කම්කරු ඇමතිවරයා නව කම්කරු නීති ගැන සැලැස්මක් ඉදිරිපත් කරයි

කම්කරු ඇමතිවරයා නව කම්කරු නීති ගැන සැලැස්මක් ඉදිරිපත් කරයි

කම්කරු නීති සංශෝධනය සම්බන්ධයෙන් කම්කරු අමාත්‍යාංශය විසින් මහජන අදහස් ලබාගැනීමේ සැසිවාරවලදී ඉදිරිපත්වූ යෝජනාවන්හි සංක්ෂිප්තයක් ඉදිරිපත් කිරීම ඊයේ (14) දින කම්කරු අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබීය.

එහිදි කම්කරු අමාත්‍යවරයා අදහස් ඉදිරිපත් කරමින් පවසා සිටියේ,

  • කොන්දේසිවලට යටත්ව කාන්තාවන්ට රාත්‍රිෙය් සේවය යෙදීමට අවශ්‍යප්‍රතිපාදන නව කම්කරු නීතිය යටතේ ලබාදෙනවා
  • විදේශීකයින් ලංකාවේ සේවය කිරීමේදී, එය විධිමත් කිරීම සදහාත් නියාමනය සදහාත් නීති සකස් කරනවා
  • සේවකයින් සේවා ස්ථානයේ සුරක්ෂිතතාවය හා සෞඛ්‍ය ආරක්ෂාව සහතික කිරීම සදහා නෛතික ප්‍රතිපාදන සකස් කරනවා
  • සමාජ ආරක්ෂණ අරමුදලක් මගින් මාතෘ ප්‍රතිලාභ, සේවක සෞඛ්‍යහා විරැකියාවකදී වන්දි ලබාදෙන සමාජ ආරක්ෂණ පද්ධතියක් සකස් කිරීමට නව කම්කරු නීතිවලට ඇතුළත් කරනවා
  • අපේ බලාපොරොත්තුව කම්කරු නීති මගින් 2048 ජයගත හැකි නූතන ලෝකයට ගැලපෙන වැඩ ලෝකයක් නිර්මාණයක් කිරීමයි
  • අධ්‍යාපන ක්‍රමය සම්පූර්ණ ප්‍රතිසංස්කරණයකට යන්නේ නැතිව රටේ දැන් තියෙන ප්‍රශ්ණ වෙනස් කරන්න බෑ
  • පීතෘ නිවාඩු ලබාදීම සදහා වන නීති ගෙන එනවා
  • පඩි පාලක සභා ආඥා පනතේ, සාප්පු හා කාර්යාල සේවක පනතේ පවතින වෙනස්කම් නැති කරලා සැමට සමානව කටයුතු කරන ආකාරයේ නීති සම්පාදනය කරනවා
  • ජාතික වේතන කවුන්සිලයක් හදුන්වා දෙනවා. ඒ මගින් කාලීන හා පිළිගත් ක්‍රමවේදයන්ට අනුව අවම වැටුප් ක්‍රමයක් හදුන්වාදීමට කටයුතු කරනවා

“ජනාධිපතිතුමාගේ සංකල්පය තමයි නිදහස ලබා අවුරුදු සියය පිරෙන 2048 වර්ෂය වන විට වත් අපි දියුණු රටක් විය යුතුයි කියන එක. ඒ ඉලක්කය ඇතුව තමයි වත්මන් රජය ප්‍රතිපත්ති සම්පාදනය කරල තියෙන්නෙ. අද අපිට සිද්ධ වෙලා තියෙනව තප්පරෙන් තප්පරේ වෙනස් වෙන තාක්ෂණයට අනුව තප්පරෙන් තප්පරේ වෙනස් වෙන ලෝකයට අනුව අපේ ශ්‍රමිකයාව නිර්මාණය කිරීමට. ඒ සඳහා අපට ගොඩක් වෙනස්කම් කිරීමට සිදුවෙනව. ආයෝජන එන්න ඕන රට ඇතුළට. තියෙන ව්‍යාපාර ප්‍රසාරණය කරන්න ඕන. රැකියා අවස්ථා වැඩි කරන්න ඕන. එහෙම බැරි උනොත් රටක් විදිහට අපි අසමත් වෙනව“ යැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.

