කාදිනල්වරයා ආගමික වශයෙන් පාසල් වැසීම ගැටළුකාරි තත්ත්වයක් මතු කරන්නක්

කාදිනල්වරයා ආගමික වශයෙන් පාසල් වැසීම ගැටළුකාරි තත්ත්වයක් මතු කරන්නක්

අධ්‍යාපන අමාත්‍යාංශයේ නිසි අවසරයකින් තොරව කාදිනල්වරයා විසින් ආගමික පදනමෙන් පාසල් වැසීම ගැටලූකාරී තත්ත්වයක් බවත්, එසේ අත්තනෝමතිකව නිසි අවසරයකින් තොරව එම පාසල් සම්බන්ධයෙන් විවිධ තීරණ ගැනීම නව ප‍්‍රශ්නයක් මතු කිරීමක් බව පෙන්වා දෙන බව ලංකා ගුරු සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

කතෝලික පාසල් අපේ‍්‍රල් 21 දින නිවාඩු ලබාදෙන බව මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමා විසින් ප‍්‍රකාශ කර ඇත. එතුමන් විසින් මෙසේ පාසල් නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් ප‍්‍රකාශ කර ඇත්තේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පාසල් නිවාඩු දීම සම්බන්ධයෙන් විධිමත් අවසරයක් ලබාගැනීමෙන් තොරවය.

ලංකාවේ පාසල් වර්ගීකරණයට අනුව කතෝලික පාසල් යනුවෙන් පාසල් වර්ගයක් නැත. කාදිනල්වරයා ප‍්‍රකාශ කර ඇති පරිදි අපේ‍්‍රල් 21 දින නිවාඩු ලබාදෙන පාසල් අතර රජයේ ආධාර ලබන උපකෘත පාසල් වේ. මෙම පාසල් 1960 අංක 5 සහ 1961 අංක 8 දරණ පනත් මගින් රජයට පවරා ගන්නා ලද පාසල් වේ. එසේම එම පාසල්වල සේවය කරන ගුරුවරුන්ට වැටුප් ලබාදෙන්නේ ද අධ්‍යාපන අමාත්‍යාංශය මගිනි. පවතින ප‍්‍රතිපාදන වලට අනුව මෙම පාසල්වල පාලනය හා කටයුතු කිරීම අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කරන චක‍්‍රලේඛවලට අනුව සිදුවේ. මෙම පාසල්වල පාලනය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙනම අංශයක් ද පවතින අතර, ඒ සඳහා අධ්‍යක්ෂවරයෙක් යටතේ කාර්ය මණ්ඩලයක් ද කටයුතු කරයි. මෙම තත්වය තුළ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිසි අවසරයකින් තොරව කතෝලික පාසල් යයි කාදිනල්වරයා හඳුන්වන පාසල් අපේ‍්‍රල් 21 වසා දමන බව ප‍්‍රකාශ කිරීම බරපතල ගැටලූකාරී තත්ත්වයකි.

මීට ඉහතදී ද අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පාසල් නිවාඩුව අපේ‍්‍රල් 9 දින සිට ප‍්‍රකාශයට පත්කර තිබියදී කාදිනල්වරයා විසින් කතෝලික පාසල් අපේ‍්‍රල් 5 සිට නිවාඩු ලබාදෙන බව ප‍්‍රකාශ කිරීම සහ පාසල් නිවාඩු ලබාදීම ද ගැටලූකාරී විය.

මේ වන විට ආගම් අනුව, ජාතීන් අනුව පාසල් පවත්වාගෙන යාම නොකළ යුතු බවට සමාජ කතාබහක් නිර්මාණය වී ඇත. රජය විසින් පත් කරන ලද පාස්කු ප‍්‍රහාරයට අදාළ කොමිසම මගින් නිකුත් කරන ලද මතභේදාත්මක වාර්තාවෙන් ද ආගමික පදනමින් පාසල් පැවැත්වීම පිළිබඳව ප‍්‍රශ්න මතුකර තිබුණි. එවැනි තත්වයක කාදිනල්වරයා රජයට පවරා ගන්නා ලද උපකෘත පාඨශාලා කතෝලික පාසල් යයි නම් කරමින් අත්තනෝමතිකව නිසි අවසරයකින් තොරව එම පාසල් සම්බන්ධයෙන් විවිධ තීරණ ගැනීම නව ප‍්‍රශ්නයක් මතු කිරීමක් බව පෙන්වා දෙමු. එසේම මෙම ප‍්‍රවණතාවය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ අවධානයක් යොමුකළ යුතු බව ද ලංකා ගුරු සංගමය ප‍්‍රකාශ කර සිටී.