සැලසුම්සහගතව සේවකයින් ඝාතනය කිරීම සම්පූර්ණයෙන්ම හෙලා දකිනවා-දුමින්ද නාගමුව

සැලසුම්සහගතව සේවකයින් ඝාතනය කිරීම සම්පූර්ණයෙන්ම හෙලා දකිනවා-දුමින්ද නාගමුව

සේවකයන් ෆැක්ටරි ඇතුළට ගාල් කරලා සිදු කරන සැලසුම් සහගත මනුෂ්‍ය ඝාතනය සම්පුර්ණයෙන්ම හෙලා දකිනවා.  දුමින්ද නාගමුව - කම්කරු අරගල මධ්‍යස්ථානය

“කොවිඩ් 19 වසංගතයට මුවා වී සේවක අයිතීන් උදුරාගැනීමට ඉඩ නොදෙනු” යන මැයෙන් කර්මාන්තශාලා වල සහ අනෙකුත් සේවකයන් මුහුණ දෙන ගැටළු පිළිබඳව මාධ්‍ය සාකච්චාවක් පසුගිය 21 වෙනි දින  සී.එම්.යූ කාර්යාලයේදී පැවැත්විණි. ලංකා වෙළඳ කාර්මික සහ පොදු කම්කරු  සංගමය, කම්කරු අරගල මධ්‍යස්ථානය, තොරතුරු හා විදුලි සංදේශ සියලු සේවක සංගමය, පෞද්ගලික සේවක මධ්‍යස්ථානය නියෝජනය කරමින් වෘත්තීය සමිති නායකයින් එය පැවැත්වූ අතර එහිදී කම්කරු අරගල මධ්‍යස්ථානයේ දුමින්ද නාගමුව  විසින් මෙලෙස මාධ්‍යයට අදහස් දක්වන ලදී.  

වත්මන් ආණ්ඩුව විසින් මේ වනවිට රටේ වැඩකරන ජනතාව කොවිඩ් 3 වන රැල්ලට බිලි දීල තියෙනවා. එසේම කොවිඩ් අරමුදල සම්බන්ධයෙන් විශාල විව්චනයන් ගොඩනැගිල තිබෙනවා. විශේෂයෙන්ම ඇම්බියුලන්ස් 10ක් ගෙන්නුවේ ඇයි? ඇම්බියුලන්ස් ගෙන්නද්දී  එකකට මිලියන 1.94ක් වෙන් කළේ ඇයි? යන ප්‍රශ්න වලට ආණ්ඩුවේ වගකිවයුත්තෙක්  තාමත් උත්තර දීල නැහැ. වැඩකරන ජනතාවගේ පඩියෙන් බලහත්කාරයෙන් කපාගත්ත සල්ලි වලින් තමයි ආණ්ඩුව මේ සෙල්ලම් කරමින් ඉන්නේ. මේ ආකාරයට කොව්ඩ් අරමුදලට වැඩකරන කම්කරුවාගේ වැටුපෙන් කපා ගනිද්දී පහුගිය අවුරුදු වල කොම්පැනි කාරයන්ගෙන් සහ ධනකුවෙරයන්ගෙන් අයකලයුතු බදු රුපියල් බිලියන 300ක් පැහැර ඇරලා තියෙනවා. මේක බරපතල  අපරාධයක්. මේ රටේ සාමාන්‍යය මිනිස්සු ගහන පෙට්‍රල් ටිකට, වෙළඳපලට ගියාම ගන්න සීනි ටිකට බදු ගහනවා. ඒ ගහන බද්දත් අරගෙන වැට්බදුත් වංචා කරනව මේ සමාගම් වලින්. වසංගතය නිසා වියදම් අඩු කරගන්න කියල මේ රටේ ජනතාවට කියන ආණ්ඩුවට  ඇයි බැරි මේ රටේ ධන කුවේරයින්ට උඹලගේ බදු ගෙවන්න කියල කියන්න?. පහුගිය අවුරුද්දට විතරක් මේ සමාගම් විසින්  නොගෙවූ සහ පැහැර හැරපු බදු බිලියන 100කට වඩා තියෙනවා. මේ රටේ කොටස් වෙළඳ පොළේ ආයෝජනය කර ඇති ප්‍රධාන සමාගම් 100 බදු ගෙවූ පසු ශුද්ධ ලාභය රුපියල් බිලියන 200ක්. ආණ්ඩුව රජයේ සේවකයන්ගේ වැටුපෙන් කප්පාදු කරලා බිලියන 1.7ක අරමුදල හදාගත්තා ඇරෙන්න මේ සමාගම් වලින් 1%ක්වත් ගත්තේ නෑ.


