යෝජිත බදු ප්‍රතිපත්තියට වෛද්‍ය සංගමයෙන් රතු එළියක්

යෝජිත බදු ප්‍රතිපත්තියට වෛද්‍ය සංගමයෙන් රතු එළියක්

අසාධාරණ හා අත්තනෝමතික යෝජිත බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව මඟින් පහත සඳහන් තීරණවලට එළඹී බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ඒ අනුව, 

රට තුල පවතින ආර්ථික සමාජ අස්ථාවරත්වය නිසා වෛද්‍යවරුන් රට හැරයාමත්, රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම වයස සංශෝධනයත් නිසා සෞඛ්‍ය පද්ධතියට අහිමිවන වෛද්‍යවරුන් විශාල ප්‍රමාණය හේතුවෙන් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අභ්‍යන්තර ස්ථාවරත්වය සහ ගුණාත්මකභාවය අභියෝගයකට ලක් ව ඇති බව නොරහසකි.

මෙම තත්ත්වය හමුවේ තවදුරටත් මවුබිමට සේවය කිරීමේ අදහස පෙරදැරිව කටයුතු කරන වෛද්‍යවරුන් සහ වෘත්තිකයන් රට තුල රැඳී සිටීම දිරිගැන්වීම අරමුණ කරගනිමින් රාජ්‍ය ප්‍රතිපත්ති සහ වැඩසටහන් ක්‍රියාත්මක විය යුතු බව දිගින් දිගටම අවධාරණය කර ඇත්තෙමු.

එහෙත් මේ වන විට ඉදිරිපත් කර ඇති නව දේශිය ආදායම් පනතේ අත්තනෝමතික සහ අසාධාරණ සංශෝධන හරහා ක්‍රියාත්මක කිරීමට සැරසෙන නව බදු ක්‍රමය සහ වැඩසටහන හේතුවෙන් මෙරට වෘත්තිකයන් සහ ජනතාව අතර දැඩි නොසන්සුන්තාවයක් හටගෙන ඇත.

මෙම තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් පැවති අතර එහිදී පහත තීරණ වලට එළඹෙන ලදී.

  • යෝජිත බදු ප්‍රතිපත්තිය හරහා සිදුවන අගතියට එරෙහිව ගත හැකි ක්‍රියාමාර්ග නියමිත කාලරාමුවක් තුල පෙලගැස්වීම සඳහා ක්‍රියාකාරි කමිටුවක් පත් කිරීමට මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීරණය කරන ලදී.
  • ඒ සඳහා වෘත්තීය සමිතියක් ලෙස ගත හැකි ක්‍රියාමාර්ග ප්‍රකාශයට පත් කිරීමට මෙන්ම පුළුල් ජාතික බලවේගයක් ලෙස ඉදිරි කටයුතු සිදු කිරීමට මධ්‍යම කාරක සභාවේ අනුමැතිය පල විය.
  • අසාධාරණ හා අත්තනෝමතික බදු ප්‍රතිපත්තිය පිළිබඳ අපගේ විරෝධය හා විකල්ප යෝජනා ඉදිරිපත් කරමින් ගරු ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, අමාත්‍යවරයා හා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වෙත ලිපියක් යොමු කිරීම.
  • පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් වීමට නියමිත යෝජිත බදු සශෝධන ඇතුලත් දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත පවතින තත්ත්වයෙන් සම්මත වීම පරාජය කිරීම සඳහා ගත හැකි සියලු දේශපාලනික, පරිපාලන හා නෛතික ක්‍රියාමාර්ග වෙත එලඹීම.
  • බලධාරීන් මේ සම්බන්ධයෙන් තවදුරටත් ඒකපාර්ශවික අත්තනෝමතික ලෙස කටයුතු කරන්නේ නම් ඊට එරෙහිව වෘත්තිය සමිතියක් ලෙස ගත හැකි උපරීම ක්‍රියාමාර්ග කරා යොමු වීමට මධ්‍යම කාරක සභාව විසින් විධායක සභාව වෙත ඒකමතිකව බලය පවරන ලදී.

රාජ්‍ය පවත්වා ගැනීම උදෙසා බදු ගෙවීම පුරවැසියන්ගේ යුතුකමකි. එම යුතුකම ඉටුකිරීමට වෛද්‍යවරුන් ඇතුළු වෘත්තිකයන් කිසිවිටෙක පසුබට නොවනු ඇත. එහෙත් ජනතාව අනවශ්‍ය ලෙස පීඩාවට පත් නොවන පරිදි බදු පැනවීම රජය සතු වගකීමකි.

එමෙන්ම මෙසේ එකතු කරගනු ලබන ජනතාවගේ බදු මුදල් සැබෑ ප්‍රමුඛතා සහ අවශ්‍යතා හඳුනා ගනිමින් ජනතාව වෙනුවෙන් වියදම් කල යුතු බවද, එම මුදල් වැය කිරීම සම්බන්ධයෙන් වඩා පාරදෘශ්‍ය සහ පිරිසිදු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම රජයට අත්හළ නොහැකි වගකීමක් බවද අවධාරණය කරමු.