බැංකු සේවක සංගමයෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක්

බැංකු සේවක සංගමයෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක්

ලංකා බැංකුවේ සභාපති විසින් පසුගිය වසර දෙක හමාරක කාලය තුළ බැංකුව තුළ සිදු කරන ලද අනීතික දූෂිත ක්‍රියාවලිය හේතුවෙන් ලංකා බැංකුව අර්බුදයකට යොමු වෙමින් පවතින බවත්, දූෂණයට  එරෙහිව හඬ නගන වෘත්තීය සමිති නායකයින්  මර්දනය කිරීමට දරන උත්සාහය දැඩි ලෙස හෙලා දකින බවත්, ලංකා බැංකුවේ සභාපතිවරයාගේ අනීතික ක්‍රියාවලියට එරෙහිව සහ ඔහු ලංකා බැංකුවේ සභාපති තනතුරෙන් ඉවත් කිරීම සඳහා බලධාරීන් වෙත බලකරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දියත් කිරීමට ලංකා බැංකු සේවක සංගමයේ විධායක සභාව ඒකමතිකව තීරණය කර ඇති බව ලංකා බැංකු සේවක සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියාසිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කරන්නේ, අවිධිමත් ණය ලබාදීම, මහජන මුදල් අවභාවිතා කරමින් සිදුකරන ලද දූෂිත ගණුදෙනු  රැසක් පිළිබඳ සංගමය විසින් වගකිවයුතු පාර්ශව වෙත ලිඛිතව පැමිණිලි කර ඇත. එම පැම්ණිලි අනුව පරීක්ෂණ පවත්වා ඇති රජයේ විගණකාධිපතිතුමා සංගමය සභාපතිවරයාට එරෙහිව නගන චෝදනා තහවුරු කර පරීක්ෂණ වාර්තා නිකුත් කර ඇත.

ඊට අමතරවද විගණකාධිපති වරයා විසින් සිදුකරන ලද තවත් පරීක්ෂණයන්ට අනුව බැංකුව තුළ අවිධිමත් ක්‍රියා රැසක් සිදුවී ඇති බව වාර්ථා වේ.

ලංකා බැංකුවේ සභාපතිවරයාගේ මෙම අනීතික දූෂිත ක්‍රියාවන්ට එරෙහිව සංගමය වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පිළිඹඳ තීන්දු කරනු ලැබූ අතර, ඒ අනුව පසුගිය සතිය තුළ කොළඹ නගරයේ පෝස්ටර් ව්‍යාපාරයක් දියත් කරන ලද අතර, ලංකා බැංකුව ඉදිරිපිට බැනරයක් ප්‍රදර්ශනය කරමින් සභාපතිවරයාගේ දූෂිත ක්‍රියා පිළිබඳ වෝහාරික විගණනයක් සිදු කරන ලෙස බලධාරීන් වෙත බල කරන ලදී.

සභාපතිවරයාගේ දූෂිත ක්‍රියාවලට එරෙහිව සංගමය ගෙනයන ක්‍රියාමාර්ග මර්දනය කිරීමේ අරමුණින් ජන අරගලයේ සාමකාමී උද්ඝෝෂණ වලට සහභාගීවීම මුවාවෙන් ලංකා බැංකු ශාඛා සංගමයේ ලේකම් ධනංජය සිරිවර්ධන සහෝදරයා සහ හිටපු සභාපති පාලිත ඇටම්පාවල සහෝදරයා පසුගිය 4 වන දින අත් අඩංගුවට ගනු ලැබීය. මෙම අත් අඩංගුවට ගැනීම පිටුපස සභාපතිවරයාගේ මැදිහත් වීම මත අදිසි හස්තයක් ක්‍රියාත්මක වූ බවට සංගමයට තොරතුරු වාර්තා වී ඇති අතර, දූෂණයට  එරෙහිව හඬ නගන වෘත්තීය සමිති නායකයින්  මර්දනය කිරීමට දරන උත්සාහය දැඩි ලෙස හෙලා දකිමු. ලංකා බැංකුවේ සභාපතිවරයාගේ මෙම අනීතික ක්‍රියාවලියට එරෙහිව සහ ඔහු ලංකා බැංකුවේ සභාපති තනතුරෙන් ඉවත් කිරීම සඳහා බලධාරීන් වෙත බලකරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දියත් කිරීමට ලංකා බැංකු සේවක සංගමයේ විධායක සභාව ඒකමතිකව තීරණය කර ඇති බව දන්වා සිටිමු.