කල්මුණේ රෝහල් අද වර්ජනයේ - GMOA

කල්මුණේ රෝහල් අද වර්ජනයේ - GMOA

පසුගියදා සිදු කල මැර ප්‍රහාරයන් හමුවේ අනාරක්ෂිත බවට පත් වූ තිරුක්කෝවිල් මූලික රෝහලේ මතුව ඇති දැඩි අර්බුදකාරි තත්ත්වය හා ඊට සත්‍ය විසදුම් ලබා දීමට බලධාරීන් දිගින් දිගටම දක්වන අසමත්බාවයට විරෝධය දක්වමින් කල්මුණේ ප්‍රාදේශිය සෞඛ්‍ය අධ්‍යක්ෂක කාර්යාලයට අයත් සියලුම රෝහල් අද (26) දින 8.00 සිට සංඛේත වර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත්සඳහන් වන්නේ, පසුගිය කාලයේදී මෙරට වෛද්‍යවරුන් වේගයෙන් රට හැර යන අවස්ථාවේදී ඔවුන් රැක ගැනීමට නම් ආර්ථික යුක්තිය පමණක් නොව යහපත් වෘත්තීය පරිසරයක් ද බිහි විය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දිගින් දිගටම අවධාරණය කර ඇත.

වෛද්‍යවරුන්ගේ සහ රෝහල් ආශ්‍රිතව ආරක්ෂාව තහවුරු කිරීම ඉන් එක් ප්‍රධාන කරුණකි.

නමුත් පසුගිය කාලයේදී රෝහල් ආශ්‍රිතව වෛද්‍යවරුන් ඉලක්ක කරගනිමින් සිදු වුනු යම් ප්‍රචණ්ඩකාරි ක්‍රියාවන් සහ එහිදී නීතිය ක්‍රියාත්මක කිරීමේදි ඇති වුණු ප්‍රමාදයන් හේතුවෙන් මේ වන විට මතුව ඇති ප්‍රවණතාවයන් යහපත් නොවන බව අපගේ හැඟිමයි. මේ වන විට තිරුක්කෝවිල් මූලික රෝහල ආශ්‍රිතව ද එවන් බරපතල තත්ත්වයක් මතු වී ඇත. 

පසුගිය මාර්තු මස 11 වන දින තිරුක්කෝවිල් ප්‍රදේශයේ පාසලක මැරතන් තරඟයක් අතරතුරදි 17 හැවිරිදි ශිෂ්‍යයෙකු හදිසියේ මරණයට පත් වීමත් සමඟම යම් පිරිසක් සංවිධානාත්මකව නොසන්සුන්කාරි  තත්ත්වයක් ඇති කරමින් රෝහලට පහර දී අලාභ හානි සිදු කරන ලද අතර රෝහලේ වෛද්‍යවරුන්ට ද තර්ජනය කරන ලදී.

ඒ හේතුවෙන් රෝහල ආශ්‍රිතව දැඩි අනාරක්ෂිත තත්ත්වයක් මතු වූ අතර සති දෙකක කාලයක් ගත වී තිබියදීත් මේ වන තුරුත් එම ගැටලුව විසඳීමට ඊට අදාල සියලු පාර්ශව අසමත් වීම හේතුවෙන් රෝහලේ සියලු ප්‍රතිකාර සේවාවන් මේ වන විට අඩාල වී ඇත.

අදාල පහර දීමත්, ඉන් අනතුරුව මේ දක්වා දිගින් දිගටම එම රෝහලේ වෛද්‍යවරුන් ඉලක්ක කරගනිමින් සිදු කරන තර්ජනාත්මක කටයුතු නිසාත් වෛද්‍යවරුන්ගේ ජිවිත ආරක්ෂාව වෙනුවෙන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ලෙස එම වෛද්‍යවරුන් තිරුක්කෝවිල් රෝහලින් ඉවත් කර ගැනීමට කටයුතු කරනු ලැබූ අතර මේ වන විට සම්පූර්ණයෙන්ම රෝහලේ ප්‍රතිකාර සේවාවන් නතර වී ඇත.

මෙම පහර දීම මෙහෙය වූ, සංවිධානය කල සහ මෙම පහර දිම සිදුකල පිරිස පිළිබඳ සියලු තොරතුරු විඩියෝ සාක්ෂි ද සහිතව පොලිසිය වෙත ලබා දී තිබුන ද මෙතෙක් අදාල සැබෑ චුදිතයින් අත්අඩංගුවට ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීමට සාධනීය ලෙස මැදිහත්වීමට පොලිසිය අසමත් වීම හේතුවෙන් මේ වන විට මෙම අර්බුදය තවත් උග්‍ර වෙමින් පවති.

