කම්කරු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව සේවක අර්ථ සාධක අරමුදල (EPF) සහ සේවා නියුක්තයන්ගේ භාර අරමුදල (ETF) යන අරමුදල් ද්විත්වයට අදාළ සියලු කාර්යයන් ඒකාබද්ධ පාලන රාමුවක් යටතේ ක්‍රියාත්මක කිරීමේ ශක්‍යතාව පරීක්ෂා කිරීම පිණිස ජ්‍යෙෂ්ඨ නිලධාරි කමිටුවක් පත් කිරීමට පසුගිය ජූනි 15 දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබුණි.
ඒ අනුව යමින් කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත ඊයේ (15) මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කර සිටියේ ඊට අදාළ කමිටුව පත් කර ඇති බවයි. ආණ්ඩුව පත් කළ එම කමිටුව පහත පරිදි වේ.
- සභාපති – කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයා
- මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා
- ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජිතයෙක්
- සේවක බාරකාර අරමුදල් මණ්ඩලයේ නියෝජිතයෙක්
- කම්කරු දෙපාර්තමේන්තුවේ නියෝජිතයෙක්
කෙසේ වුවද අමාත්‍යවරයා මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර සිටියේ මෙම කාරණයට අදාළ කටයුතු මූලික අදියරේ පවතින බැවින්, එමඟින් සකස් කෙරෙන වාර්තාවේ අන්තර්ගතය පිළිබඳව හෝ එහි නිර්දේශ පිළිබඳව මෙතෙක් කිසිදු නිල ප්‍රකාශයක් සිදු කර නොමැති බවයි. එසේ වුවද, ඇතැම් සමාජ මාධ්‍ය ජාල මෙන්ම විපක්ෂ දේශපාලන කණ්ඩායම් මෙම කමිටු වාර්තාවේ අඩංගු විය හැකි කරුණු සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව විවිධ පූර්ව නිගමනවලට එළඹෙමින් මනඃකල්පිත මත සමාජගත කිරීමට උත්සාහ දරමින් සිටින බව පවසා සිටියේය.
EPF අරමුදල ආරම්භ කරන වකවානුව වන විට කම්කරු දෙපාර්තමේන්තුව හෝ කම්කරු අමාත්‍යාංශය සතුව මෙවැනි මූල්‍ය අරමුදලක් කළමනාකරණය කිරීම සඳහා අවශ්‍ය ශඛ්‍යතාවය, ධාරිතාව නොපැවති බැවින්, ඒ මොහොතේ එම කාර්යභාරය මහ බැංකුව වෙත පැවරීමට පියවර ගෙන ඇති බව අමාත්‍යවරයා පවසයි.
වර්තමානය වන විට සේවක අරමුදල් පරිපාලනය සම්බන්ධයෙන් නව අවශ්‍යතාවන් මතුව ඇති අතර, ලෝකයේ සේවක අර්ථසාධක අරමුදල් කළමනාකරණය කිරීමේදී ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ප්‍රමිතීන් සහ භාවිතයන් රැසක් ගොඩනැඟී ඇති බව අමාත්‍යවරයා පවසයි. විශේෂයෙන්ම, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ C144 සම්මුතිය ශ්‍රී ලංකාව විසින් අපරානුමත කර ඇති අතර සේවක ප්‍රතිලාභවලට අදාළ පරිපාලන කටයුතුවලදී තුන්පාර්ශවීය මැදිහත්වීම, උපදේශන ක්‍රියාවලිය සහ සමාජ කතිකාවන් පවත්වා ගැනීම පිළිබඳව මෙම සම්මුතුය මගින් අවධාරණය කෙරෙන අතර මෙමගින් වඩාත් විනිවිදභාවයකින් සහ විධිමත් ක්‍රමවේදයකින් යුතුව සේවක මුදල් පරිපාලනය කිරීමට රජය එකඟතාවයකට පැමිණ තිබෙන බව අමාත්‍යවරයා පවසා සිටියේය.
