දහසය වැනි සයිබර් ආරක්ශණ සමුළුව නොවැම්බර් 12 වනදා කොළඹදී

information-department

ශ්‍රී ලංකාවේ 16 වන ජාතික සයිබර් ආරක්ෂණ සමුළුව, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් නොවැම්බර් මස 12 වන දින බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී පැවැත්වීමට නියමිත බව ඩිජිටල් අර්ථික අමාත්‍යංශයේ නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතා පැවසීය.

මෙවර එම සමුළුවේ තේමාව වන්නේ “ශ්‍රි ලංකාව සඳහා වඩාත් විශ්වාසදායී සයිබර් ආරක්ෂණ පරිසරයක් නිර්මාණය කිරිම” යන්නයි.

මෙම සමුළුව සඳහා දෙස් විදෙස්  නියෝජිතයින් සහ ආරාධිතයන් 400 කට වඩා වැඩි ප්‍රමාණයක් සහභාගී වීමට නියමිත බවද ඇමතිවරයා පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති 16 වන සයිබර් ආරක්ෂණ සමුුළුව සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

ප්‍රතිපත්ති සම්පාදකයින්,තොරතුරු තාක්ෂණ කර්මාන්තයේ නිරත වෘත්තීයවේදීන්, ශාස්ත්‍රඥයින්, තාක්ෂණ විශේෂඥයින් සමගින්  රජයේ, පෞද්ගලික අංශයේ, ව්‍යාපාරික සමාගම්, රාජ්‍ය නොවන සංවිධාන සහ විශ්ව විද්‍යාලවල නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම ජාතික සමුළුව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (Sri Lanka CERT) විසින් ඒකාබද්ධව සංවිධානය කරනු ලැබේ.

| අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න 

මෙවැනි සමුළුවලින් ලෝකයේ ඇති දැනුම ලංකාවට ගෙන ඒමට හැකියාව පවතින බවත් එහිදී ඇතිවන සාකච්ඡා ලංකාවේ මෙම ක්ෂේත්‍රෙය් සිටින ප්‍රවීණයන්ට දැනුම වර්ධනය කිරීමට වැදගත් වන බවත් ලංකාවේ සිටින එම තිබෙන දැනුම ඇති පුද්ගලයන්ගේ වටිනාකම අපට ලෝකයට ප්‍රදර්ශනය කිරීමට හැකියාව ලැබෙන බවත් ඇමතිවරයා පෙන්වා දුන්නේය.

මෙවර සමුළුවේ අවධානය යොමු වී ඇත්තේ "ප්‍රතිපත්තීන් හැඩගැස්වීම, භාවිතයන් සක්‍රීය කිරීම සහ ජාතික වශයෙන් ප්‍රතිචාර දැක්වීමේ ධාරිතාව ශක්තිමත් කිරීම" යන උප තේමාවටය.  සයිබර් සූදානම වැඩිකිරීම, ඩිජිටල් විශ්වාසය සහ සයිබර් තර්ජන වැඩිවන යුගයක ජාතික ඔරොත්තු දීමේ හැකියාව වැඩිදියුණු කිරීම සඳහා රටේ උපායමාර්ගික දිශාගත කිරීම ඉන් පිළිබිඹු කෙරේ. සයිබර් ආරක්ෂණ සංවර්ධනය සහ ධාරිතාව වර්ධනය සඳහා සෑම අංශයක්ම ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කරන ශක්තිමත් බහු-පාර්ශ්වකරුවන්ගේ සහයෝගීතාවයක් ගොඩනැගීම අඛණ්ඩව කරගෙන යාම සමුළුවේ අරමුණයි.

සමුළුව ආරම්භ කරමින් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ සභාපති තුමන් වන තිලක් පතිරගේ මහතා වසින් පිළිගැනීමේ දේශනය පවත්වන අතර, ආර්ථික ව්‍යාප්තියේ සහ ගෝලීය තරඟකාරිත්වයේ මූලික පදනම සයිබර් ආරක්ෂාව බව අවධාරණය කරමින් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් වරුණ ශ්‍රී ධනපාල මහතා සමුළුවේ සමාරම්භක දේශනය පවත්වයි. ඉන්පසුව ශ්‍රී ලංකාවේ ජාතික සයිබර් ආරක්ෂණ උපායමාර්ගය ක්‍රියාත්මක කිරීම පිළිබඳව සාකච්ඡාකරමින් විශේෂ දේශනයක් පවත්වනු ලබන්නේ  ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ (Sri Lanka CERT) වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය කනිෂ්ක කරුණාසේන මහතා විසිනි. සමුළුවේ ප්‍රධාන දේශනය ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකාවේ අධ්‍යක්ෂ ටකාෆුමි කඩෝනෝ මහතා පවත්වයි. එහිදී  ගෝලීය සයිබර් ආරක්ෂණ ප්‍රවණතා ශ්‍රී ලංකාවේ ජාතික සූදානම හැඩගැස්වීම පිළිබඳව අවධානය යොමු කෙරේ.

