කාන්තා සංවර්ධන නිලධාරින් පිරිවෙන්වල රාජකාරි කිරීමට අනුයුක්ත කිරීමට විරෝධය

කාන්තා සංවර්ධන නිලධාරින් පිරිවෙන්වල රාජකාරි කිරීමට අනුයුක්ත කිරීමට විරෝධය

මූලික පිරිවෙන් විහාරස්ථාන සඳහා කාන්තා සංවර්ධන නිලධාරිනියන් රාජකාරී සඳහා අනුයුක්ත කිරීම මත ඇතැම් පිරිවෙන්වල ප්‍රධානීන්ගෙන් මතුව ඇති විරෝධතාවයත්, විශේෂයෙන්ම එවැනි ආයතනයක රාජකාරී කිරීමට සිදුවීම හරහා  කාන්තා නිලධාරිනියන් විසින් මතුකරන ගැටළු සැලකිල්ලට ගෙන පිරිවෙන් සඳහා අනුයුක්ත කර ඇති එම පිරිවෙන් වලට රාජකාරී වාර්තා කිරීම ප්‍රතික්ෂේප කරන සංවර්ධන නිලධාරිනියන් සඳහා අමාත්‍යාංශය යටතේ වෙනත් සුදුසු ආයතන වෙත අනුයුක්ත කිරීමට හෝ නැතිනම් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය වෙත නිදහස් කිරීමට පියවර ගන්නා ලෙස දහම් පාසල්, පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයේ, ලේකම්වරයා වෙත ලිපියක් යවමින් සංවර්ධන නිලධාරි සේවා සංගමය ඉල්ලීමක් කර ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ,

වසරක පුහුණුව අවසන් හා අවසන් වීමට නියමිත සංවර්ධන නිලධාරීන් ස්ථීර කර රාජ්‍ය ආයතන වෙත අනුයුක්ත කිරීම හා ස්ථීර සේවා ස්ථාන සඳහා අනුයුක්ත කිරීම මේ වනවිට සිදු කරමින් පවතී.

ඒ අනුව දහම්පාසල්, පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය වෙත රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය මඟින් යොමු කළ කාන්තා සංවර්ධන නිලධාරිනියන් පිරිසක් මූලික පිරිවෙන් ඇතුළු පිරිවෙන් ආයතන වෙත අනුයුක්ත කිරීමට පියවර ගෙන ඇති බව අප සංගමය වෙත වාර්තා වේ,

  • මූලික පිරිවෙන් ඇතුළු පිරිවෙන් ආයතන වෙත කාන්තා සංවර්ධන නිලධාරිනියන් අනුයුක්ත කර ඇති අතර ඒ පිළිබඳව විරෝධතාවයක්  හා එම නිලධාරිනියන් ප්‍රතික්ෂේප කිරීමක් ද මේ වන විට මතුව ඇත,
  • පිරිවෙන්වල වැඩ භාරගැනීම සඳහා යොමුකළ කාන්තා සංවර්ධන නිලධාරිනියන් සඳහා අවශ්‍ය සේවා පහසුකම් සැපයීමට තරම් ප්‍රමාණවත් පහසුකම් හා පරිසරයක් නොමැතිකමින් ඇතැම් ගරු පරිවේනාධිපති/ කෘත්‍යාධිකාරී ස්වාමින් වහන්සේලා විසින් එම ප්‍රතික්ෂේප කිරීම් සිදු කර ඇත,
  • සතියේ පස්වරු 1.15 සිට සවස 5.15 හෝ සවස 6.00 දක්වා ඇතැම් මූලික පිරිවෙන් පවත්වාගෙන යන අතර එවැනි කාල සීමාවක භික්ෂූන් වහන්සේලා පමණක් සිටින ආයතනයක රාජකාරියේ යෙදීමට පුද්ගලිකව කාන්තා සංවර්ධන නිලධාරිනියන් අකමැති බවත් එවැනි තීරණයක් ගැනීම පිළිබඳ එම නිලධාරිනියන් අදාළ අංශ වෙත දැඩි අප්‍රසාදය ද පළ කරමින් සිටින බව දන්වා සිටිමු,
  • ඇතැම් විද්‍යායතන පිරිවෙන් සාමාන්‍ය පාසල් මෙන්ම පෙරවරු. 7.30 සිට 1.30 දක්වාත්, ගිහි පැවදි ගුරුවරුන් හා සිසුන් එහි අධ්‍යාපන කටයුතුවල නිරත වන බැවින් පිරිවෙන් විද්‍යායතන වලට වඩා අදාළ ගැටළුකාරී තත්වය උද්ගතව ඇත්තේ මූලික භික්ෂු පිරිවෙන් හා මහා පිරිවෙන් වෙත කාන්තා සංවර්ධන නිලධාරීන් සේවයට යෙදවීමත් සමඟ බව සඳහන් කරමු,
  • මූලික පිරිවෙන්වල භික්ෂූන් වහන්සේලා සඳහා උගන්වන බොහෝ විෂයන් භික්ෂු අධ්‍යාපනය හා සම්බන්ධ වූ විෂයන් වන අතර ඉංග්‍රීසි, ගණිතය වැනි විෂයන් සඳහා ඊට අදාළ ගුරුවරුන් පිරිවෙන් තුළ මේ වන විටත් සිටින බැවින් කුමන පදනමකින් කුමන අරමුණක් වෙනුවෙන් කාන්තා සංවර්ධන නිලධාරිනියන් යෙදෙව්වේ ද යන්න අපහැදිලිය,
  • කෙසේ වෙතත් මූලික පිරිවෙන් විහාරස්ථාන සඳහා කාන්තා සංවර්ධන නිලධාරිනියන් රාජකාරී සඳහා අනුයුක්ත කිරීම මත ඇතැම් පිරිවෙන්වල ප්‍රධානීන්ගෙන් මතුව ඇති විරෝධතාවයත්, විශේෂයෙන්ම එවැනි ආයතනයක රාජකාරී කිරීමට සිදුවීම හරහා  කාන්තා නිලධාරිනියන් විසින් මතුකරන ගැටළු සැලකිල්ලට ගෙන පිරිවෙන් සඳහා අනුයුක්ත කර ඇති එම පිරිවෙන් වලට රාජකාරී වාර්තා කිරීම ප්‍රතික්ෂේප කරන සංවර්ධන නිලධාරිනියන් සඳහා අමාත්‍යාංශය යටතේ වෙනත් සුදුසු ආයතන වෙත අනුයුක්ත කිරීමට හෝ නැතිනම් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය වෙත නිදහස් කිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙස අප සංගමය කාරුණිකව ඉල්ලා සිටිමු.