දේශීය ආදායම් නිලධාරීන් සේවයෙන් ඉවත්වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක

දේශීය ආදායම් නිලධාරීන් සේවයෙන් ඉවත්වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අද (26) සිට සේවාවලින් ඉවත්වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.
 
යෝජිත විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් ඊයේ (25) දිනයේ දි ද,  ඔවුන් දේශීය ආදායම් දෙපාර්තමේන්තු පරිශ්‍රය තුළ සංකේත වැඩවර්ජනයක් ද දියත් කරන ලදී.
 
කෙසේවෙතත් ඒ සඳහා නිසි ප්‍රතිචාරයක් බලධාරීන්ගෙන් නොලැබීම හේතුවෙන් අද සිට සේවයට වාර්තා කර රාජකාරී කටයුතුවලින් ඉවත්වීමේ වෘත්තීය ක්‍රියාමර්ගයක නිරත වන බව දේශීය ආදායම් වෘත්තිය සමිති එකමුතුවේ විධායක සභික එච්.ඒ.එල්.උදයසිරි මහතා පවසයි.
 
"අද දවසේ අපි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ වගේම සියලුම දිස්ත්‍රික්ක කාර්යාලවල සේවය කරන සියලුම කාර්ය මණ්ඩලය සේවයට වාර්තාකරලා රාජකාරි කටයුතුවලින් බැහැරවීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීරණ වීමට තීරණය කරලා තියෙනවා. ඒකට හේතුව තමයි මේ වෙනකොට පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරලා තියෙන විශේෂ භාණ්ඩ හා සේවා බද්ද වගේම ඒ පනත් කෙටුම්පත මඟින් ඇතිකරලා තියෙන සේවාවට සහ දෙපාර්තමේන්තුවලට. ඒ වගේම සමස්තයක් විදිහට අහිතකර තත්ත්වය සම්බන්ධයෙන් අපි දිගින් දිගටම මුදල් අමත්‍යාංශයට සහ අදාළ අංශවලට ලිඛිතව කරුණු ඉදිරිපත් කළා. නමුත් මේ දක්වා මේ සාකච්ඡාවකට අවස්ථාවක් ලැබිලා නැහැ. ඒ නිසා අපි අද දවසේ සිට අඛණ්ඩ වැඩවර්ජනයකට සහ වෘත්තී සමිති ක්‍රියාමර්ගයකට යන්න බලාපොරොත්තු වෙනවා."
 
මේ අතර‍ අද උදෑසන 7 සිට බස්නාහිර පළාතේ සියලු රෝහල්වල වර්ජන ක්‍රියාමාර්ගයක නිරතවීමට පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය තීරණය කර තිබේ.
 
එහි සභාපති රවී කුමුදේශ් මහතා සඳහන් කළේ, පරිපුරක හා අතුරු වෛද්‍ය සේවයේ සහ හෙද සේවයේ පවතින වැටුප් විෂමතා ගැටලු සඳහා විසදුම් ලබාදීමට කිසිදු පාර්ශවයක් මැදිහත් නොවීමට විරෝධය පළ කරමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සිදුකරන බවය.