කම්කරු නීති සංශෝධනය සම්බන්ධයෙන් අමාත්‍යාංශය සති හතක් තිස්සේ කැදවා තිබූ මහජන අදහස් ලබාගැනීමේ සැසිවාරවලදී ඉදිරිපත්වූ යෝජනාවන්හි සංක්ෂිප්තයක් ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා මේ බව පැවසුවේය

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීවේය.

අද මෙම සංවාද මණ්ඩපයට සහභාගි වූ ගරුතර මහා සංඝ රත්නය ඇතුළු සියළු දෙනාගෙන් අවසරයි. විශේෂයෙන්ම අද රාජ්‍ය අංශය නියෝජනය කරමින් වෘත්තීය සමිති විශාල ප්‍රමාණයක් සහභාගි වී සිටිනව. ඒ වගේම සේවා යෝජකයන් නියෝජනය කරමින් ද විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වී සිටිනව.

මේ වැඩපිළිවෙළ පිළිබඳව මූලික හැඳින්වීමක් නොකළොත් අද දවසේ මුල් වතාවට සහභාගි වන අයට ලොකු අසාධාරණයක් වෙන නිසා අපි අද මේ රැස්වෙන කාරණය සම්බන්ධයෙන් පොඩි හැඳින්වීමක් කරන්න බලාපොරොත්තු වෙනව.

කම්කරු නීතිය වෙනස් කරන්න ඕන කියන කාරණය දශක ගණනාවක් තිස්සෙ කතා උනා. හැබැයි විවිධ හේතු මත ඒක වෙනස් කරන්න බැරි උනා. කම්කරු නීතිය වෙනස් කරන්න උත්සාහ කරපු එවක සිටි කම්කරු කොමසාරිස් ජනරාල්තුමා, ඒ කියන්නෙ වත්මන් කම්කරු අමාත්‍යාංශ ලේකම්තුමාට කම්කරු කොමසිරිස් ජනරාල්ධුරය දාලා යන්න උනා. ඒ කියන්නෙ ඒක ඒ තරම්ම භයානක දෙයක්. ඒ තරම්ම සංවේදී වැඩක්. ඒ නිසාම තමයි අපි කම්කරු නීතිය සකස් කිරීම සඳහා ඉතාම පාරදෘෂ්‍ය වැඩපිළිවෙළක් සකස් කෙරුවෙ.

අපි පහුගිය දෙසැම්බර් මාසයේදී ජාතික කම්කරු උපදේශක සභාව දැනුවත් කළා කම්කරු නීතිය වෙනස් කිරීමට අපි බලාපොරොත්තු වෙනව කියල. ඊට පස්සෙ අපි ජාතික කම්කරු උපදේශක සභාවටත් නීත්‍යානුකූලව සාමාජිකයන් පත්කළා.

මේ නව කම්කරු නීතිය සකස් කිරීමේ කටයුත්තේදී ඒ සම්බන්ධයෙන් සියළුම මාධ්‍ය මගින් ජනතාව දැනුවත් කෙරුව. සියළුම වෘත්තීය සමිතිවලට ආරාධනා කෙරුව. ජාතික කම්කරු උපදේශක සභාව නියෝජනය නොකරන වෘත්තීය සමිතිවලට පවා අපි ආරාධනා කළා මේ සම්බන්ධයෙන් යෝජනා සහ අදහස් ඉදිරිපත් කිරීමට. සියළුම වාණිජ මණ්ඩලවලට අපි ආරාධනා කළා ඔවුන්ගේ අදහස් හා යෝජනා අපට ලබා දෙන්න කියල. මේ සම්බන්ධයෙන් ප්‍රාමාණික දැනුමක් තිබෙන සියළු දෙනා  සඳහා අපි මේ සභාව විවෘත කළා. සියළුම දේශපාලන පක්ෂවලට අපි ආරධානා කළා. සමස්ත සමාජයටම මේ සම්බන්ධයෙන් ඔවුන්ගේ අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට අපි අවස්ථාව ලබාදුන්නා. ඒ අනුව ඉදිරිපත් වූ දහස් ගණනක් අදහස් හා යෝජනාවලින් සකස් කරගත් මූලික ලියවිල්ල මම අද තමුන්නාන්සේලාට ඉදිරිපත් කරනව.

