රාජ්‍ය සේවයට බඳවාගත් අභ්‍යාසලාභී උපාධිධාරීන්ගෙන් රජයට ඉල්ලීමක්

රාජ්‍ය සේවයට බඳවාගත් අභ්‍යාසලාභී උපාධිධාරීන්ගෙන් රජයට ඉල්ලීමක්

වසරක පුහුණුව අවසන් කර ඇති 2019 උපාධිධාරි අභ්‍යාසලාභින් කඩිනමින් ස්ථිර කරන ලෙස ඉල්ලමින් E - පෙත්සම බාරදීම හා උපාධිධාරි ගැටළු වලට විසඳුම් ඉල්ලා සංවර්ධන නිලධාරී සේවා සංගමය විසින් රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත්පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් බාරදෙමින් ඉල්ලීමක් කර ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවාවන්ට අයත් වන 2019 වර්ෂයේ උපාධිධාරි අභ්‍යාසලාභි පුහුණුවට ඇතුලත් කර ගත් උපාධිධාරින් අනුමත වසරක පුහුණු කාලය අවසන් කර ඇති අතර එම උපාධිධාරින් ස්ථිර කිරීම ඇතුලූ කඩිනමින් විසඳිය යුතු ගැටළු කිහිපයක් පවතින බවත්, එම ගැටළු ලිඛිතව යළිත් මෙලෙස ඉදිරිපත් කරන්නෙමු.

වරින්වර ඉදිරිපත් කළ අදාල ගැටළු යළි සංක්‍ෂිප්ත කර ඉදිරිපත් කරනුයේ අදාල ගැටළු විසඳීම ප‍්‍රමාද වීම හේතුවෙන් විශාල උපාධිධාරින් ප‍්‍රමාණයකට විවිධ පීඩාවන්ට ලක්වීමට සිදුව ඇති නිසා බව දන්වා සිටිමු.

රටතුළ මේ වනවිට උද්ගතව ඇති කෝවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ පෙර පැවති සාමාන්‍ය තත්වයන් යටතේ කටයුතු පවත්වාගෙන යාමට නොහැකි බව අවබෝධයක් පවතින අතර, එම තත්වය තුලම නැවත වතාවක් ආණ්ඩුව හා රාජ්‍ය බලධාරින් සියලූම කටයුතු පවත්වාගෙන යමින් තිබියදී උපාධිධාරින් මුහුණපාන මේ මොහොතේ විසඳාගත යුතු ගැටළු ඉදිරිපත් කර විසඳා ගැනීම අසාධාරණ ක්‍රියාවක් නොවන බව අපගේ අදහස වේ.

2. 2019/8/1 හා 2019/9/16 දින අභ්‍යාසලාභි පුහුනුවට ඇතුලත්ව 2020/8/2 හා 2020/9/17 දිනට වසරක පුහුණු කාලය අවසන් කර ඇති රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවාවන්ට අයත් 2019 වර්ෂය බඳවාගත් 14500 කට ආසන්න උපාධිධාරින් කඩිනමින් සංවර්ධන නිලධාරි තනතුරේ ස්ථිර කිරීම හා ස්ථිර පත්වීම් දිනය වසරක පුහුණුව අවසන් වන දිනට පසුදාතම වන පරිදි ලබාදීම

i. ස්ථිර කිරීම සඳහා සිදුකරන ව්‍යුහගත සම්මුඛ පරීක්‍ෂණ කෝවිඩ්-19 තත්වය යටතේ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අදාලව දිනකට සිදුකළ හැකි ප‍්‍රමානය හා ඊට අදාල සීමාවේ ස්ථිර කිරීමේ මූලික කටයුතු ආරම්භ කිරීම.

ii. උක්ත ඉල්ලීම මුල්කර ගනිමින් පවතින සෞඛ්‍ය හේතුන් සැලකිල්ලට ගෙන දියත් කළ E - පෙත්සමේ මුද්‍රිත පිටපතක් ද මේ සමග ඉදිරිපත් කරමු.

3. 1999-2020/1/1 දින දක්වා ස්ථිර වූ උපාධිධාරින් ස්ථිර කිරීමේදී, ස්ථිර කිරීමේ දිනය අනුව අහිමිවුන සේවා කාලයන් ස්ථිර සේවා කාලයට එකතු කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල තීරණයක් ගැනීම සඳහා සුදුසු පියවර ගැනීම. ආසන්නතම උදාහරණය වන 2018/8/20 බඳවාගත් අභ්‍යාසලාභි උපාධිධාරින් 2020/1/1 දිනට ස්ථිර කිරීමේදී මාස 04 කට මඳක් වැඩි සේවාකාලයක් ඔවුන්ට අහිමි විය.

4. 2016 සිට රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවාවන් සඳහා බඳවා ගන්නා රාජ්‍ය සේවකයින්ට එතෙක් හිමිව තිබූ වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් හිමිකම 2016 පැවති රජය අහිමි කර ඇති අතර 2016 සිට රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවාවන් සඳහා බඳවාගත් හා බඳවා ගැනීමට නියමිත උපාධිධාරින් ඇතුලූ රාජ්‍ය අංශයට යළි ලබාදීම.

5. අභ්‍යාසලාභි උපාධිධාරින් පුහුණු කාල සීමාව තුලදී කාන්තා අභ්‍යාසලාභි නිලධාරිනියන්ට හිමිව තිබූ දින 84 ක ප්‍රසූත නිවාඩු හිමිකම දින 42 කට කප්පාදු කර ඇත. මේ පිළිබඳව දින 84 යළි ලබාදෙන මෙන් විවිධ අංශ මගින් කරුණු දක්වමින් ඉල්ලම් කර ඇතත් ඒ සඳහා විසඳුමක් ලැබී නැත. රාජ්‍ය සේවයේ කාන්තාවන් සඳහා ප්‍රසූත නිවාඩු ලබාදෙනුයේ බිහිකරන දරුවාගේ පෝෂණයට හා රැකවරණයට අදාල වන බැවින් ඊට අදාල ජීව විද්‍යාත්මක හා පෝෂණ, රැකවරණ මෙන්ම ශ්‍රී ලාංකීය ජාතික අවශ්‍යතාවය අභ්‍යාසලාභි කාලසීමාව තුල ප්‍රසූත කරන දරුවන්ට ද අදාල වන බැවින් අහිමි කර ඇති ප‍්‍රසූත නිවාඩු හිමිකම යළි ලබාදීමට කඩිනමින් පියවර ගැනීම.

ඉහත සඳහන් ගැටළු හා අවස්ථා කිහිපයකදී යොමු කර ඇති ඉල්ලීම් පිළිබඳ ආණ්ඩුවෙත්, රජයේ වගකිවයුතු බලධාරින්ගෙත් අවධානය කඩිනමින් යොමුකර, ගත යුතු ප්‍රතිපත්තිමය තීරණ හා ඊට අදාල විසඳුම් ලබාදීම කඩිනම් කරන මෙන් ඉල්ලා සිටිමු.

වැඩබිම