මෙම සිදුවිමේදි ප්‍රදේශයේ වගකිව යුතු පොලිස් නිලධාරින් රාජකාරිය ඉටු කිරීමේදි දක්වන ප්‍රමාදය හා පසුබැසිම කිසිසේත්ම පිළිගත නොහැකි තත්ත්වයක් වන අතර ඊට හේතු වී ඇත්තේ මෙම සිදු වීමට ප්‍රදේශයේ දේශපාලනඥයන්ගේ අනීතික සහ පිලිගත නොහැකි මැදිහත්වීම් බව තොරතුරු ලැබි ඇත. රෝහලේ ප්‍රතිකාර කටයුතු නැවත ආරම්භ කිරීමට අවශ්‍ය සාකච්ඡා සිදු කිරීමට පෙර මෙයට වගකිව යුතු හඳුනාගත් පිරිස් අත්අඩංගුවට ගැනීම හා නීතිය ක්‍රියාත්මක කිරීම අනිවාර්ය කොන්දේසියකි. රෝහල නැවත විවෘත කිරීම ඉලක්ක කරගනිමින් සියලු පාර්ශව එක් කරගනිමින් ඊට අවශ්‍ය පසුබිම සකස් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සහ වැඩපිළිවෙල සකස් කිරීම සිදු කල හැක්කේ එම කොන්දේසිය සපුරාලිමෙන් අනතුරුව පමණි.

විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් මාර්ගයේ බැනරයක් ගිනි තැබුව ද එය පොදු දේපල හානි කිරීමක් සේ සලකා අත්අඩංගුවට ගෙන ඇප ලබා දීම පවා ප්‍රතික්ෂේප කරමින් නිතීය ක්‍රියාත්මක කරන පොලිසිය මේ මොහොතේදි ප්‍රදේශයේ රාජ්‍ය දේපලක්, පොදු දේපලක් වන රෝහලට පහර දී අලාභ හානි සිදු කරන ලද පිරිස් අත්අඩංගුවට ගැනීම ප්‍රමාද කිරීම කිසිසේත් පිළිගත නොහැකි තත්ත්වයකි.

මෙරට වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිතිය වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රමුඛතම වගකීම වනුයේ තම සාමාජිකත්වයේ ආරක්ෂාව තහවුරු කිරීමයි. ඒ වෙනුවෙන් අතීතයේදිත්, අනාගතයේදිත් පෙනී සිටිමට කිසිසේත්ම නොපැකිලෙමු.

එහෙත් තව දුරටත් නීතිය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වන්නේ නම් සහ මේ වන විට තාවකාලිකව වසා දමා ඇති තිරුක්කෝවිල් රෝහලේ පවතින අනාරක්ෂිත තත්ත්වය සමනය නොවන්නේ නම් එම රෝහල සම්පූර්ණයෙන් වසා දැමීමේ තත්ත්වයකට පවා යොමු විය සිදු විය හැකි අතර එවන් පසුබිමකදි ප්‍රදේශයේ අහිංසක රෝගී ජනතාවට ඇති වන හිරිහැර සහ බලපෑම් සම්බන්ධයෙන් මෙම සිදුවීමට නීතිය ක්‍රියාත්මක කිරීම අවහිර කරන සියලු කණ්ඩායම් වගකිව යුතු බව දැඩිව අවධාරණය කරමු.    

පවතින තත්ත්වයට සංකේතාත්මක විරෝධයක් පල කරමින් අද(26) දින උදෑසන 8.00 සිට කල්මුනෙයි ප්‍රාදේශීය සෞඛ්‍ය‌ සේවා අධ්‍යක්ෂ කාර්යාලයට අයත් රෝහල් සියල්ලෙයි වැඩවර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට නියමිතය.

ප්‍රමාද වී හෝ නීතිය ක්‍රියාත්මක කරමින් තම සද්භාවය තහවුරු කිරීමටත්, රෝහල තුල ආරක්ෂාව සහතික කිරීමටත් බලධාරීන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස දැඩි අවධානයෙන් පසු වන බව අවධාරණය කරමු.