පෞද්ගලික අංශ ශ්‍රමිකයින් ගැන රජය දක්වන ආකල්පයට වෘත්තිය සමිතිවල විරෝධය

පෞද්ගලික අංශ ශ්‍රමිකයින් ගැන රජය දක්වන ආකල්පයට වෘත්තිය සමිතිවල විරෝධය

“කොවිඩ් 19 වසංගතයට මුවා වී සේවක අයිතීන් උදුරාගැනීමට ඉඩ නොදෙනු” යන මැයෙන් කර්මාන්තශාලා වල වැඩකරන සේවකයන් මුහුණදෙන ගැටළු පිළිබඳව සාකච්චා කරන මාධ්‍ය හමුවක් ඊයේ (21) කොල්ලුපිටිය සී.එම්.යූ කාර්යාලයේදී පැවැත්විණි. ලංකා වෙළඳ කාර්මික සහ පොදු කම්කරු  සංගමය, කම්කරු අරගල මධ්‍යස්ථානය, තොරතුරු හා විදුලි සංදේශ සියලු සේවක සංගමය, පෞද්ගලික සේවක මධ්‍යස්ථානය නියෝජනය කරමින් වෘත්තීය සමිති නායකයින් එය පැවැත්වූ අතර එහිදී අදහස් දැක්වූ එහි ප්‍රධාන ලේකම් සිල්වෙස්ටර් ජයකොඩි විසින් මෙලෙස මාධ්‍යයට අදහස් දක්වන ලදී.  

වැඩකරන ජනතාවගෙන් 5%ක් වත් සංවිධානය වෙලා නෑ. විශේෂයෙන්ම නිදහස් වෙළඳ කලාපය සහ කලාපයෙන් පිට කර්මාන්ත ශාලාවල වැඩකරන අසංවිධානාත්මක කම්කරුවන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. රජය විසින් හිටි හැටියේ පනවන සංචරණ සීමා කිරීම් හේතුවෙන් එම සේවකයන් දැඩි ලෙස අපහසුතාවයන්ට පත්ව ඇති අතර ඔවුන්ගේ ප්‍රවාහනය වැනි දේ නිසියාකාරව සිදු කළ නොහැකි තත්ත්වයක පවතී. නමුත් පාලකයන් විසින් වැඩට නොපැමිණෙන සේවකයන්ට පඩි නොගෙවන බව පවසා ඇත. සාමාන්‍යයෙන් අවම වැටුප් තබාගෙන ඇති නිසා අතිකාල කර වැඩි වැටුප් ලබා ගැනීමට සේවා දායකයාට සිදු වී ඇති අතර එම වැටුපෙනුත් වැඩි කොටසක් බස් නොමැති නිසා විකල්ප ප්‍රවාහන ක්‍රම සඳහා වැය  කිරීමට සිදු ව ඇත. පාලකයන්ව මේ පිළිබඳව දැනුවත් කිරීමේ සහ  ඊට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගැනීමේ වගකීම තිබෙන්නේ රජයටයි. රජය මේ සඳහා මැදිහත් වන ආකාරයක්  දක්නට ලැබෙන්නේ  නැහැ. විශේෂයෙන්ම පුද්ගලික අංශයේ සේවකයන් පිළිබඳව රජය දක්වන ආකල්පය පිළිබඳව අපගේ දැඩි විරෝධය දක්වනවා.

පාලකයන් තමන්ගේ තීරණයන්ට අනුව වැඩ කරන අතර රජයේ තීරණයන්ට අනුව සේවකයන්ට කටයුතු කිරීමට බල කෙරෙමින් පවතිනවා.  මේ ඝට්ටනය තුළ විශාල ගැටළුවකට මුහුණ දීමට පුගලික අංශයේ සේවකයන්ට සිදු වෙලා තියෙනවා. නිදහස් වෙළඳ කලාප වල බොහෝ ආයතන වල කම්කරුවන්ගේ වෘත්තීය සමිති නෑ. සමහර ආයතන වල සේවක සභා කියල තියෙන නමුත් ඒවා පාලකයන් සමග කටයුතු කරමින් සිටින රූකඩ පමණි. එසේම කම්කරු දෙපාර්තමේන්තුවේ පිහිටුවා ඇති ජාතික කම්කරු උපදේශන සභාව මාසෙකට වරක් රැස්විය යුතු වුවද පසුගිය මාර්තු මාසයෙන් පසු එය රැස් වෙලා නැහැ. මීට අමතරව වැඩකරන ජනතාවගේ ප්‍රශ්න ගැටළු සොයාබැලීමට කාර්යය සාධක බලකායක් පිහිටුවා ඇති අතර එයත් මාර්තු මාසයෙන් පසු කැඳවා නැත. සේවකයන්ගේ ප්‍රශ්න පිළිබඳව අද රජය කියන දේ අහගෙන දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන ඉන්න තත්ත්වයට සේවකයන්ද පත්වෙලා තියෙනවා. අපි හිතනවා මේ අවස්තාව්දී ඉදිරි සතිය තුළදී ත් විවිධාකාරයෙන් සංචරණ සීමා දාල තියෙනවා. මෙය වැඩකරන ජනතාවට සෘජුවම බලපානවා. ඒ නිසා වැඩකරන ජනතාව, වෘත්තීය සමිති, වෘත්තීය සමිති නොමැති වුණත් සමහර ආයතන වල තිබෙන සුභසාධක සංගම් මේ පිළිබඳව යම් කිසි ක්‍රියා මාර්ගයකට යාමේ අවශ්‍ය තාවය ඇත. විශේෂයෙන් මාසික වැටුප ලබා දීම සඳහා යම් කිසි ක්‍රමවේදයක් සැලැස්විය යුතුව තිබෙනවා. විශේෂඥ වෛද්‍යවරු සති දෙකක් ලොක් ඩවුන් කරන්න කියනකොට, වැඩකරන මිනිස්සු මොකද්ද කරන්නේ කියන ප්‍රශ්නය තියෙනවා. රජය කර්මාන්ත හිමිකරුවන්ට විශාල බදු සහන, ණය සහන හා පහසුකම් සලසා ඇති නිසා එලෙස දින 14ක් රට වසා තැබුවද  කම්කරුවන්ගේ වැටුප් ගෙවිය යුතුයි.

සටහන - කල්ප මධුරංග