පුහුණු අභ්‍යාසලාභීන් 156 කට රාජ්‍ය සේවයේ නව පත්වීම්

පුහුණු අභ්‍යාසලාභීන් 156 කට රාජ්‍ය සේවයේ නව පත්වීම්

2015 වර්ෂයට පෙර ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පුහුණු අභ්‍යාසලාභීන් ලෙස කටයුතු කළ 156ක පමණ කණ්ඩායමක් කිසිඳු හේතුවකින් තොරව දේශපාලන පලිගැනීම් සිදු කරමින් පසුගිය රජය විසින් ඉවත් කරන ලදි.

එලෙස අසාධාරණයට ලක් වූ එම පිරිස නැවත ශ්‍රී ලංකා වරාය අධිකාරියේ රැකියා අවස්ථාවන් ලබා දීම වෙනුවෙන් අදාල පත්වීම් ලිපි ප්‍රදානය පසුගියදා (04) මහපොළ වරාය හා සමුද්‍රීය විද්‍යායතනයේ ලලිත් ඇතුලත්මුදලි ශ්‍රවණාගාර පරිශ්‍රයේ දී වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ සහ ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත් විණි. 
 
මෙම අවස්ථාවේ දී සභාව ඇමතූ වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා, පසුගිය රජයෙන් අසාධාරණයකට ලක්වූ පිරිසක් වෙත සාධාරණය ඉටු වූ දවසක් ලෙස අද දවස තමා සලකනු ලබන බැව් පැවසී ය. තමා වරාය ව්‍යාපෘති භාර අමාත්‍යවරයා ලෙසින් කටයුතු කළ කාලයේදී එවකට ජනාධිපතිවරයා ලෙසින් හා වරාය හා නාවික කටයුතු අමාත්‍යවරයා ලෙසින් කටයුතු කළේ මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ය. එම පාලන සමය තුළ මෙම සියලු දෙනා වරායේ පුහුණුව සඳහා බඳවා ගනිමින් නිසි පුහුණු ක්‍රමවේදයකට යොමු කරමින් එම හැකියාවන් වරායේ අභිවෘද්ධියට යොදා ගැනීමට කටයුතු කළමුත්, එම පිරිස පසුගිය රජයෙන් විශාල අසාධාරණයකට ලක් වූ බැව් අවධාරණය කළේ ය.
 
තවද, අ.පො.(සා.පෙළ.) පවා අසමත් 353 දෙනෙකු ශ්‍රී ලංකා වරාය අධිකාරියේ බඳවාගැනීමේ ක්‍රියාපටිපාටියෙන් බැහැරව බඳවා ගැනීමට කටයුතු කරමින් අනර්ථයක් මෙම ආයතනයට සිදුකළ බැව් ද පැවසීය.
 
එමෙන්ම, ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඔබගේ දෙවැනි මව්-පියන් ලෙස සලකා කටයුතු කරන ලෙසත්, ඔබ මේ ආයතනයෙන් ලබා ගන්නා වැටුපට සාධාරණය ඉටු කරමින් ඔබ සතු දැනුම කුසලතා, ආකල්ප වර්ධනය කර ගනිමින් උපරිම ඵලදායිතාවයෙන් හා කාර්යක්‍ෂමතාවයෙන් කටයුතු කරන ලෙසත් නවක පත්වීම් ලාභින් හට අවධාරණය කළේ ය.
 
මෙහිදී අදහස් දැක්වූ ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා, පසුගිය වසර සහ තුළ දේශපාලන පළිගැනීමකට ලක් වූ තරුණ පිරිසක් වෙත සාධාරණය ඉටුවෙන මෙම මොහොත ඉතා සුවිශේෂි බැව් පැවසීය. එකල සිය රජයේ ඉලක්කය වූයේ නිසි පුහුණු ක්‍රමවේදයක් ඔස්සේ පුහුණු ශ්‍රමය ලබා දී වරායේ කාර්්‍යක්‍ෂමතාවය නංවාලීමට පියවර ගැනීම බවයි. ඒ සඳහා පුහුණු ලාභීන් තෝරා ගැනීමේදී කිසිඳු දේශපාලන පසුබිමකින් තොරව තෝරා ගැනීමට කටයුතු කළ බැව් පැවසීය. නමුත් පසුගිය පාලන රජය විසින් ඒ සියල්ල උඩුයටිකුරු කරමින් කටයුතු කළ බවද පැවසීය.
 
තවද, හම්බන්තොට වරාය විජාතීයකරණය තුළ එහි සේවයේ නියුතු විශාල පිරිසකට රැකියා අහිමිකිරීමට පසුගිය රජය විසින් ගත් ක්‍රියාමාර්ගවලට එරෙහිව සාධාරණත්වය ඉටු කරමින් අද දවසේ අප රජයක් තුළ සාධාරණත්වයට, දැණුම හා කුසලතාවයට නිසි වටිනාකමක් ලබා දීමට කටයුතු කිරීම පිළිබඳව තමා සතුටු වන බවද පැවසීය.
 
මෙම අභ්‍යාසලාභීන් 156 බහුවිධ නිපුණතා ශිල්පි, ආරක්‍ෂක නියාමක, රියදුරු යන ක්‍ෂේත්‍ර ඔස්සේ වරාය අධිකාරියේ විවිධ කොට්ඨාශයන් හී සේවයට අනුයුක්ත කර ඇත.