(ලංකා බැංකු සේවක සංගමයේ 15වන ජාතින නියෝජිත සමුළුව වෙනුවෙන් තම සාමාජිකයින් දැනුවත් කිරීම සඳහා නිකුත් කරන ලද නිවේදනය)
76 වසරක අදූරදර්ශී පාලනයන්ගෙන් බැට කමින් හෙම්බත්ව සිටි ජනතාව නැවුම් බලාපොරොත්තුවක් වෙනුවෙන් සිදුකළ දේශපාලනික වෙනස්කම සමගින් ගත වන දෙවන වර්ෂය වනවිට ද දෘෂ්‍යමාන ප්‍රමාණාත්මක පරිවර්තනයක් සිදුකර ගැනීමට අපොහොසත්ව ලතවන රාජ්‍ය යාන්ත්‍රණය තවදුරටත් පැරණි පීලි මතම ධාවනය වෙමින් පවතින බව පැහැදිලිය. රාජ්‍ය බැංකු ඇතුළු රාජ්‍ය ව්‍යවසායන්ගේ පරිවර්තනීය වෙනස්කම් සිදුකරන මුවාවෙන් පෞද්ගලීකකරණයට පාර කපමින් පවතින බවට සැක සංකා මතු කරන ක්‍රියාවලියක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ ලෙස ක්‍රියාත්මක වෙමින් පවතින බව නිරීක්‍ෂණය වේ. වසර ගණනාවක සිටම විවිධ තාක්‍ෂණික කරුණු මගින් සනාථ කළ විශ්‍රාම අයිතිවාසිකම් වැඩිදියුණු කිරීමේ යෝජනාවලිය පවා අනුමත කිරීමට තටමමින් සිටින තත්වයක දී නව විශ්‍රාම අයිතිවාසිකම් පිළිබඳ බලාපොරොත්තු හීනයක්ව බොඳව යමින් පවතින්නේ දැයි දැඩි ලෙස ගැටලු මතුකර ඇත.
අරගලයෙන් පසු අටවා ගත් ඊනියා ආණ්ඩුව විසින් යෝජනා කර තිබූ කම්කරු අයිතිවාසිකම් කප්පාදුවට ලක්වන නව නීති සහ අණ පනත් සංශෝධන ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීමට වත්මන් ආණ්ඩුවද කටයුතු කරමින් තිබීමම කම්කරු ජනතාවගේ දැඩි විරෝධයට හේතුව ඇත. ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දු මගින් සනාථ කළ පරිදි පාලකයන් එක්වී බංකොලොත් භාවයට පත් කළ රටක සමස්ත බර කර ගැසීමට සිදුවූයේ කම්කරු ප්‍රජාවටයි. එයිනුත් මධ්‍යම පංතියේ කම්කරුවන් අතිශය දැඩි ලෙස පීඩාවට පත් කරමින් පනවනු ලැබූ මාරාන්තික උපයන විට බදු සීමාවන් යථාර්ථවාදී මට්ටමට ඔසවා තබන බවට පොරොන්දු වී බලයට පැමිණි ආණ්ඩුව තවමත් තමන්ගේ පොරොන්දු එලෙසම ඉටුකර නැත. අදාළ බදු බර ලිහිල් නොකිරීම සම්බන්ධයෙන් දැඩි ලෙස ඉච්ඡා භංගත්වයට පත්වූ කම්කරු ප්‍රජාවක් ඉදිරියේ තවදුරටත් මුනිවත රැකීම ඛේදජනක වේ.
