අසාධාරණ හා අත්තනෝමතික යෝජිත බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව මඟින් පහත සඳහන් තීරණවලට එළඹී බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
ඒ අනුව,
රට තුල පවතින ආර්ථික සමාජ අස්ථාවරත්වය නිසා වෛද්‍යවරුන් රට හැරයාමත්, රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම වයස සංශෝධනයත් නිසා සෞඛ්‍ය පද්ධතියට අහිමිවන වෛද්‍යවරුන් විශාල ප්‍රමාණය හේතුවෙන් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අභ්‍යන්තර ස්ථාවරත්වය සහ ගුණාත්මකභාවය අභියෝගයකට ලක් ව ඇති බව නොරහසකි.
මෙම තත්ත්වය හමුවේ තවදුරටත් මවුබිමට සේවය කිරීමේ අදහස පෙරදැරිව කටයුතු කරන වෛද්‍යවරුන් සහ වෘත්තිකයන් රට තුල රැඳී සිටීම දිරිගැන්වීම අරමුණ කරගනිමින් රාජ්‍ය ප්‍රතිපත්ති සහ වැඩසටහන් ක්‍රියාත්මක විය යුතු බව දිගින් දිගටම අවධාරණය කර ඇත්තෙමු.
එහෙත් මේ වන විට ඉදිරිපත් කර ඇති නව දේශිය ආදායම් පනතේ අත්තනෝමතික සහ අසාධාරණ සංශෝධන හරහා ක්‍රියාත්මක කිරීමට සැරසෙන නව බදු ක්‍රමය සහ වැඩසටහන හේතුවෙන් මෙරට වෘත්තිකයන් සහ ජනතාව අතර දැඩි නොසන්සුන්තාවයක් හටගෙන ඇත.
මෙම තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් පැවති අතර එහිදී පහත තීරණ වලට එළඹෙන ලදී.
රාජ්‍ය පවත්වා ගැනීම උදෙසා බදු ගෙවීම පුරවැසියන්ගේ යුතුකමකි. එම යුතුකම ඉටුකිරීමට වෛද්‍යවරුන් ඇතුළු වෘත්තිකයන් කිසිවිටෙක පසුබට නොවනු ඇත. එහෙත් ජනතාව අනවශ්‍ය ලෙස පීඩාවට පත් නොවන පරිදි බදු පැනවීම රජය සතු වගකීමකි.
එමෙන්ම මෙසේ එකතු කරගනු ලබන ජනතාවගේ බදු මුදල් සැබෑ ප්‍රමුඛතා සහ අවශ්‍යතා හඳුනා ගනිමින් ජනතාව වෙනුවෙන් වියදම් කල යුතු බවද, එම මුදල් වැය කිරීම සම්බන්ධයෙන් වඩා පාරදෘශ්‍ය සහ පිරිසිදු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම රජයට අත්හළ නොහැකි වගකීමක් බවද අවධාරණය කරමු.