පසුගිය ජූනි 15 දින කැබිනට් පත්‍රිකාවේ මූලිකම අරමුණ වන්නේ අරමුදල් කළමනාකරණය, පරිපාලනය සහ ආයෝජන ක්‍රියාවලීන් වඩාත් විනිවිදභාවයකින් යුතුව සිදු කිරීම බවත් ඒ ඔස්සේ මහජන විශ්වාසය තහවුරු කරමින් වඩාත් කාර්යක්ෂම සේවාවක් සැපයීමට අපේක්ෂා කෙරෙන බවත් අමාත්‍යවරයා පවසයි.
එහි පළමු යෝජනාව වන්නේ සාමාජිකයන්ගේ නීතිමය ආවරණය සහ නීතිමය සුරක්ෂිතතාවය කිසිදු ආකාරයක කේවල් කිරීමකට ලක් නොකර තහවුරු කිරීම බව පැවසූ අමාත්‍යවරයා, සාමාජිකයන් විසින් අරමුදල්වල තැන්පත් කර ඇති රුපියල් බිලියන 4,943ක් සහ බිලියන 667ක් වන සමස්ත මුදල් සඳහා පූර්ණ මූල්‍ය සුරක්ෂිතතාවය සහ ආරක්ෂාව සැලසෙන පරිදි නව විධිමත් පරිපාලන ක්‍රමවේදයක් සකස් කිරීම මෙහිදී සිදු කෙරෙන බව පවසා සිටියේය.
දෙවැනි යෝජනාව යටතේ සේවක බාරකාර අරමුදලේ (ETF) සුභසාධන කටයුතු මෙන්ම එහි පරිපාලනමය ව්‍යූහය වඩාත් කාර්යක්ෂම කරමින් වැඩි දියුණු කිරීමට අපේක්ෂා කෙරෙන බවත්, දැනට ශ්‍රී ලංකා මහ බැංකුව සහ කම්කරු දෙපාර්තමේන්තුව යන ආයතන දෙකම හරහා සිදුවන සේවක අර්ථසාධක අරමුදලේ (EPF) පරිපාලනමය කටයුතු වඩාත් විධිමත් යාන්ත්‍රණයක් ඔස්සේ ඒකාබද්ධ කිරීමටත් මෙහිදී යෝජනා කර ඇති බව අමාත්‍යවරයා පවසා සිටියේය.
සේවක බාරකාර අරමුදල සහ සේවක අර්ථසාධක අරමුදල යන දෙකම එකම අරමුදලක් බවට පත් කර පුද්ගලික අංශයට පැවරීමට සූදානම් වන බවට සමාජය තුළ පැතිර යන මත සම්පූර්ණයෙන්ම සාවද්‍ය බව පවසමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ මෙම කැබිනට් පත්‍රිකාව මඟින් පැහැදිලිවම යෝජනා කරන්නේ කම්කරු දෙපාර්තමේන්තුවේ සහ මහ බැංකුවේ පවතින පරිපාලනමය කාර්යභාරයන් පමණක් (Integrating the administrative functions of labor department) එකිනෙකට ඒකාබද්ධ කරමින් වඩාත් විධිමත් ලෙස පවත්වාගෙන යාම පමණක් බවයි.
ඉහත සඳහන් කරන ලද යෝජනා ද්විත්වය ක්‍රියාත්මක කිරීම සඳහා වන කැබිනට් අනුමැතිය මේ වන විට හිමිව තිබේ. ඒ අනුව, වඩාත් යෝග්‍ය සහ සාර්ථක ක්‍රමවේදයක් හඳුනා ගැනීම සඳහා අදාළ සියලුම පාර්ශවයන්ගෙන් කරුණු විමසා, පුළුල් අධ්‍යයනයක් සිදු කර ඉදිරි මාස හතර ඇතුළත වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේය.
මෙරට දේශපාලන ඉතිහාසය දෙස බැලීමේදී, මෙවැනි අරමුදල් අවභාවිත වූ ආකාරය මෙන්ම හිතුවක්කාරී තීන්දු තීරණ හේතුවෙන් පැනනැඟුණු ගැටලුකාරී තත්ත්වයන් හඳුනාගත හැකි අතර, එවැනි අතීත අත්දැකීම් හේතුවෙන් යම් වැරදි තොරතුරක් සමාජගත වන ඕනෑම අවස්ථාවක සේවකයන් කලබලයට පත්වීමේ ඉඩකඩක්ද පවතින බව අමාත්‍යවරයා පවසා සිටියේය.
| කල්ප මදුරංග

