වෛද්‍ය සීමාවාසික පත්වීම් ප්‍රමාදය නිලධාරින්ගේ වරදින්

වෛද්‍ය සීමාවාසික පත්වීම් ප්‍රමාදය නිලධාරින්ගේ වරදින්

සීමාවාසික පත්විම් අර්බුදය (2014/15 උසස් පෙළ කණ්ඩායම) පිළිබදව සෞඛ්‍ය අමාත්‍යංශයේ ඇතැම් නිලධාරීන් අරඹයා එල්ල වී ඇති චෝදනා බරපතල බවත්, මතුව ඇති සැකසංකා දුරුකරලීම සඳහා බලධාරීන් විසින් කල යුත්තේ කාර්යක්ෂම හා කඩිනම් ලෙස මෙම සීමාවාසික පත්වීම් ලබා දීමට කටයුතු සම්පාදනය කිරීම බව  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විශේෂ හදිසි මධ්‍යම කාරක සභාවේ තීරණය වන අතර, එසේ නොවුහොත් ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ගයටකට අවතීරණවීමට තින්දු කළ බව නිකුත් කළ නිවේදනයක දැක්වේත

එම විශේෂ හදිසි මධ්‍යම කාරක සභාව තුලදී දීර්ඝ වශයෙන් පහත කරුණු සාකච්ඡා කර ඇත.

අප විසින් මීට ඉහතදි දැනුම් දුන් පරිදි රට තුල උග්‍ර වෛද්‍ය හිඟයක් නිර්මාණය වෙමින් පවතින මොහොතක සුදුසුකම් සම්පූර්ණ කළ වෛද්‍යවරුන් පිරිසකට පත්වීම් ලබා දීම මෙලෙසින් දිගින් දිගටම ප්‍රමාද කිරීම කිසිසේත්ම පිළිගත නොහැකි බව අවිවාදිතය.

මේ සම්බන්ධයෙන් මේ වන විටත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ඇතැම් නිලධාරීන් අරඹයා එල්ල වී ඇති චෝදනා බරපතලය. මතුව ඇති සැකසංකා දුරුකරලීම සඳහා බලධාරීන් විසින් කල යුත්තේ කාර්යක්ෂම හා කඩිනම් ලෙස මෙම සීමාවාසික පත්වීම් ලබා දීමට කටයුතු සම්පාදනය කිරීමයි.

කනගාටුදායක කරුණ නම් තම ක්‍රියාවන් ඔස්සේ බලධාරීන් ඒ බව ප්‍රකාශ කිරීමට දක්වන මන්දෝත්සාහි බවයි.

අප සංගමය විසින් දිගින් දිගටම සිදු කළ බල කිරීම් හමුවේ මේ වන විට මෙම සීමාවාසික පත්වීම් ලබා දීම සඳහා වන මූලික නිවේදනය ප්‍රකාශයට පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් කටයුතු කර ඇත.

කෙසේ නමුත් තවමත් මේ සම්බන්ධ වන දින වකවානු සහිත නිශ්චිත වැඩපිළිවෙලක් ප්‍රකාශයට පත් කිරීමට බලධාරීන් අපොහොසත් වී ඇත.

උදා -

  • මාර්ගගත අයදුම්පත් කැඳවීමේ දින වකවානු
  • පත්වීම් ප්‍රදානය කිරීමේ නිශ්චිත දිනයක්
  • ශ්‍රී ලංකා වෛද්‍ය සභාව වෙත මේ සම්බන්ධයෙන් වන නිල දැනුම් දීම සිදු කිරීම

මේ වන විට සීමාවාසික කාල සීමාව ගත කරන ජ්‍යෙෂ්ඨ කණ්ඩායමේ අදාල කාලය මේ මස 27 වනදායින් අවසන් වනු ඇත.

වඩා සාර්ථක ප්‍රතිඵල සඳහා අවම වශයෙන් නව කාණ්ඩායම හා ජ්‍යෙෂ්ඨ කණ්ඩායම අවම වශයෙන් සතියක කාලයක් එක්ව සීමාවාසික වැඩකටයුතු වල නිරත කරවීම ඉතා වැදගත් වනු ඇත.

ඒ අනුව මේ සියලු කටයුතු සඳහා ඉතිරිව ඇත්තේ ඉතා සිමීත කාල සීමාවක් බව පැහැදිලියි.

ඉහත සියලු තත්ත්වයන් සැලකිල්ලට ගත් මධ්‍යම කාරක සභාව පහත තීන්දු තීරණ ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන ලදී.

1.            පවතින අසතුටුදායක තත්ත්වය පිළිබඳ බලධාරීන් වෙත බලවත් විරෝධය පල කිරීම.

2.            එළඹෙන සතියක කාලය තුල සීමාවාසික පත් කිරීම් පිළිබඳ නිශ්චිත වැඩපිළිවෙල ප්‍රකාශයට පත් කරන මෙන් බලධාරීන් වෙත බල කිරීම.

3.            ඉහත පෙන්වා දුන් කරුණු ඉදිරි දින කිහිපය තුල සම්පූර්ණ කිරීමට බලධාරීන් කටයුතු නොකරයි නම් එළඹෙන 19 වන දිනෙන් පසු ආරම්භ වන දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග කරා යොමු වීම.

දීප ව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වන නිශ්චිත වැඩපිළිවෙල ප්‍රකාශයට පත් කිරීමේ බලය මධ්‍යම කාරක සභාව විසින් විධායක සභාව වෙත පැවරීමට ඒකමතිකව තීරණය කරන ලදී.