අප ඉදිරියේ අභියෝග රැසකි
විවිධ වූ අරමුණු වෙනුවෙන් පිහිටුවන ලද රාජ්‍ය මූල්‍ය ආයතන ක්‍රමයෙන් ස්වභාවික මරණයක් කරා ගමන් කරන ආකාරයේ ප්‍රතිසංස්කරණ යෝජනා වී ඇති අතර ඒවායේ ක්‍රියාවලීන්ගේ ඉබි ගමන සේවකයන් දහස් ගණනකගේ රැකියා සුරක්‍ෂිතබාවය සම්බන්ධ ගැටලු රාශියක් උද්ගත කර ඇත. එසේම අදාළ මූල්‍ය ආයතන පිහිටුවීමට ප්‍රමුඛ වූ සංවර්ධන සමූපකාර සංකල්ප සම්පූර්ණයෙන්ම බැහැර කර වූ ගමන් මාර්ගයක ගමන් කරවීම හේතුවෙන් අපේක්‍ෂිත ඉලක්ක මගහැරී ඇත.
තාක්‍ෂණයේ දියුණුවත් සමගින් බිහි වන්නා වූ විවිධ සංවිධානාත්මක වංචා හේතුවෙන් මූල්‍ය ක්‍ෂෙත්‍රය කෙරෙහි ජනතාව තුළ පවතින්නා වූ විශ්වාසය පළුදු වූ අවස්ථා බොහොමයක් මෑතකාලීනව අත්විඳීමට සිදුවීම අවාසනාවන්ත වේ. දල ජාතික ආදායමෙන් 6% ක ප්‍රතිශතයක් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කිරීමට පොරොන්දුව බලයට පැමිණි පාලකයන් ඒවා අමතක කර කටයුතු කිරීම නිසාත්, රජයේ රෝහල්වල තවමත් පවතින සේවක හිඟය, උපකරණ හිඟය, බෙහෙත් හිඟය නිසාවෙන් ප්‍රමාණවත් සෞඛ්‍ය පහසුකම් සම්පූර්ණ කිරීමට නොහැකිවීම රටේ සමස්ත ප්‍රජාවගේම ජීවිත තර්ජනයකට ලක්කර ඇත.
මෑතකාලීන අතීතය දෙස අවධානය යොමු කිරීමේ දී අදට ද නොවිසඳී ඇති කුප්‍රකට ම්ලේච්ඡ පාස්කු ප්‍රහාරය, නිදහස් මතධාරීන් මරණයට පත් කිරීම, පහරදීම්, මර්දනයන්, මාධ්‍ය ආයතනවලට පහරදීම්, සිවිල් ක්‍රියාකාරීන් අනීතික ලෙස අඩන්තේට්ටම්වලට ලක් කිරීම් වැනි සිදුවීම් කිසිවකටත් අධිකරණය මගින් මේ දක්වා යුක්තිය පසිඳලීමට නොහැකිවීම රජය කෙරෙහි පවතින විශ්වාසය පළුදු කරමින් ඇත. විවිධ වූ සංවර්ධන ව්‍යාපෘති නිසාවෙන් පීඩාවට පත්වන පරිසරය සුවපත් කිරීම සඳහා නිසි උපදේශන මාලාවන්, නීතිරීති ශක්තිමත් ලෙස ස්ථාපිත කරලීමටත්, Express Perl සිදුවීම වැනි දැවැන්ත පරිසර හානි සිදුවූ සිදුවීම්වලින් සමස්ත රටේ පරිසර පද්ධතියට වූ හානිය නිසි පරිදි තක්සේරු කර සරිලන වන්දියක් ලබාගනිමින් පරිසරයේ තිරසර පැවැත්මක් තහවුරු කිරීමට තවමත් කටයුතු නොකිරීම පාලකයන්ගේ නොහැකියාව මනාව තහවුරු කර ඇත.
