කර්මාන්තශාලා වසා දැමීම හා අතිකාල හා  දීමනා අහිමි කිරීමට විරෝධතාවයක් (Photo)

කර්මාන්තශාලා වසා දැමීම හා අතිකාල හා  දීමනා අහිමි කිරීමට විරෝධතාවයක් (Photo)

ඍජුව කර්මාන්තශාලා වසා දැමීමට අමතරව අතිකාල ඇතුළු දීමනා අහිමි කරමින් සේවය ලබා නොදී මූලික වැටුපෙන් 50% ක් පමණක් ගෙවමින් වන්දි මුදල් අහෝසි කිරීමේ උපාය මාර්ග අනුගමනය කරමින් සහ සේවක සභා උපයෝගී කර ගනිමින් වෘත්තීය සමිති බිඳ දැමීමේ කර්මාන්තශාලා හිමියන්ගේ ක්‍රියා පිළිවෙතට සහ ඒවාට කර්මාන්තශාලා හිමියන්ට ඉඩ දෙමින් කම්කරු දෙපාර්තමේන්තුව විසින් ගෙන යනු ලබන නිහඬ පිළිවෙතට විරෝධය පළ කිරීමේ සමුළුවක් 2023 නොවැම්බර් මස 05 දින විහාරමාහාදේවී එළිමන් රංග පිඨියේදී පැවැත්විණ.

එහිදී නිදහස් වෙළද කලාප හා පොදු සේවක සංගමය නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ, රටේ පවතින ආර්ථික අර්බුදය උපයෝගී කර ගනිමින් ඇතැම් විට ඔබ මාධ්‍ය ආයතන ද අත්දකිමින් සිටින ඉහත සඳහන් කර ඇති තත්ත්වයන් දිගින් දිගටම උග්‍ර වෙමින් පවතින අතර මූලික වැටුපට අමතරව ලබා දී තිබූ වෙනත් ආදායම් මාර්ග වන අතිකාල දීමනා, උනන්දු දීමනා, පැමිණීමේ දීමනා අහිමි කරමින් සිටින පාලකයින් ඒ වෙනුවට වෘත්තීය සමිති මගින් ඉල්ලා දිනාගත් පසුගිය වසරේ සිට ක්‍රියාත්මක වූ රු. 10,000/- ක ආර්ථික සහන දීමනාව ද සම්පූර්ණයෙන්ම අහෝසි කර ඇත.

මෙම තත්ත්වය කොපමණ උග්‍ර වී තිබේ ද යන්නට නිදසුනක් නම් අප සංගමයේ සාමාජිකත්වයලබා සිටින නිට්ටඹුව සුමිත්‍රා ගාමන්ට්ස් සමාගමේ සේවක, සේවිකාවන් හට මෙම වසරේ කිසිදු වැටුප් වැඩි කිරීමක් ද නොකරමින්, 2023 ඔක්තෝබර් මස සිට ලබන වසරේ ජනවාරි මස දක්වා මූලික වැටුපෙන් 50% ක් පමණක් එම සේවකයින් සියළුදෙනා හට ගෙවමින් සේවය දීම ප්‍රතික්‍ෂෙප කර ඇත. පුදුමයට කරුණක් නම් මෙම සමාගමට මෙසේ සිදු කිරීමට කම්කරු කොමසාරිස් ජනරාල්වරයා නීති විරෝධී ලෙස අවසර දී තිබීම ය. මෙම තත්ත්වය ඉතා ඉක්මණින් අනෙක් කර්මාන්තශාලා හිමියන් ද අනුගමනය කිරීමට පටන් ගන්නා බව ඉතා පැහැදිළිය.

තවද, පවතින තත්ත්වයන් උපයෝගී කර ගනිමින් වෘත්තීය සමිති බිඳ දැමීමට කර්මාන්තශාලා හිමියන් පටන් ගෙන ඇති අතර එය දැන් සාමාන්‍ය තත්ත්වයක් බවට පත්වෙමින් පවතින බව ඔබලා ද අත්දකිමින් සිටිනු ඇතැයි අප විශ්වාස කරන්නෙමු.

රටේ මෙවැනි තත්ත්වයක් පවතිද්දී ආණ්ඩුවේ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති නවතම වාර්තාවලට අනුව කර්මාන්තශාලා සේවකයින් 384,000 ක් සහ සේවා අංශයේ 137,699 රැකියා අහිමි කර ඇති බවට වාර්තා කර ඇතත් ඒ සම්බන්‍ධව කටයුතු කිරීමට බැඳී සිටින කම්කරු අමාත්‍යාංශය දැඩි නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් සිටී.

ඉහත සඳහන් කර ඇත්තේ අප අත්දකින තත්ත්වයන් වන අතර රට පුරා කර්මාන්තශාලා සහ සේවා ස්ථාන 2000 ට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට වැසී ඇති අතර එම කර්මාන්තශාලාවල සහ සේවා ස්ථානවල වෘත්තීය සමිති නොමැති බැවින් සේවකයින් ඒවා නිහඬව විඳ දරා ගැනීමට කටයුතු කරමින් සිටින බව පෙනී යයි.