ඩිජිටල් ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතා විසින් ඩිජිටල් පද්ධති කෙරෙහි මහජන විශ්වාසය ශක්තිමත් කිරීම පිළිබඳ දේශනයක් පවත්වනු ඇත. අතිරේක ආරාධිත දේශන, තේමාත්මක සැසි සහ සමුළුවට සමගාමීව පැවැත්වෙන අමතර සාකච්ඡාවලදී ජාතික සයිබර් පාලනය,අතිශය වැදගත් යටිතල පහසුකම්වල ආරක්ෂාව, සයිබර් ආරක්ෂණ නීතිය සහ දත්ත ආරක්ෂණ රාමු, මාර්ගගත ආරක්ෂාව, මෙහෙයුම් ඔරොත්තු දීමේ හැකියාව, ගෝලීය සයිබර් ආරක්ෂක සහයෝගීතාවය මෙන්ම කෘත්‍රිම බුද්ධිය (AI), ක්ලවුඩ් පරිගණකකරණයහි ආරක්ෂාව (Cloud Computing Security)  සහ ක්වොන්ටම් පද්ධති ආරක්ෂාව (Quantum security) වැනි නැගී එන තාක්ෂණයන්හි වගකිවයුතු භාවිතය ගවේෂණය කරනු ඇත.

විද්වත් මණ්ඩල සාකච්ඡා කිහිපයක් මගින් ඩිජිටල් ආර්ථික වර්ධනයේ පදනමක් ලෙස සයිබර් ආරක්ෂාව, ඩිජිටල් ජාතියක් සඳහා නීතිමය සූදානම, මහජන මාර්ගගත ආරක්ෂාව සහ නැගී එන තාක්ෂණයන් ආරක්ෂිතව භාවිතා කිරීම ආදිය පිළිබඳව සමුළුවේදී විමසා බැලේ. සාක්ෂි මත පදනම් වූ ජාතික ප්‍රතිපත්ති සහ ආයතනික සංවර්ධනයට සහාය වීම සඳහා බහුවිධ අංශවල විශේෂඥයින් මෙම විද්වත් මණ්ඩල සාකච්ඡා සඳහා දායක වේ.

මෙම වසරේ සමුළුවට කර්මාන්තයේ ප්‍රධාන සමාගම් කිහිපයක අනුග්‍රාහය ලැබේ.  Dialog Enterprise ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කරන අතර Check Point ප්ලැටිනම් අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි. Fortinet රන් අනුග්‍රාහකයා ලෙසත්, TikTok මාර්ගගත ආරක්ෂාව සඳහා උපායමාර්ගික සහකරු ලෙසත්, Sentry Labs රිදී අනුග්‍රාහකයා ලෙසත් එක්වෙයි. මෙම සංවිධානවල සහයෝගීතාවය ශ්‍රී ලංකාවේ ජාතික සයිබර් ආරක්ෂාව සහ මහජන ඩිජිටල් ආරක්ෂාව ඉදිරියට ගෙන යාම සඳහා ඇති හවුල්කාරී කැපවීම පිළිබිඹු කරයි.

ජාතික සයිබර් ආරක්ෂණ සමුළුව, සයිබර් ආරක්ෂාව පිළිබඳ සාමූහික ජාතික ක්‍රියාමාර්ග මෙහෙයවීම සඳහා ශ්‍රී ලංකාවේ වඩාත්ම වැදගත් වේදිකාවක් ලෙස දිගටම ක්‍රියාත්මක වේ. 2025 මෙවර සමුළුව, ආයතනික හැකියාවන් ශක්තිමත් කිරීම, මහජන දැනුවත්භාවය ඉහළ නැංවීම සහ අනාගතය සඳහා වගකිවයුතු ඩිජිටල් නවෝත්පාදනයන් ප්‍රවර්ධනය කිරීම සඳහා පරිවර්තනීය කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.