වතු කම්කරුවන් වෙනුවෙන් දුන් අයවැය පොරොන්දුවක් ඉටුවෙයි

වතු කම්කරුවන් වෙනුවෙන් දුන් අයවැය පොරොන්දුවක් ඉටුවෙයි

 

වතු කම්කරුවන් වෙනුවෙන් අයවැයෙන් පොරොන්දු වූ රුපියල් දහසේ දෛනික වැටුප අදාළ පාර්ශවකරුවන් සමඟ සාකච්ඡා කර වතු කම්කරුවන් වෙත ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවේදී පැවසීය.

අයවැය සම්මත වීමෙන් පසු එම වැඩපිළිවෙළ සැකසීම වහා අරඹන බවද කම්කරු අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

නිෂ්පාදන ධාරිතාව වැඩි කර ගැනීමට සමත් නොවූ සහ නිසි ලෙස රැකබලා නොගත් වතු රජයට පවරා ගැනීම සඳහා පනතක් ගෙන එන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.
කම්කරුවන්ගේ පැමිණිලි වෙනුවෙන් ඇහුම්කන් දීමට සහ ඔවුන්ට උපදේශන ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කිරීමේ වැදගත්කම සම්බන්දයෙන් ද කමිටුවේ අවධානය යොමු වූ අතර මුදල් වංචා කරන ලද නිලධාරීන් පිළිබඳ දීර්ඝ ලෙස කෝප් කමිටුවේදී අවධානය යොමු කළ යුතු බවද නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

පවතින කොවිඩ් තත්ත්වය හමුවේ විදෙස් ගතව සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ගෙන්වා ගැනීම පිළිබඳව වීරසුමන වීරසිංහ මහතා කාරක සභාවේ අවධානයට යොමු කළ අවස්ථාවේදී කොවිඩ් 19 සෞඛ්‍ය නිර්දේශ හා සීමාවන්ට යටත්ව විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ගෙන්වා ගැනීමට කටයුතු කරන බව නිමල් සිරිපාල ද සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කරන ලදි.

උපදේශක කාරක සභාවට සහභාගි වූ ජගත් පුෂ්පකුමාර මහතා සමාගම්, සංස්ථා ඇතුළු අර්ධ රාජ්‍ය ආයතන සඳහා බඳවා ගැනීමේ පටිපාටියක් සහ උසස් වීම් ලබා දීමේ පටිපාටියක් සකස් කර හඳුන්වාදීමේ අවශ්‍යතාව කාරක සභාවේ අවධානයට යොමු කරන ලද අතර, කම්කරුවන් සඳහා පැන නගිනු ලබන සේවා ගැටලු සඳහා අමාත්‍යවරයා ඇතුළු රාජ්‍ය ආයතනයන්හි මැදිහත්වීමේ වැදගත්කමද අවාධාරණය කළේය.

කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හේෂා විතානගේ, ජගත් පුෂ්පකුමාර,වීරසුමන වීරසිංහ, උපුල් ම‍හේන්ද්‍ර රාජපක්ෂ, වඩිවේල් සුරේෂ්, ශාන්ත බණ්ඩාර,මධුර විතානගේ, උදයන කිරිඳිගොඩ, අරවින්ද් කුමාර්, අසංක නවරත්න, වසන්ත යාපා බණ්ඩාර, කේ. කාදර් මස්තාන්, ගුණතිලක රාජපක්ෂ, රෝහණ දිසානායක, උපුල් ගලප්පත්ති, චමින්ද විජේසිරි, වී රාධක්‍රිෂ්ණන් යන මන්ත්‍රිවරුන් සහ රජ්‍ය නිලධාරින් මේ අවස්ථාවට එක්විය.