දුම්රිය ස්ථානාධිපතිවරු හෙට මැදියමේ සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක

දුම්රිය ස්ථානාධිපතිවරු හෙට මැදියමේ සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක
දුම්රිය ස්ථානවල පවත්නා අධික කණිෂ්ඨ සේවක හිඟය නිසා අදවනවිට පාර්සල් ප්‍රවාහන කටයුතු වලදී මතුව ඇති ගැටළුවත් මෙම සේවක හිඟය පියවීම සඳහා නිසි විසඳුමක් බලධාරීන් විසින් නොගැනීම යන කාරණා මුල්කරගනිමින් ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීරණය වීමට තීරණය කර තිබේ.
 
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සංගමයේ ලේකම් කසුන් චාමර ජයසේකර මහතා වැඩබිම හා ප්‍රකාශ කළේ මෙම දැඩි සේවක හිඟය හේතුවෙන් උද්ගතව ඇති ගැටළුවලට නිසි විසඳුමක් ලබාදෙන ලෙස පාලනාධිකාරයට බලකරමින්  හෙට මැදියමේ සිට (07) පාර්සල් ප්‍රවාහන කටයුතුවලින්  ඉවත්වීමට දුම්රිය ස්ථානාධිපතිවරු තීරණය කර ඇති බවයි.
 
සේවක හිඟය පියවීම සම්බන්ධයෙන් 2020 පෙබරවාරි මාසයේදී  බලධාරීන් සමඟ කළ සාකච්ඡාවේදී මසක් ඇතුළත විසඳුමක් ලබා දීමට පොරොන්දු වුවත් වසරකුත් ගත්වී තිබියදීත් කිසිදු සාධනීය ක්‍රියාමාර්ගයක් ගැනීමට අපොහොසත්ව ඇති බව සංගමය පෙන්වා දෙයි.
 
තවද, මේවනවිට දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවක පුරප්පාඩු 8000ක් පවතින බවත් ධාවන කටයුතු සිදුවෙන ප්‍රවාහන උප දෙපාර්තමේන්තුවල සේවක පුරප්පාඩු 3500ක්  පමණ ප්‍රමාණයක් පවතින බවත් එවැනි තත්ත්වයක් හමුවේ දුම්රිය මඟීන්ට උපරිම සේවාවක් ලබා දීමට නොහැකි වාතාවරණයක් උද්ගතවී තිබේ.
 
පවතින පුරප්පාඩු හේතුවෙන් දුම්රිය මඟීන්ට උපරිම සේවාවක් ලබා දීම උදෙසා මගී ප්‍රවාහන දුම්රියට හා දුම්රිය භාවිතා කරන මඟීන්ට උපරිම පහසුකම් ලබා දීම සඳහා පර්සල් ප්‍රවාහන ආශ්‍රිත කටයුතු වල නියැලෙන සේවකයින් තාවකාලිකව එමඟින් ඉවත්කර මගී ප්‍රවාහන කටයුතුවලට අදාළ රාජකාරිවලට යෙදවීමට සිදුව තිබේ.

මෙවැනි තත්ත්වයක දුම්රිය ස්ථාන වල කාර්‍යක්ෂමතාවය පවත්වා ගැනීමේදී ගැටළු රැසක් මතුව තිබෙන බවයි සංගමයේ ලේකම් කසුන් චාමර මහතා පෙන්වා දෙන්නේ.
 
එබැවින් මෙම ගැටළුවලට සාධනීය විසඳුමක් අපේක්ෂාවෙන් මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය කර බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය වැඩිදුරත් සඳහන් කරන්නේ.
 
කෙසේ වෙතත් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධාවක් ඇති නොවෙන අතර පාර්සල් ප්‍රවාහනයෙන් පමණක් ඉවත්වෙන බවයි හෙතෙම සඳහන් කළේ.
 
තවද දැනට භාරගෙන ඇති පාර්සල් ප්‍රවාහන කටයුතු වලට බාධාවක් නොවෙන බවත් අලුතින් පාර්සල් භාරගැනීම පමණක් නවතා තිබෙන බවත් කසුන් මහතා "වැඩබිම" වෙත ප්‍රකාශ කළේය.