“තාරුණ්‍යයේ වගකීම ඉටුකරමු -  HIV වළකමු”

“තාරුණ්‍යයේ වගකීම ඉටුකරමු -  HIV වළකමු”

සෑම වර්ෂයකම ලෝක ඒඩ්ස් දිනය සැමරුම දෙසැම්බර් 01දාට යෙදී ඇත. ඒ නිමේත්තෙන් සෞඛ්‍ය අමාත්‍යංශය HIV තුරන් කිරීම සඳහා පහත කරුණු වලින් සමන්වි මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

  • සෑම වසරකම ලෝක ඒඩ්ස් දින සැමරුම දෙසැම්බර් මස පළමු වන දිනට යෙදී ඇත. ලෝකයෙන් ඒඩ්ස් තුරන් කිරීමට සියලු පාර්ශවකරුවන්ගේ දායකත්වය හඳුනා ගැනීම සඳහා මෙය මහඟු අවස්ථාවකි.
  • ශ්‍රී ලංකාව HIV හෙවත් මානව ප්‍රතිශක්තිකරණ ඌනතා වෛරසය පැතිරීම සම්බන්ධයෙන් අඩු අවදානම් සහිත රටකි. (HIV ව්‍යාප්තිය 1 කටත් වඩා අඩු අගයක පවතී). නමුත් ශ්‍රී ලංකාව තුල වාර්තා වන නව HIV ආසාධිත රෝගීන්ගේ  කැපී පෙනෙන වර්ධනයක් මෑත කාලය තුල දක්නට ඇත.  ශ්‍රී ලංකාව තුල HIV අඩු අවදානම් තත්වය එසේ පවත්වාගෙන යාම අපගේ මුලික අරමුණයි.
  • 2019 වසර තුල පමණක් නව HIV ආසාධිතයන් 439 ක් වාර්තා වී ඇත. මෙයින් 359ක් පිරිමි පුද්ගලයන්ය.
  • ශ්‍රී ලංකාව තුල HIV පැතිරීම ප්‍රධානවම සිදු වන්නේ ආසාධිත සහකරුවන් සමග අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා පැවත්විම මගිනි. එයින් ද පිරිමි පිරිමි අතර පවත්නා (සමලිංගික) අනාරක්ෂිත ලිංගික හැසිරීම් නිසා HIV ව්‍යාප්තිය ශ්‍රී ලංකාව තුල සුලභව සිදු වේ.
  • වයස අවුරුදු 15-24 අතර යෞවනයන් අතර HIV ආසාදනයේ වැඩි වීමක් පෙන්නුම් කරයි. 2019 වසරේ නව HIVආසාදිතයන්ගෙන් 54 (12%) ක් ම මෙම වයස් කණ්ඩායමේ තරුණ තරුණියන් වූ අතර මොවුන් අතරින් ද 89% ක්ම පිරිමි පුද්ගලයන්ය.
  • ශ්‍රී ලංකාවේ HIV වසංගත ව්‍යාප්තිය සලකමින්, මෙම වසරේ ඒඩ්ස් දින සැමරුම් තේමාව, “තාරුණ්‍යයේ වගකීම ඉටුකරමු -HIV වළකමු” යන්නයි.
  • විවිධ හේතු නිසා තරුණ ප්‍රජාව HIV ආසාදනයට ගොදුරු වීමට වැඩි නැඹුරුවක් දක්වයි. එම හේතු පහත පරිදි වේ.
  • අඩු වයසින් ලිංගික සම්බන්දතා වලට යොමුවීම.
  • HIV සහ ලිංගාශ්‍රිත රෝග පිළිබඳ දැනුවත් භාවය මඳ බව.
  • අවදානම් ලිංගික හැසිරීම් වලින් වැලකීමට ප්‍රමාණවත් කුසලතා නොමැති වීම.
  • නවීන තාක්‍ෂණය අනිසි ලෙස භාවිතා කිරීම, නොදන්නා පුද්ගලයින් සමඟ ක්ෂණික සබඳතා ඇති කර ගැනීම.
  • කිහිප දෙනෙකු සමග ලිංගික සබඳතා පැවත්විම.
  • මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම.
  • HIV වසංගත ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ගත හැකි ක්‍රියමාර්ග පහත පරිදි වේ.

-   ලිංගික අධ්‍යාපනය සහ ජීවන කුසලතා සංවර්ධනය

-   විවාහය තෙක් ලිංගික සබඳතා ප්‍රමාද කිරීම.

-   එක් විශ්වාසවන්ත සහකරුවකුට /සහකාරියකට ලිංගික සබඳතා සීමා කිරීම.

-   ලිංගික එක්වීමකදී සෑමවිටම කොන්ඩමයක් භාවිතා කිරීම.

-   H.I.V ආසාධනය සඳහා අවදානමක් ඇති අය පරීක්ෂණ සහ ප්‍රතිකාර සේවා සඳහා යොමු කිරීම.

-  H.I.V කෙරෙහි ඇති අපකීර්තිය හා වෙනස් කොට සැලකීම් අවම කිරීමෙන්, අවශ්‍ය ප්‍රතිකාර සහ රැකවරණය සඳහා සුදුසු  පරිසරයක් නිර්මාණය කිරීම.

වැඩබිම