩිකරන ලෙස බලකරමින් මේවනවිට රටපුරා උද්ඝෝෂණ ආරම්භවී ඇත.

මේ මාසයේ මැද සිට දීපව්‍යාප්තව රට පුරා උද්ඝෝෂණ මාලාවක් දියත් කිරීමට ඇතැම් පක්ෂ සහ සංවිධාන වැඩ කටයුතු සිදු කරමින් සිටින බව බුද්ධි අංශ විසින් අනාවරණය කරගෙන ඇතැයි 'දේශය' පුවත්පත වාර්තාකර ඇත.

විදුලි ගාස්තුව ඉහළ දැමීම, ඉන්ධන මිල හා ගෑස් මිල ඉහළ යාම, ලබන වසරේ සිට වැඩිවන වැට් බද්ද, අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යාම, සෞඛ්‍ය සේවයේ අඩුපාඩු, ගුරු සේවයේ ගැටලු, රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම ආදී ප්‍රශ්න රුසක් මුල්කර ගනිමින් මෙම උද්ඝෝෂණ මාලා දියත් වන බව අනාවරණය වී තිබේ.

මේ සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් රජයට ලබා දීමට නියමිත බවද බුද්ධි අංශ ආරංචි මාර්ග පවසයි.

(the leader)