ජාතික කම්කරු උපදේශක සභාවෙදි ප්‍රශ්ණයක් ආව එම සභාවට කාන්තා නියෝජනයක් නැහැ කියල. ජාතික කම්කරු උපදේශක සභාව නියෝජනය කරන වෘත්තීය සමිතිය කුමක්ද කියල තීරණය කිරීමේ බලය අපට තිබුණට ඒ සඳහා සහභාගි වන නියෝජිතයා කවුද කියල තීරණය කරන්නේ අදාල වෘත්තීය සමිතිය විසිනුයි. සුදුසුකම් අනුව ජාතික කම්කරු උපදේශක සභාව නියෝජනය කරන්න අපි වෘත්තීය සමිතිවලට අවවස්ථාව ලබාදීල තියෙනව. නමුත්, ඒ වෘත්තීය සමිතිවලත් භාගෙට භාගයක් ඉන්නෙ කාන්තාවො වුවත් ඒ වෘත්තීය සමිතිවල උඩ පුටුවල ඉන්න අය ඒ ඒ සමිතිය නියෝජනය කරන නිසා ඒ කිසිම වෘත්තීය සමිතියක් අපිට මේ සභාව නියොජනය කරන්න කාන්තාවක් පත්කරල එව්වෙ නෑ. ඒ නිසා අපි නැවත වතාවක් වෘත්තීය සමිතිවලින් ඉල්ලීමක් කළා පුළුවන්නම් කාන්තාවක් පත්කරල එවන්න කියල. එහෙම නැත්නම්, ජාතික කම්කරු උපදේශක සභාව තීරණය කළා අමාත්‍යාංශය විදිහට මේ සම්බන්ධයෙන් සමික්ෂණය කරල නැවත වතාවක් හොයල බලල කාන්තාවන් නියෝජනය කරන වෘත්තීය සමිතිවලින් කාන්තා නියෝජනයක් එම සභාවට පත්කිරීමට. 

අපි සකස් කරන නව කම්කරු නීතිය ඉතාම ඉක්මනින් මේ ජාතික කම්කරු උපදේශක සභාවට ඉදිරිපත් කරල ඉන් අනතුරුව කැබිනට් මණ්ඩලයටත් පාර්ලිමේන්තුවටත් ඉදිරිපත් කිරීමට අපි බලාපොරොත්තු වෙනව. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කලින් මෙහි යම් යම් අඩුපාඩු තියෙනවනම් ඒ අඩුපාඩු අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක්කිරීමේ අවස්ථාවත් ජනතාවට තියෙනව.

මේ නව කම්කරු නීතිය සකස් කිරීම කොහේහරි තියෙන තානාපති කාර්යාලයක උවමනාවට හෝ කිසියම් ජාත්‍යන්තර උවමනාවකට කරන දෙයක් නෙමෙයි. මේක අපේ අමාත්‍යාංශයේ උවමනාවට කරන වැඩක්. අපි ඒ වැඩේ කරන්නෙ මේ රටේ සංවර්ධනයට මේ රටේ සිටින ශ්‍රම බලකාය සහ ව්‍යවසායකයන් වඩාත් ඵලදායි ලෙස යොදාගැනීම අරමුණු කරගෙනයි.

