පෙළ ගැසෙමු ! සටන් වදිමු !! ජාතික සම්පත් සුරකිමු !!!

පෙළ ගැසෙමු ! සටන් වදිමු !! ජාතික සම්පත් සුරකිමු !!!

රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ විකුණං කෑමේ දේශපාලනය පරදවමු !!

ජනවරමක් නොමැති රනිල් රාජපක්ෂ රෙජීමය තම වැඩ පටන් ගත් දා සිට මේ දක්වා රට ගොඩ ගැනීම වෙනුවෙන් කියමින් ඉදිරිපත් කළ එකම ක්‍රමවේදය වූයේ රටේ දේපල විකුණං කෑමත්, වැඩ කරන ජනතාව දැඩි පීඩනයකට ලක්කිරීමත්, ඒවාට විරුද්ධව නැගෙන හඬ යටපත් කිරීමට දැවැන්ත මර්දන නීති රීති ගෙන ඒමත්ය.

පටන් ගත් තැන පටන්ම රට බංකොලොත්භාවයෙන් මුදවා ගන්නවා යනුවෙන් කයිවාරු ගැසුවද අද දක්වාමත් ලංකාවට තම විදේශ ණය ආපසු ගෙවීම ආරම්භ කිරීමට හැකියාවක් ලැබී නැත. එනම් රට බංකොලොත්භාවයෙන් මුදවා ගැනීමට මේ දක්වාමත් මොවුනට හැකි වී නොමැත. දශක ගණනාවක් පුරා රට බංකොලොත් කළ ක්‍රමවේදයම ඉදිරියට ගෙන යමින් රටක් බංකොලොත් භාවයෙන් මුදවා ගැනීමට නොහැකි බව අවබෝධ කරගැනීමට වුවමනා බුද්ධිය හෝ මෙම පාලකයින්ට නොමැත.

මන්ද බුද්ධික පාලකයින්ගේ දුර්දාන්ත ක්‍රියාවන් නිසා රට තව තවත් අගාධයට ඇද දැමීමත්, විශේෂයෙන් වැඩකරන ජනතාව හා මහ ජනතාව තව තවත් පීඩනයට ලක් කිරීමත් අපට තව දුරටත් බලා සිටිය නොහැකි තැනකට පැමිණ ඇත.

පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් පිළිබඳ මහා ඝෝෂාවක් නගන මොවුන් විකුණං කෑමට යන්නේ පාඩු ලබන ව්‍යවසායන් නොව වර්ෂයකට රුපියල් මිලියන දස දහස් ගණනින් ලාභ ලබන ටෙලිකොම්, රක්ෂණ, ලිට්‍රොගෑස්, වැනි ආයතනයන්ය. ‍අමතරව අධිවේගී මාර්ග විකුණා දැමීම, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා අධ්‍යාපනය විකුණා දැමීම, සෞඛ්‍ය විකුණා දැමීම, බැංකු පද්ධතිය විකුණා දැමීම, යන ඒවාද ඔවුන්ගේ න්‍යාය පත්‍රයේ පවතින බව අපි දනිමු. මෙය තක්කඩි අමන හා දේශද්‍රෝහී ක්‍රියා පිළිවෙතකි.

රනිල් වික්‍රමසිංහ කියන්නේ අනුව රජය ව්‍යාපාර නොකළ යුතු බවය. මෙයද රනිල් තම දේශපාලන ජීවිතය තුළ කළ සෑම කතාවක් මෙන්ම වංචනික කතාවකි. ලංකාවේ රාජ්‍ය ව්‍යවසාය මඟින් ආදායම් ඉපදීම පවතින්නේ 9% පමණ මට්ටමකය. එහෙත් ලෝකයේ බොහෝ රටවල රාජ්‍ය ව්‍යවසාය මගින් කරන ආදායම් ඉපයීම 15% සීමාව ඉක්මවා පවතී. ඇතැම් දියුණු රටවල පවා රාජ්‍ය ව්‍යවසාය මගින් උපයන අදායම 50% වැනි මට්ටමකද පවතී.

