1990 සුවසැරිය සේවකයින් සංවිධානගත වේ

1990-union

ජාතික හසිදි ගිලන් රථ සේවයක් ලෙස ක්‍රියාමත්මක 1990 සුවසැරිය ගිලන්රථ සේවයේ සේවකයින් සංවිධානගත වෙමින් නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ වෘත්තීය සමිති ශාඛාවක් පිහිටුවාගෙන ඇත. එසේ පිහිටුගත් වෘත්තීය සමිති ශාඛාව සම්බන්‍ධයෙන් සුවසැරිය පාලනාධිකරය සහ කම්කරු දෙපාර්තමේන්තු දැනුවත් කර ඇති බවත් ඉදිරියේදී සිය සේවාවන්වල ගුණාත්මකභාවය වැඩි කරගනිමින් මහජනයාට වඩාත් ඵලදායී සේවාවක් ලබාදීම තම අරමුණ බව එම ශාඛාවේ සභාපතිවරයා අවධාරණය කරන ලදී.

2016 වසරේදී සුවසැරිය පදනම ආරම්භ කර ඇති අතර පසුගිය වසරවලදී මෙරට මුහුණ දුන් කොවිඩ් වසංගතය, ඉන්‍ධන හිඟවීම් සහ රටතුළ පැවති ආර්ථික අර්බුදයන් වැනි ව්‍යවසන තත්වයන් හමුවේ ද එහි සේවකයින් තම රාජකාරීන්ට ප්‍රමුඛත්වය ලබා දෙමින්, විශේෂයෙන්ම කොවිඩ් වසංගත සමයේ තම ජීවිත අවධානම ගැන පවා නොසළකා වසංගතයෙන් පීඩාවට පත් රටේ ජනතාවගේ ජීවිත බේරා ගැනීම වෙනුවෙන් මහත් කැපවීමෙන් සහ කාර්යක්‍ෂමතාවයකින් යුතුව සිය මෙහෙවර ඉටු කර ඇත.

සුවසැරිය සේවකයින් පෙන්වා දෙන්නේ තම සේවාවන් තවදුරටත් නවීකරණය කරමින් නව මුහුණුවරකින් කටයුතු කරමින් මෙම සේවාවන් සමස්ථ ශ්‍රී ලාංකික මහජනතාව වෙනුවෙන් දීපව්‍යාප්ත කළ යුතු බවය. එමෙන්ම තමන් ඉතා ගෞරවණීය සේවාවක් සපයන අතර මේ වන විට තම සාමාජිකයින්ට බලපාන වෘත්තීමය ගැටළු කිහිපයකට ඔවුන්ද මුහුණ දී ඇති බවත් සිය වෘත්තීය සමිතිය හරහා පාලනාධිකාරිය සමග සාකච්ඡා කර සිය වෘත්තීය ගැටළුවලට ද විසඳුම් ලබා ගනිමින්, තමන්ටද ගෞරවණීය රැකියාවක් සහතික කර ගැනීමට මෙම සංවිධානගතවීම හරහා අපේක්‍ෂා කරන බවද එම සේවකයින් වැඩබිමට අදහස් දක්වන ලදී.