මෙතනට සහභාගි වී සිටින වෘත්තීය සමිති නායකයකු වන යෝගරාජන් මහත්තය දන්නව වතු කම්කරු නීති රීති කොයි තරම් නම් පැරණි ඒවාද කියල. ඒ තරම් පැරණි කම්කරු නීති හෙට ලෝකයට තියා අද ලෝකයටවත් ගැලපෙන්නෙ නෑ.

ජනාධිපතිතුමාගේ සංකල්පය තමයි නිදහස ලබා අවුරුදු සියය පිරෙන 2048 වර්ෂය වන විට වත් අපි දියුණු රටක් විය යුතුයි කියන එක. ඒ ඉලක්කය ඇතුව තමයි වත්මන් රජය ප්‍රතිපත්ති සම්පාදනය කරල තියෙන්නෙ. අද අපිට සිද්ධ වෙලා තියෙනව තප්පරෙන් තප්පරේ වෙනස් වෙන තාක්ෂණයට අනුව තප්පරෙන් තප්පරේ වෙනස් වෙන ලෝකයට අනුව අපේ ශ්‍රමිකයාව නිර්මාණය කිරීමට. ඒ සඳහා අපට ගොඩක් වෙනස්කම් කිරීමට සිදුවෙනව. ආයෝජන එන්න ඕන රට ඇතුළට. තියෙන ව්‍යාපාර ප්‍රසාරණය කරන්න ඕන. රැකියා අවස්ථා වැඩි කරන්න ඕන. එහෙම බැරි උනොත් රටක් විදිහට අපි අසමත් වෙනව.

ඒ නිසා අපි දින ගණනාවක් තිස්සෙ සමාජය සමග කරපු සංවාදය තුළින් නව කම්කරු නීතිය සැකසීමට අදාලව සකස් කරගත් මූලික යෝජනා කිහිපය මම තමුන්නාන්සේලාට ඉදිරිපත් කරනව. ඒ අනුව, සේවා ස්ථානය තුළ වෙනස්කොට සැලකීම වැලැක්වීමට අපි නීති ගේන ඒමට බලාපොරොත්තු වෙනව. පඩි පාලක සභා ආඥා පනතේ සහ සාප්පු හා කාර්යාල පනතේ පවතින වෙනස්කම් නැති කරලා, සැමට සමානව සලකන ආකාරයට කටයුතු කරන නීති සම්පාදනය කරනව. සේවා ස්ථානය තුළ හිරිහැරවලට ලක්වීම වැලැක්වීම හා සියලුම ආකාරයේ ලිංගික හිංසන වැලැක්වීමට කටයුතු කරනව. සේවකයාගේ කැමැත්ත අනුව දින පහක වැඩ සතියක් හා නම්‍යශීලී වැඩ කරන කාලය හදුන්වා දීමට අපි බලාපෙරොත්තු වෙනව. අර්ධකාලීන රැකියා කිරීමට අවස්ථා ලබාදෙන නීතිමය ප්‍රතිපාදන හඳුන්වා දෙනව. කොන්දේසිවලට යටත්ව කාන්තා සේවිකාවන් රාත්‍රියේ සේවයේ යෙදවීමට අවශ්‍ය ප්‍රතිපාදන ලබාදෙනව. පීතෘ නිවාඩු සම්බන්ධයෙන් නීතිමය ප්‍රතිපාදන ලබාදෙනව. අතිකාල වැඩ කරන ප්‍රමාණය සහ ගෙවිය යුතු ගෙවීම් සම්බන්ධයෙන් ඒකමිතික ක්‍රමයක් හදුන්වා දෙනව. නිවසේ සිට සේවය කිරීම විධිමත් කිරීම සදහා ක්‍රමවේදයන් හදුන්වා දෙනව. විදේශීය සේවකයින් ලංකාවේ සේවය කිරීමේදී එය විධිමත් කිරීම සදහා වන නීතිමය ප්‍රතිපාදන ගෙන එන අතර එය නියාමනය කිරීම සදහා නීති සකස් කරනව. පුහුණුවන අයට ආධුනිකයින්ට අදාල නීතිමය ප්‍රතිපාදන සකස් කරන අතර ඒ සදහා වන නිවැරදි අර්ථනිරූපණ ලබාදෙනව. ජාතික වේතන කවුන්සිලයක් අපි හදුන්වා දෙනව. ඒ මගින් කාලීන හා පිළිගත් ක්‍රමවේදයන්ට අනුව අවම වැටුප් ක්‍රමයක් හදුන්වාදීමට කටයුතු කරනව. සේවකයින් විසින් සිදුකරන විශමාචාර ක්‍රියාවන්ට අදාල විනය කටයුතු නිශ්චිත කාලයක් තුළ අවසන් කිරීම සදහා සේව්‍ය පාර්ශවය වගකියන ක්‍රමවේදයක් හදුන්වා දෙනව. සේවකයින් සේවා ස්ථානයේදී සුරක්ෂිතතාවය හා සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම සදහා නෛතික ප්‍රතිපාදන ශක්තිමත් කරනව. දුර්වල කාර්යසාධනයන් මත හා ව්‍යාපාර ප්‍රතිසංවිධානය කරන විට සේවය අහිමිවන සේවකයින්ට වන්දි ලබාදීම හා එය වේගවත්  සහ සරල කිරීම සදහා වන ක්‍රමවේදයක් අපි සකස් කරනව.