සමස්ත ලෝකයම දැඩි පීඩාවට පත් කරමින් ලංකාව වැනි ඉතා කුඩා ආර්ථිකයක් සහිත රාජ්‍යයන් බලශක්තිය හමුවේ දණ ගස්වමින් ලෝක බලවතුන් විසින් සිදුකරන අධිරාජ්‍යවාදී කොල්ලකාරී ජනසංහාරක යුද්ධය නිසාවෙන් සමස්ත ලෝකයම බියෙන් ත්‍රස්ත වී ඇත. විශේෂයෙන් මැද පෙරදිග සිදුකරන්නා වූ විවිධ වූ යුද්ධයන් හේතුවෙන් ජීවිත අහිමි වන්නා වූ මල් කැකුලු වන් දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ගේ ආත්මයන්ට සාධාරණය ඉටුකර ලීම සඳහා මුළු ලෝකයම යුද්ධයට එරෙහිව පෙළගැස්විය යුතු කාලය එළඹ ඇත. වයස්ගත බලලෝභී පාලකයන් මෙය ඉටු නොකරන්නේ නම් කම්කරු ප්‍රජාව ලෙස හෝ ජන සංහාරක යුද්ධයන්ට එරෙහිව ඒකරාශී වී හඬ නැගිය යුතුය. මෙම තත්වයන් හමුවේ,
- රාජ්‍ය බැංකු ඇතුළු මහජන දේපළ රාජ්‍ය අයිතියෙන් බැහැර නොකිරීමට
- විශ්‍රාමය අයිතිය තහවුරු කිරීමට හා ජීවත්වීමට සරිලන විශ්‍රාම වැටුපක් ලබාදීමට
- කම්කරු අයිතීන් සුරක්‍ෂිත කෙරෙන නීති රැකගැනීමට හා ස්ථාපිත කිරීමට
- අත්තිකාරම් මත පුද්ගල බදු බර ලිහිල් කෙරෙන සහන දිනා ගැනීමට
- සංවර්ධන, සමූපකාර, නිවාස මූල්‍ය තිරසර ඉලක්ක කරා යොමුවන බැංකු පද්ධතියක් ගොඩනැගීමට
- නව තාක්‍ෂණයේ අවභාවිතයන්ගෙන් බැංකු පද්ධතිය හා සේවක ප්‍රජාව සුරැකීමට
- නිදහස් අධ්‍යාපන හා නිදහස් සෞඛ්‍ය අයිතීන් ශක්තිමත් කිරීමට
- නීතියේ ආධිපත්‍ය තහවුරු කරමින් දූෂණය පිටු දැකීමට
- පාරිසරික යුක්තිය ඉටු කිරීමට
- අධිරාජ්‍යවාදී, කොල්ලකාරී ජනසංහාරක යුද්ධයට එරෙහිව ලෝක කම්කරු පන්ති ව්‍යාපාරයක් ගොඩනැගීමට
බල කෙරෙන
ජාතික හා ජාත්‍යන්තර පුළුල් කම්කරු එකමුතුවක් ගොඩනැගීම සඳහා පෙළ ගැසෙන
ලංකා බැංකු සේවක සංගමයේ 15 වැනි ජාතික නියෝජිත සම්මේලනය 2026 ජූලි මස 10 වැනි දින හෝමාගම දියගම මොරටුව විශ්වවිද්‍යාලයීය තාක්‍ෂණික ආයතනයේ ශ්‍රවනාගාරයේ දී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
සංගමයේ ව්‍යවස්ථාපිත අවශ්‍යතාවක් මත ලංකා බැංකු සේවක සංගමයේ නිල ව්‍යුහය තුළ බලවත්ම නිල මණ්ඩලයක් වන ජාතික නියෝජිත සම්මේලනය සෑම දෙවසරකට වරක් බලමුළු ගැන්වෙන අතර ඒ සඳහා සංගමයේ නිලධාරී මණඩලය, ශාඛා සංගම් නිලධාරී මණ්ඩල, විධායක සභාව, මධ්‍යම කාරක සභාව, දිස්ත්‍රික් සංවිධාන හා ශාඛා නියෝජිත මට්ටමේ සියලු නායක සහෝදරවරු සම්බන්ධ වීමට නියමිතය. ඒ අනුව 2026-2028 නිල කාලය සඳහා නියමිත 15 වැනි ජාතික නියෝජිත සම්මේලනය ඉතා උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට නියමිතය.
