ජල සම්පාදනයේ කොන්ත්‍රාත් සේවකයින් ඉවත්කිරීමට යයි

ජල සම්පාදනයේ කොන්ත්‍රාත් සේවකයින් ඉවත්කිරීමට යයි

 

ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍යංශයේ ශ්‍රම කොන්ත්‍රාත් (Man power) සේවකයින්ගේ සේවය අවසන් කිරීම නවත්වන ලෙස වාමාංශික කම්කරු නායකයකු වන වත්මන් ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගෙන් ජලසම්පාදන හා ජලාපවහන සේවක සංගමය ලිපියක් යවමින් ඉල්ලා සිටී.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සියලූ ශ්‍රම කොන්ත්‍රාත් සේවකයින් (Man power) 2021 මැයි මාසය වන විට සේවයෙන් ඉවත් කිරීමටත් ඒ වෙනුවට ජනාධිපති කාර්ය සාධක බලකාය මඟින් කම්කරුවන් ලබා ගැනීමට කටයුතු කරන ලෙසත් ගරු අමාත්‍ය තුමා විසින් උපදෙස් ලබා දී ඇති බවත් ඒ අනුව කටයුතු කරන ලෙසත් ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි තුමා මඟින් 2020/11/23 දිනැති අංක GM/OP/01 දරණ ලිපිනයෙන් සියලූ අංශ ප‍්‍රධානීන් වෙත දන්වා තිබේ.

මෙසේ ග්‍රාම කොන්ත‍්‍රාත් සේවකයින් සේවයෙන් ඉවත් කිරීමට ගෙන ඇති තීරණය මඟින් බලවත් අසාධාරණයක් මෙම සේවකයින්ට සිදු වන බවත් මෙය මානූෂීය නොවන තත්වයක් බවත් සඳහන් කරන්නෙමු.

ජලසම්පාදන මණ්ඩලයේ මෙම සේවකයින්ගෙන් බොහෝ පිරිසක් වසර 10ක්, 15ක් සහ 20ක් වැනි විශාල කාලයක් තිස්සේ සේවය කරන අයවලූන්ය. නොයෙකුත් දුෂ්කරතා මැද අඩු වැටුපක් ලබමින් දීර්ඝ කාලයක් තිස්සේ ජලසම්පාදන මණ්ඩලය වෙනුවෙන් තම තාරුන්‍ය කැප කරමින් ශ්‍රමය ලබා දුන් මෙම සේවකයින් වෙනත් රැකියාවක් වෙත යෑමට අදහස් නොකල පිරිසකි. එසේම දැන් මොවුන්ට වෙනත් රැකියාවකට යෑමටද අපහසුය.

මෙම සේවකයින් දැන් මනා පලපුරුද්දක්, කුසලතාවයක් ලබා පුහුණු සේවකයින් බවට පත්ව සිටී. මොවුන් ඉවත් කරන්නේ නම් එය මණ්ඩලයට සිදු වන මනා මානව සම්පත් පාඩුවකි. එසේම මෙම සේවකයින් පුහුණු ශ්‍රමය ලබා දෙනුයේ ඉතා අඩු වැටුපකටය.

ගරු ඇමති තුමනි,

මෙම සේවකයින් ස්ථීර කරන ලෙස ඉල්ලා විවධ ඉල්ලීම් ඉදිරිපත් කරමින් උද්ඝෝෂණ ක්‍රියාමාර්ග වලටද එළැඹී අතර එක් අවස්ථාවක එවකට ජලසම්පාදන අමාත්‍යංශයේ ලේකම් වරයා ලිඛිත පොරොන්දුවක් ලබා දෙමින් කියා සිටියේ විදුලි බල මණ්ඩලයේ (Man power) සේවකයින් ස්ථීර කරන ආකාරයට අප මණ්ඩලයේ අයද ස්ථීර කිරීමට ඉදිරි පියවර ගන්නා බවයි.

එසේ පොරොන්දු වූයේ අමාත්‍යංශ ලේකම් වරයාගේ අංක 01/07/88 හා 2014/12/24 දිනැති ලිපිය මඟිනි. ඔබතුමා සමඟ පවත්වන ලද සාකච්ඡා වලදී ඔබතුමාට ඉහත කරුණ පැහැදිලි කිරීමෙන් පසුව ඔබතුමා එකඟ වී සිටියේ මෙම ශ්‍රම කොන්ත්‍රාත් සේවකයින් ස්ථීර කිරීමට වැඩ පිලිවෙලක් සකස් කරන බවයි.

එසේ ස්ථීර කිරීමට වැඩ පිලිවෙලක් වෙනුවට දැන් ඔබතුමාගේ උපදෙස් ලැබී ඇත්තේ එම සේවකයින් ඉවත් කිරීමටයි.

වාමාංශික කම්කරු නායකයකු වන ඔබතුමා මෙම තීරණය වෙනස් කරනු ඇතැයි අප උදක්ම බලා පොරොත්තුවන අතර මෙම සේවකයින් ඉවත් කරනු වෙනුවට මොවුන් ස්ථීර කිරීම වෙනුවෙන් සුදුසු වැඩ පිළිවෙල සකස් කරන ලෙස ඉල්ලා සිටින අතර මේ පිළිබඳව ඉක්මන් සාකච්ඡාවක් ලබා දෙන ලෙසද ඉල්ලා සිටිමු.