යම් රාජ්‍ය ව්‍යවසායක් පාඩු ලබන්නේ නම් එය ලාභ ලබන තත්ත්වයට ගෙන ඒම පාලකයන්ගේ වගකීමයි. ජනතාව ආණ්ඩුවක් පත් කරන්නේ රටේ සම්පත්, දේපළ හා ව්‍යවසාය කාර්‍යක්ෂම ලෙසින් පාලනය කිරීම වෙනුවෙන් මිස ඒවා විකුණං කා ඉන් ලැබෙන කොමිස් කුට්ටිවලින් තක්කඩි පාලකයන්ගේ සාක්කු පුරවා ගැනීමට ඉඩදී බලං සිටීමට නොවේ. අනෙක් අතට පාඩු ලබන රජයේ ආයතනයක් ලාභ ලබන තත්ත්වයට ගෙන ඒමටවත් හැකියාවක් නොමැති පාලකයින් රට බංකොලොත්භාවයෙන් මුදවා ගනු ඇතැයි කෙසේ සිතන්නද?

රාජ්‍ය ව්‍යවසාය පැවතීම නිසා රජයට ආදායමක් ලැබෙනවාට අමතරව රජයට අදාළ කෙෂත්‍රය තුළට වෙළඳපොලට මැදිහත්වීමේ හැකියාව ලැබේ. ඒවා විකුණා දැමීම තුළ අදාළ ක්ෂේත්‍රය තුළට වෙළඳපොලට මැදිහත්වීමේ හැකියාව රජයට අහිමි වී යයි. ලාභය පමණක් අපේක්ෂාවෙන් කටයුතු කරන ව්‍යාපාරික ග්‍රහණයට අදාළ කෙෂත්‍රය නතුවී එහි වන්දිය ජනතාවට ගෙවීමට සිදු වේ. ලංකාවේ කෘෂි කෙෂත්‍රය එයට මනා උදාහරණයක් ලබා දෙයි. රජය සතුව තිබූ ලංකාවේ පොහොර කර්මාන්තය හා වී අලෙවි මණ්ඩලයේ දේපළ පුද්ගලික අංශයට ලබාදීම නිසා මේ වනවිට ගොවියාට අත්ව තිබෙන ඉරණම අපි දනිමු‍. මේ නිසා රටේ ජනයාගෙන් 66% පමණ ආහාර අනාරක්ෂිත තත්වයකට පත්ව ඇති බවට වන වාර්තාද අපි දුටුවෙමු. විදුලිය, ටෙලිකොම්, රක්ෂණය වැනි කෙෂත්‍ර විකුණං කෑම නිසා එම කෙෂත්‍රයන්ටද අනාගතයේදී අත්වන ඉරණම අපට තේරුම් ගත හැකිය. අනාගතයේදී මෙහි වන්දිය ගෙවීමට සිදු වන්නේ මහ ජනතාවටය.

ජාතික සම්පත් විකිණීමේ ක්‍රියාවලිය තුළ සේවක රැකියා හා වරප්‍රසාද ක්ෂණිකව අහිමිවීමේ තත්ත්වයට ඔබත් මමත් මුහුණ දෙමින් සිටී. මේ වන විටත් රක්ෂණ සේවකයින් නව බඳවා ගැනීමේ ලිපි ලබාදෙමින් අලුත් සමාගම් දෙකකට ඔවුන්ව ඇතුළත් කොට ඇත. මේ බඳවා ගැනීමත් සමඟ ඔවුන් වසර ගණනක් තුළ දිනාගත් හා භුක්ති විඳිමින් සිටි සියලු වරප්‍රසාද එක් රැයකින් අහිමි වී ඇත. වයස 55ට වැඩි සියලු පුද්ගලික අංශ සේවකයින් ගෙදර යැවීමට වුවමනා සංශෝධන කම්කරු අමාත්‍යවරයා විසින් ගෙන ඒමට නියමිත බවද වාර්තා වේ.

ඉහත සියලු කරුණු අනුව සිදුවීමට නියමිත මෙම ව්‍යසනයෙන් රටත් ජනතාවත් ගලවා ගැනීමට නම් වැඩ කරන ජනතාව අප පෙරට පැමිණිය යුතුය. විරෝධත රැලි වලින් නොනැවතී සංකේත වැඩවර්ජනල අඛණ්ඩ ඒකාබද්ධ  වැඩවර්ජන දක්වා ගමන් කිරීම වෙනුවෙන් වැඩ කරන ජනතාව සූදානම් විය යුතුය. රනිල් රාජපක්ෂ රජයේ මෙම විනාශකාරී මර්දනකාරී කටයුතු ආපසු හැරවීම වෙනුවෙන් පෙරමුණ ගැනීම අප සතු දවසේ කාර්‍යයයි.

ඒ වෙනුවෙන් පෙළ ගැසෙමු ! සටන් වදිමු !! ජාතික සම්පත් සුරකිමු !!!

(ජාතික සම්පත් සුරැකීමේ ව්‍යාපාරය විසින් බෙදාහරින ලද අත් පත්‍රිකාවකි)