ඉන්දීය ධීවරයන් නිදහස් කරන්න අධිකරණ නියෝගයක්

ඉන්දීය ධීවරයන් නිදහස් කරන්න අධිකරණ නියෝගයක්

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරත වූ බවට චෝදනා මත අත්අඩංගුවේ පසුවූ ඉන්දීය ධීවරයන් 56 දෙනෙකු නිදහස් කිරීමට අධිකරණ තීන්දුවක් ලබා දී තිබේ.           

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන අන්දමට යාපන අර්ධද්වීපයේ අධිකරණයක් විසින් මෙම නියෝගය සිදුකර ඇත.

 මන්නාරමට දකුණු දිගින් ධීවර කටයුතු වල නිරත වෙමින් සිටියදී මෙම ධීවරයන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ පසුගිය දෙසැම්බර් මාසය මැදදීය.

මෙම අධිකරණ තීන්දුව පිළිබඳව සතුටු වන බව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසා තිබේ.

 එම ට්විටර් පණිවිඩය පදනම් කරගෙන ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය - එස්. ජයිශංකර් මහතා ද ප්‍රකාශ කර තිබුණේ මෙම ධීවරයන් නිදහස් කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ඉන්දීය මහ කොමසාරිස්වරයා හා ඔහුගේ කණ්ඩායමට ප්‍රශංසා කර ඇත.

(ශ්‍රී ලංකා මිරර්)