නැව්වල නව ක්ෂේත්‍ර රැසක රැකියා සඳහා ලාංකිකයන්ට විශාල ඉල්ලුමක් තියෙනවා

නැව්වල නව ක්ෂේත්‍ර රැසක රැකියා සඳහා ලාංකිකයන්ට විශාල ඉල්ලුමක් තියෙනවා

වෙළඳ හා සුඛෝපභෝගී මගී නෞකාවල නව ක්ෂේත්‍ර ගණනාවක රැකියා සඳහා ලාංකිකයන්ට විශාල ඉල්ලුමක් ඇති බවත් ඒ සඳහා මෙරට තරුණ තරුණියන් පුහුණු කිරීමට පුළුල් වැඩපිළිවෙලක් ආරම්භ කරන බව වරාය,නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.මෙතෙක් අපේ රටේ තරුණයන් නැව්වල රැකියා සඳහා ගියේ සීමන්වරුන් හෙවත් වෙළෙඳ නාවිකයන් ලෙස නමුත් මේ වන විට විශාල මගී (Cruise) නෞකාවල කරණවෑමියන්,අරක්කැමියන්, ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ රැකියා,කැසිනෝ හා විනෝදාස්වාද සේවා ප්‍රාසාංගික සේවා ශිල්පීන් ආදීන් ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක රැකියා සඳහා විශාල ඉල්ලුමක් ඇතැයි ද ශ්‍රී ලංකාවේ තරුණයන්ගේ සේවා ප්‍රශස්ත තාවය නිසා ලංකාවේ තරුණයන්ට නාවික රැකියා සඳහා විශාල ඉල්ලුමක් යුරෝපයේ සහ වෙනත් රටවල පවතින බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

වෙළඳ නාවිකයන් හා විශේෂ සේවා සඳහා නාවිකයන් පුහුණු කරන ආයතනවල නියෝජිතයන් සමග (20) දින පැවැති සාකච්ඡාවක දී මෙම තොරතුරු අනාවරණය විය.

මෙම නව නාවික ක්ෂේත්‍ර රැකියා සඳහා නැව්වලට ඇතුල්වීම සඳහා ලබාදෙන බලපත්‍රය (CDC) ලබා ගැනීමේ ගැටළු සහගත තත්ත්වයක් ඇති බව එම පුහුණු ආයතන පෙන්වා දුන් අතර, පවතින නීති හා රෙගුලාසි සංශෝධනය කර එම නව රැකියා ක්ෂේත්‍ර සඳහා නැව් නැගීමේ බලපත්‍රය පහසුවෙන් හා විවෘතව ලබාගැනීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන බව අමාත්‍යවරයා මෙහි දී පැවසීය.ඒ සඳහා අමාත්‍යංශ ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් පුහුණු ආයතන නියෝජිතයන්,අදාල වෘත්තීය සමිති නියෝජිතයන් ද.ඇතුළත් කමිටුවක් පත්කර මේ සම්බන්ධව ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ යෝජනා සකස් කර කඩිනමින් තමාට ලබා දෙන ලෙස එම නියෝජිතයන්ට හා වෙළඳ නාවික ලේකම් කාර්යාලයට අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

මේ වන විට ශ්‍රී ලාංකිකයන් දහසය දහසක් (16.000) පමණ විවිධ නාවික රැකියාවල නිරත වී සිටින බවත් එය ලෝකයේ නාවික රැකියාවල නිරත වී සිටින සංඛ්‍යාවෙන් දශම එකක් පමණ බව පැමිණි සිටි නියෝජිතයෝ පෙන්වා දුන්හ.

වෙන රටවල තරුණයන්ට වඩා ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් පිළිබඳ ලෝක නාවික ක්ෂේත්‍රයේ ගෞරවනීය තත්ත්වයක් ඇති බවත්, එම නිසා උපරිම වශයෙන් මෙම ක්ෂේත්‍රය පිළිබඳ පුහුණුව මෙරට තරුණයන්ට ලබාදුනහොත් තව විශාල රැකියා ප්‍රමාණයක් අප රටට ලබා ගත හැකි බව මෙහි දී එම පුහුණු ආයතන නියෝජිතයෝ පෙන්වා දුන්හ.

මේ වන විට මූලික න්‍යායික පුහුණුව ලැබූ තුන් දහසක් පමණ නැව්වල ප්‍රායෝගික පුහුණුව ලබා ගැනීමට නොහැකිව සිටින බව ද ඔවුහු අමාත්‍යවරයාට පෙන්වා දුන්හ.එම නිසා පළමුව එම (3000) තුන් දහසට නැව්වල ප්‍රායෝගික පුහුණුවක් ලබාදීමට කටයුතු කරන බව අමාත්‍යවරයා මෙහි දී පැවසීය. ඒ සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන නැව්වල හිමිකරුවන් සමග සාකච්ඡා කර අවස්ථාව ලබා ගැනීමට ද අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

මෙම නාවික ක්ෂේත්‍රයේ රැකියා සඳහා ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් යොමු කිරීමට මෙරට නාවික රැකියා සඳහා පුහුණු කරන ආයතන සියල්ල අමාත්‍යවරයාට පූර්ණ සහයෝගය ලබා දෙන බව නාවිකයන් පුහුණුකිරීමේ ලංකා ආයතන සංගමයේ ලේකම් කපිතාන් පේෂල මැදගම මහතා මෙහි දී පැවසීය.

මෙහි දී අදහස් දැක්වූ ලංකා වෙළඳ නාවිකයන්ගේ ජාතික සංගමයේ සභාපති පාලිත අතුකෝරල මහතා කියා සිටියේ, වෙළඳ නාවිකයන් පුහුණු කිරීමේ කටයුතුවලදී ඊට උපරිම වශයෙන් සහාය වීමට තම සංවිධානය සූදානමින් සිටින බවය.

වසර ගණනාවක් නාවික ක්ෂේත්‍රයේ රැකියා කළ පිරිස් සඳහා ජීවිතයේ සැදෑ කාලය පහසුවෙන් ගත කිරීම සඳහා ඔවුන් වෙනුවෙන් යම් ආකාරයක සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් තිබිය යුතු බව මෙහි දී අමාත්‍යවරයා පෙන්වා දුන් අතර, විශ්‍රාම වැටුප් හෝ සේවක අර්ථසාධක අරමුදල වැනි යම් ආකාරයක වැඩ පිළිවෙළක් මෙම නාවික ක්ෂේත්‍රයේ රැකියා සඳහා නිරත වී සිටින අය වෙනුවෙන් ආරම්භ කරන බව ද අමාත්‍යවරයා මෙහි දී පැවසීය.

එය ඉතාම කාලෝචිත යෝජනාව බවත් ඒ සඳහා උපරිම සහාය ලබාදෙන බව ද මෙම මෙම සාකච්ඡාවට එක් වූ සියලු දෙනා පැවසූහ.

මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් කේ.ඩී.එස්.රුවන්චන්ද්‍ර මහතා, වෙලඳ නාවිකයන්ගේ ජාතික සංගමයේ සභාපති පාලිත අතුකෝරල මහතා, ලංකා නැව් සංස්ථාවේ සභාපති ඩබ්ලිව්. එස්. වීරමන් මහතා, වෙළෙඳ නාවික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ඒ. ඩබ්ලිව්. සෙනවිරත්න මහතා වෙළඳ නාවිකයන් හා නාවික ක්ෂේත්‍රයේ ශිල්පීන් පුහුණු කරන ආයතනවල නියෝජිතයෝ ද මෙම අවස්ථාවට එක් වූහ.