වැඩබිම පුවත් තවදුරටත් කියවන්න...

 


කොවිඩ් තුන් වෙනි රැල්ල ආරම්භ වෙද්දීම, කොම්පැනි වැහෙයි කියල හිතෙනකොටම කම්කරු  ඇමති ඉස්සරහට ඇවිත් ප්‍රකාශයක් කළා. කොහෙහරි තැනක රස්සාවල් නැති වෙනවනම්, කොම්පැණි තාවකාලිකව වහනවානම්, කාටහරි වැඩට එන්න  බැරිනම් වැඩට එන්න බැරි මිනිහට පඩි භාගයක් ගෙවන්න. කම්කරුවට ඒක නිසා තමන්ගේ සහ තමන්ගේ ළමයින්ගේ ජිවිත පරදුවට තබා වසංගතය මැද්දේ වැඩට යන්න සිද්ද වෙනවා. ආණ්ඩුව වසංගතයේ වෛරස් ප්‍රබේද පැතිරීම සම්බන්ධව රට තුළ මේ වෙද්දී නිසියාකාරව තත්ත්ව ඇගයිමක්  වත් කර නැහැ.  රට සති දෙකකට වාසිය යුතුයි කියල විශේෂඥ වෛද්‍යවරුන්ගේ යෝජනාවක් තිබෙන අතර එසේ වසන්නේ නම් එම සති දෙකට අදාළව කම්කරුවන්ගේ සියලු වැටුප් ගෙවිය යුතුයි. ඒ වගේම ලබන සතියෙත් රට කඩින් කඩ වැහුවත් පෞද්ගලික අංශයේ සේවකයන්ට රස්සාවට යන්න වෙලා තියෙනවා.  අනිත් මින්ස්සු මිනිස්සු එයාලට කොරෝනා හැදෙනවා, පෞද්ගලික අංශයේ සේවකයන් මින්ස්සු නෙවෙයි කියලද ආණ්ඩුව කියන්නේ?. මෙහිදී නිශ්චිතවම අසමානකොට සැලකීමක් දක්නට ලැබෙන අතර කොම්පැනි කාරයන්ට ආවශ්‍ය ලාභ කඳු ගොඩගහන්න සහ මේ රටේ ආර්ථිකය දුවවන්න යයි කියමින් පෞද්ගලික  අංශයේ කම්කරුවන් බිලිදෙමින් ඉන්නවා. ගාමන්ට් ෆැක්ටරි වල ළඟ ඉන්න සහෝදර සේවකයා කොවිඩ් හැදුනම එයාව ගෙදර තියල අනිත් අයට වැඩට එන්න කියල ෆැක්ටරි දුවවනවා.

පාඩුයි පාඩුයි කියල  පට්ටපල් බොරුවක් කියමින්, පසුගිය වසරේ විශාල සමාගම් ප්‍රමාණයක් ලාභ ලබල තියෙනවා. අපි අභියෝග කරනවා පාඩු ලබන සමාගම් කියන්න කියලා. මේ සමාගම් කියනවා මාසයක් පඩි දෙන්න බැහැලු. හැබැයි මේ කොම්පැනි වල අවුරුද්දක ලාභයෙන්  විස්සෙන් එකයි වැටුප් කම්කරුවට යන්නේ. මාසෙක ශුද්ධ ලාභයෙන් දහයෙන් එකක් වගේ තමයි කම්කරුවට යන්නේ. වැඩකලේ නැත්නම් මාසෙක වැටුප් ගෙවන්න බැහැ කියන එක කොම්පැනි කාරයො කියන පට්ටපල් බොරුවක්.  මේ බරපතල අසාධාරණය තියෙද්දී පෞද්ගලික අංශයේ සේවකයෝ, ඇඟලුම් කර්මාන්තයේ සේවකයන් ෆැක්ටරි ඇතුළට ගාල් කරලා මේ කරන සැලසුම් සහගත මනුෂ්‍ය ඝාතනය   අපි සම්පුර්ණයෙන්ම හෙලා දකිනවා. අපි ආණ්ඩුවට අනතුරු අඟවනවා මේක නම් රටේ වැඩකරන ජනතාව සමග වැඩකරන්න හදන විදිහ රජයේ සේවකයන්, සෞඛ්‍ය අංශවල සේවකයන්, පෞද්ගලික අංශයේ සේවකයන් සියල්ල ඒකාබද්ධ කරපු පුළුල් විරෝධතාවයකට අවශ්‍ය කටයුතු සිදු කරනවා.  

කල්ප මධුරංග