කම්කරු නීතිරීති නොතකන ඛනිජ තෙල් සංස්ථාව

කම්කරු නීතිරීති නොතකන ඛනිජ තෙල් සංස්ථාව

ලංකා ඛනිජ තෙල් නීති ගත සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂකවරයා ලෙස කලක් සේවය කළ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා මහතාගේ හිඟ වැටුප් සහ දීමනා වහාම ගෙවන ලෙසට කම්කරු කොමසාරිස් ජනරාල්වරයා කර ඇති නියෝගය තුට්ටුවකට මායිම් නොකර එම සංස්ථාවේ නිලධාරින් තිදෙනෙක් කම්කරු නීති රීති අමු අමුවේ උල්ලංඝනය කරමින් සිටින බව වාර්තාවේ. මෑත කාලයේදී එස්. එම්. සී. පී. සමරකොන් මහතාව නැවත සේවය පිහිටුවමින් කම්කරු විනිශ්චය සභාවේ සභාපතිතුමන් තීන්දුව ප්‍රකාශයට පත්කරමින්, ශ්‍රී ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිතුමාට දීර්ඝව හා දැඩි ලෙස අවවාද කරන ලදි. මෙවැන්නකට සභාපතිවරයා මුහුණ දුන්නේද විශේෂයෙන්ම ප්‍රධාන නීති නිලධාරිනියගේ වැරදි උපදෙස් නිසා බව වාර්තා වේ. 

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා, කළමනාකරණ අධ්‍යක්ෂවරයා සහ අධ්‍යක්ෂක මණ්ඩලය නොමඟ යවා, කම්කරු කොමසාරිස් ජනරාල්වරයාගේ මෙම නියෝගය නොසලකා හැර මෙසේ කම්කරු නීති රීති අමු අමුවේ උල්ලංඝනය කරමින් සිටින්නේ එම සංස්ථාවේ ප්‍රධාන නීති නිලධාරිනී ආර්.කේ.සී. ආරියරත්න, මානව සම්පත් කළමනාකරණ අංශයේ ආර්.එම්.එන්.එස්. රණවිර සහ පී.පී. වැලිකල යන මහත්ම මහත්මීහු වෙති.

මාසිකව රුපියල් 3,67,150ක වැටුපක් ගෙවන බවට වූ එකඟතා ගිවිසුමක් මත 2017. 05. 26 දින සිට 2017. 12. 22 දක්වා වූ හය මසක කාලයක් සඳහා මහාචාර්ය ප්‍රසන්න පෙරේරා මහතා ලංකා ඛනිජ තෙල් නීති ගත සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂකවරයා ලෙස සේවය කර ඇති නමුත් ගිවිසුම් ගත කොන්දේසිවලට අනුව අදාළ මාසික වැටුප සහ දීමනා ඔහු වෙත ගෙවීම ආයතනික බලධාරීන් දිගින් දිගටම පැහැර හැර තිබේ.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව මෙලෙස ගිවිසුම් ගත කොන්දේසි උල්ලංඝනය කරමින් සිය ගෙවීම් දිගින් දිගටම පහර හැර සීටිමේ තත්ත්වය මත එම සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ ධූරයෙන් ඉල්ලා අස් වී ඇති මහාචාර්ය ප්‍රසන්න පෙරේරා මහතා එම සිද්ධිය සම්බන්ධයෙන් කම්කරු දෙපාර්තමේන්තුවේ පැමිණිලි කර තමාට සාධාරණය ඉටු කර දෙන ලෙසට ඉල්ලීමක් කර ඇත.

එම පැමිණිල්ල විභාග කළ කම්කරු කොමසාරිස් ජනරාල්වරයා සිය තීන්දුව ලබා දෙමින්, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත නියෝග කර තිබෙන්නේ එම සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂකවරයා ලෙස සේවය කළ කාලයට අදාළව මහාචාර්ය ප්‍රසන්න පෙරේරා මහතා වෙත ගෙවිය යුතු රුපියල් විසි පන් ලක්ෂ හතළිස් පන්දහස් පන්සිය හැත්තෑ හයයි ශත විස්සක (2,545,576.20) හිග වැටුප් මුදල, 2019. 11. 25 වැනි දින හෝ එදිනට පෙර වහාම ගෙවන ලෙසටය.

සාප්පු සහ කාර්යාල සේවක පනතේ 129 වැනි අධිකාරියේ 53 (03) වගන්තිය යටතේ කම්කරු කොමසාරිස් ජනරාල්වරයා ලංකා ඛනිජ තෙල් නීති ගත සංස්ථාව වෙත නිකුත් කර ඇති එම ලිඛිත නියෝගය පාඨක ඔබගේ අවබෝධය සහ දැන ගැනීම සඳහා පහළින් පළ කර සිටින්නෙමු.

කම්කරු කොමසාරිස් ජනරාල්වරයාගේ මෙම ලිඛිත නියෝගය නොසළකා හැර, කම්කරු නීති රීති උල්ලංඝනය කරමින් මහාචාර්ය ප්‍රසන්න පෙරේරා මහතාට හිමි හිඟ වැටුප් ගෙවීම පැහැර හැර සිටීමේ කුමන්ත්‍රණය පිටු පස සිටින්නේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රධාන නීති නිලධාරිනී ආර්.කේ.සී. ආරියරත්න, මානව සම්පත් කළමනාකරණ අංශයේ ආර්.එම්.එන්.එස්. රණවිර සහ පී.පී. වැලිකල යන මහත්ම මහත්මීන් යැයි එම සංස්ථාවේ වෘත්තීය සමිති නියෝජිතයින් පිරිසක් පැවසූහ.

මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් මෙම නිලධාරින් තිදෙනා වැරදි තොරතුරු සහ උපදෙස් ලබා දෙමින්, ලංකා ඛනිජ තෙල් නීති ගත සංස්ථාවේ සභාපතිවරයා, කළමනාකරණ අධ්‍යක්ෂකවරයා සහ අධ්‍යක්ෂක මණ්ඩලය නොමග යවා ඇති බවට චෝදනා කළ එම වෘතීය සමිති නියෝජිතයෝ, මේ තත්ත්වයට එරෙහිව කම්කරු දෙපාර්තමේන්තුව අධිකරණ ක්‍රියාමාර්ග ගත හොත් අදාළ මහාචාර්යවරයා වෙත ගෙවීමට සිදු වන අධිභාරය වෙනුවෙන් වැය වන්නේ මහා ජන මුදල් බවද පෙන්වා දුන්හ.

මේ සම්බන්ධයෙන් මහාචාර්ය ප්‍රසන්න පෙරේරා මහතාගෙන් කරුණු විමසා සිටී අවස්ථාවේදී, ඔහු කියා සිටියේ මේ අසාධාරණයට එරෙහිව ඉදිරියේදී නෛතික ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු යොදා තිබෙන නිසා ඒ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කළ නොහැකි අතර කම්කරු දෙපාර්තමේන්තුව මේ ප්‍රශ්නයට අදාළව ඉදිරියේදී ගැනීමට නියමිත ක්‍රියා මාර්ග පිළිබඳව පූර්ණ විශ්වාසයක් තිබෙන බවය.

 

සුජිත් මංගල ද සිල්වා (ලංකා නිව්ස්වීක් අසුරිණි)