ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සන්ධාන නායකයින් මුදල් අමාත්‍යාංශයට

ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සන්ධාන නායකයින් මුදල් අමාත්‍යාංශයට

ගුරු-විදුහල්පති සේවාවල පවතින වැටුප් විෂමතාවයේ ඉතිරි 2/3 ක කොටස ලබාදීම සඳහා 2024 අයවැය මගින් ප්‍රතිපාදන වෙන් කරන බවට වූ එකඟතාව හා මෙවර පැවැත්වෙන අපොස සාමාන්‍ය පෙළ (2023) විභාග රාජකාරි හා උත්තර පත්‍ර ඇගයීම් සඳහා වන ප්‍රතිපාදන සම්බන්ධව කරුණු විමසමින් සාකච්ඡා අවස්ථාවක් සඳහා 2024.03.11 දාතමින් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය ලිඛිත ඉල්ලීමක් සිදු කරන ලදී.

එම ඉල්ලීම සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම සම්බන්ධව කරුණු විමසීමට ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සන්ධානයේ වෘත්තීය සමිති නියෝජිතයින් අද (2024.03.25) දින මුදල් අමාත්‍යාංශයට ගිය අවස්ථාවේ දී එහි අතිරේක ලේකම් ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් සමග සාකච්ඡා කරන ලදී.

එහිදී මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා එළඹෙන සතියේ විදේශගත වීමට නියමිත බැවින් ආපසු පැමිණි වහාම ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සන්ධානයට විධිමත් සාකච්ඡාවක් ලබාදෙන බවට එකඟ විය.

මෙම වැටුප් විෂමතාවය විසඳීම ඇතුළු ප්‍රධාන ඉල්ලීම් ගණනවක් මුල් කරගෙන දරුවන්ගේ අධ්‍යාපනයට හානි නොවන පරිදි මේ වන විටත් උද්ඝෝෂණ මාලාවක් දියත් කර ඇති බවත්, මුදල් අමාත්‍යාංශ ලේකම් සමග සාකච්ඡාවෙන් අනතුරුව විසඳුම් නොලැබෙන්නේ නම් තවදුරටත් ප්‍රබල ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමට සිදු වන බවත්, මෙම අවස්ථාවට සහභාගි වූ ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සන්ධානයේ නියෝජිතයින් අමාත්‍යාංශ නිලධාරීන් වෙත වැඩිදුරටත් අවධාරණය කරන ලදී.