දෙස් විදෙස් ආරාධිතයන් රැසක්
මේ වෙනුවෙන් ප්‍රධාන ආරාධිතයා ලෙස කම්කරු කොමසාරිස් ජනරාල්වරිය සම්බන්ධ වන අතර කවදත් සංගමය සමගින් අත්වැල් බැඳගත් ජාත්‍යන්තර සහයෝගීතාව ප්‍රදර්ශනය කරමින් WFTU – World Federation of Trade Union, UNI Global – Asia Pacific, AIBEA – All India Bank Employees' Association, NUBE – National Union of Bank Employees – Malaysia, FIEUN – Financial Institutes Employees' Union of Nepal, Pakistan Bank Insurance and Finance Employees' Union යන සහෝදර ජාත්‍යන්තර වෘත්තීය සමිති සහ සංවිධාන සම්බන්ධ වීමට නියමිතය. එසේම ලංකා බැංකු සේවක සංගමය හා සම්බන්ධිත ශාඛා සංගම් 17 ක බැංකුවල මානව සම්පත් ප්‍රධානීන් සමගින් දේශීය වෘත්තීය සමිති සටන් සගයින් අත්වැල් බැඳගනු ඇත.
ජාත්‍යන්තරව මෙන්ම සමස්ත රටටත්, පොදු මහත් ජනතාවටත්, සමස්ත මූල්‍ය ක්‍ෂෙත්‍රයටත්, බැංකු පද්ධතියටත්, සංගමයේ සාමාජිකයන්ටත් බලපාන්නා වූ ගැටලු මූලික කර ගනිමින් නිර්මිත වූ යෝජනා 28 ක් 15 වැනි ජාතික නියෝජිත සම්මේලනයේ දී සම්මත කර ගැනීමට නියමිතව ඇත. එම යෝජනා තුළ අන්තර්ගත කාර්යයන් ඉටුකර ගැනීමට පාලකයින් වෙත බල කිරීමට සංගමය ඉදිරියේ දී කටයුතු කරනු ඇත. එසේම සංගමයේ ව්‍යවස්ථා සංශෝධන හා බැඳුනු යෝජනා ද සමගින් අභ්‍යන්තර ව්‍යුහය ශක්තිමත් කරමින් අනාගතය වෙත පියවර තැබීමට ද මෙම නියෝජිත සම්මේලනයේ දී තීරණය වනු ඇත.
දශක අටකට අධික අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියන ලංකාවේ මූල්‍ය ක්‍ෂෙත්‍රයේ දැවැන්ත රැකවලා ලෙස කටයුතු කරන සමස්ත කම්කරු ව්‍යාපාරයටම ජවය, ශක්තිය සපයන ලංකා බැංකු සේවක සංගමය සිය අභිමානවත් 15 වැනි ජාතික නියෝජිත මහා සම්මේලනය 2026 ජූලි මස 10 වැනි දින හෝමාගම දියගම, මොරටුව විශ්වවිද්‍යාලයීය තාක්‍ෂණික ආයතනයේ ශ්‍රවනාගාරයේ දී බලමුළු ගැන්වෙන අතර ඒ සඳහා සාක්‍ෂිකරුවන් ලෙස සම්බන්ධ වීමට සියලුම මධ්‍යම කාරක සභිකයන්ට, විධායක සභිකයන්ට, දිස්ත්‍රික් සංවිධාන නියෝජිතයින්ට හා ශාඛා නියෝජිත සහෝදර සහෝදරියන්ට සහෝදරත්වයෙන් ආරාධනය කෙරේ. එමගින් අප සතු සංවිධාන ශක්තිය, සටන්කාමීත්වය විදහා දක්වමින් ශක්තිමත් පවුරක් ලෙස නැගී සිටීමට එක්වෙමු, රොක්වෙමු, රොද බදිමු.
ලංකා බැංකු සේවක සංගමය දිගුකල් දිනේවා !!


