විශ්‍රාමිකයින් සඳහා ඉල්ලීම් මාළාවක්

විශ්‍රාමිකයින් සඳහා ඉල්ලීම් මාළාවක්

ජාතික විශ්‍රාම දින සැමරුම නිමිත්තෙන් ආණ්ඩුවේ අවධානයට යොමු කරවීම සඳහා පහත සඳහන් කරුණු සඳහා සාධාරණ මැදිහත්වීමක් ඉල්ලා සිටිමින්  විශ්‍රාමිකයන්ගේ හිමිකම් සුරැකීමේ ජාතික සංවිධානය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලීමක් කර ඇත.

එම නිවේදනයේ ඉල්ලීම් පහත පරිදි වේ.

රාජ්‍ය සේවය උදෙසා අපරිමිත කැපකිරීම් කළ විශ්‍රාමිකයාට සාධාරණයක් කරමු.

  1. අප රටේ රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගත් පිරිස මේ වන විට 689,000 (හය ලක්ෂ අසූ නව දාහ) ක් පමණ වේ. වාර්ෂිකව විශ්‍රාම යන පිරිස 20,000 (විසි දහස) ක් පමණ වේ. රාජ්‍ය සේවය උදෙසා අපරිමිත කැප කිරීම් කළ විශ්‍රාමිකයා විශ්‍රාම සුවයෙන් ගත කරනවා වෙනුවට අද ඉතාම දුක්ඛිත හා අසරණ තත්ත්වයකට පත් කිරීම කණගාටුවට කරුණකි.
  2. ඔක්තෝබර් 8 වන දිනට යෙදී ඇති “විශ්‍රාම දිනය” වෙනුවෙන් සැමරුම් උත්සව පවත්වනවාට වඩා විශ්‍රාමිකයා අද මුහුණදෙන ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබා දී ආරක්ෂා කිරීම රජයේ වගකීමකි.
  3. මේ වන විට විශ්‍රාමිකයා වෙනුවෙන් වගකිව යුතු ආයතන ගණනාවක් ඇතත් එම ආයතන වගකීමෙන් කටයුතු කරන බවක් දක්නට නොලැබේ. ඒ අතර විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු අමාත්‍යාංශය, මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය, 1999 අංක 40 දරණ රාජ්‍ය සේවා විශ්‍රාමිකයන්ගේ භාර අරමුදල් පනත මගින් ස්ථාපිත ආයතන සහ විවෘත හා වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව යනාදිය වේ.
  4. මේ වන විට විශ්‍රාමිකයා මුහුණ දෙන ගැටලු රාශියක් ඇතත් ඉන් කිහිපයක් සඳහන් කරමි.
  • අද පවතින භාණ්ඩ හා සේවාවල මිල අති විශාල ලෙස ඉහළ යාම මත සොච්චම් විශ්‍රාම වැටුපෙන් ජීවත්වීමට නොහැකි වීම.
  • ඖෂධ ලබා ගැනීම, වෛද්‍ය පරීක්ෂණ පහසුකම්, ශල්‍යකර්ම ආදී කටයුතු රජයේ රෝහල්වලින් කර ගැනීමට තිබූ පහසුකම් මේ වන විට නොමැති වීමේ තත්ත්වයක් තුළ ඒවා සඳහා ඉතා අධික මිලක් ගෙවීමට සිදු වීමෙන් ජීවිත අවදානමකට මුහුණ දීමට සිදුවීම.
  • ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට එම සෞඛ්‍ය පහසුකම් ලබා දීම සඳහා පෞද්ගලික අංශයෙන් 15% ක වට්ටමක් වත් ලබාදීමට කටයුතු නොකිරීම.
  • වයස අවුරුදු 60 ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු සඳහා ලබාදෙන පොලිය මත බදු පැනවීම බරපතළ අසාධාරණයකි.
  • පෞද්ගලික අංශයේ විශ්‍රාමිකයන් ජීවත් වන්නේ ලැබෙන පාරිතෝෂිකය ස්ථාවර තැන්පතුවෙන් ලැබෙන පොලියෙනි. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ලබාදුන් 15% ක පොලිය මේ වන විට 75% දක්වා අඩු කිරීම තුළින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ආර්ථික හා සමාජයීය ගැටලු රාශියකට මුහුණ දී ඇත.
  • 2016 ට පෙර විශ්‍රාම ගිය විශ්‍රාමිකයාට අග්‍රහාර රක්ෂණ ක්‍රමය ක්‍රියාත්මක නොකිරීම.
  • 2016 - 2019 විශ්‍රාම ගිය විශ්‍රාමිකයන්ට 2020-01-01 සිට ගෙවිය යුතුව තිබූ විශ්‍රාම වැටුප තාවකාලිකව අත්හිටුවා වසර තුනකට වැඩි ය. එය මේ වන විට ද ලබා දීමට කටයුතු කර නැත.
  • රජයේ සේවයෙන් විශ්‍රාමි යන විශ්‍රාමිකයාට ගෙවිය යුතු විශ්‍රාම පාරිතෝෂිකය ගෙවීම සඳහා වසරකට ආසන්න කාලයක් ගැනීම.
  • 1997 දී අහිමි කළ, අංක 3/2016(iv) හා 2022-01-05 රා.ප. චක්‍රලේක මගින් නොසළකා හැර ඇති විශ්‍රාමික ගුරු - විදුහල්පතිවරුන්ට හිමි විය යුතු වැටුප ලබා නොදීම නිසා කරන ලද බරපතළ අසාධාරණය නිවැරදි නොකිරීම.
  • විශ්‍රාමිකයා විශ්‍රාම වැටුප උගසට තබා ලබාගෙන ඇති ණය සඳහා පොලී අනුපාතය එකවර අති විශාල ලෙස ඉහල දැමූ අතර මේ වන විටත් අඩු කර නැත.
  • මේ වන විට විශ්‍රාමිකයා මිය ගිය විට ගෙවන වැන්දඹු විශ්‍රාම වැටුප ගෙවීමට වසරකට ආසන්න කාලයක් ගතවීම නිසා විශ්‍රාමිකයාගේ පවුල් ඉතාමත් අසරණ තත්වයකට පත් කිරීම.

ඉහත කරුණු කාරණා ආණ්ඩුවේ අවධානයට යොමු වී මේ වසරේ ඔක්තෝම්බර් 8 වෙනිදාට යෙදී ඇති විශ්‍රාම දිනයේ පෙර වසරවලට වඩා විශ්‍රාමිකයන් වෙනුවෙන් සාධාරණ මැදිහත්වීමක් කරනු ඇතැයි අපේක්ෂා කරමු.