අමුද්‍රව්‍ය නොමැතිකම, යන්ත්‍රසූත්‍ර නොමැතිවීම, ඇනවුම් නොමැතිවීම හෝ සේවා යෝජකයාගේ පාලනයෙන් ඔබ්බට ගිය හේතූන් මත කෙටිකාලීනව සේවය නතර කිරීමට කම්කරු කොමසාරිස්වරයාගෙන් අවසර ලබාගත යුතු බවට වන  නීතිමය ප්‍රතිපාදන හදුන්වාදීමට බලාපොරොත්තු වෙනව.

සේව්‍යයන් ස්වේච්ඡාවෙන් සේවය හැරයාමේදී මාසයකට පෙර සේවා යෝජකයා දැනුවත් කළ යුතු බවට වන ප්‍රතිපාදන හදුන්වා දෙනව. සේවා යෝජකයා සිදුකරන අසාධාරණ කම්කරු පිළිවෙත් දැනට නීතියෙන් පිළිගන්නා ආකාරයට වෘත්තීය සමිති මගින් සිදුකරන අසාධාරණ කම්කරු පිළිවෙත්ද වැටුපෙන් සාමාජික මුදල් අඩුකර වෘත්තීය සමිතිවලට යැවීම සදහා සේවායෝජකයාට අනිවාර්ය කිරීම ද සමාජ ආරක්ෂණ අරමුදලක් මගින් මාතෘ ප්‍රතිලාභ, සේවක සෞඛ්‍ය සහ විරැකියාවකදී වන්දි ලබාදෙන සමාජ ආරක්ෂණ පද්ධතියක් සකස් කිරීම ද  නව කම්කරු නීති මතින් අපි බලාපොරොත්තු වෙනව.

නූතන ලොකයට ගැලපෙන වැඩ ලෝකයක් නිර්මාණය කිරීම තමයි මේ නව කම්කරු නීතිය මගින් අපේ අවසන් බලාපොරොත්තුව වෙන්නෙ. ඒ සඳහා අපේ රටේ අධ්‍යාපන ක්‍රමයත් වෙනස් කිරීමට ජනාධිපතිතුමා ක්‍රියා කරනව. අධ්‍යාපන ක්‍රමය සම්පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කරන්නෙ නැතුව තැනින් තැනින් වෙනස් කිරීමට යාමෙන් අපේ රටේ දැන් මේ තියෙන ප්‍රශ්ණ විසඳන්න බැහැ කියල අපි තදින් විශ්වාස කරනව. මුල ඉඳලම රට වෙනස් විය යුතුයි. ඒ නිසා සමස්ත අධ්‍යාපන ක්‍රමයම අපි ප්‍රතිසංස්කරණයකට ලක්කරනව.