විභාගයක් ගැන පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලයෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්

විභාගයක් ගැන පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලයෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්

සමසෞඛ්‍ය උපාධිධාරීන් සෞඛ්‍ය අමාත්‍යාංශ සීමාවාසික පුහුණුවට ඇතුලත් කර ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය හා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඒකාබද්ධව යෝජිත ක්‍රමවේදය නොසලකා හරිමින් සාමාන්‍ය දැනීම හා අභියෝග්‍යතාවය බුද්ධි පරික්ෂණයක් පැවැත්වීමට තීරණ කිරීම හා එකී විභාගයේ අයඳුම්කරුවන් අතරින් තොරාගත් පිරිසක් එම විභාගයට සහභාගී කරවා ගැනීම සඳහා ආණ්ඩු පක්ෂ සංවිධායකවරුන් හා මෙවර ප්‍රාදේශීය සභා ඡන්ද අපේක්ෂකයන් මාර්ගයෙන් බලපෑම් කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම වෙත පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.

එම ලිපිය පහතින් දැක්වේ.

මගේ අංකය: JCPSM/Gen/2025 (22)

දිනය: 2025.04.26

ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා, සභාපති - ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම

එම්.ඒ.පී.සී. පෙරේරා මහතා, සාමාජික - ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම

ඒ. එම්. ෆායිස් මහතා, සාමාජික - ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම

අනුසුයා ෂන්මුගනාදන් මෙනවිය, සාමාජික - ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම

මහාචාර්ය ඩී.එම්.එස්.එස්. ලක්ෂ්මන් දිසානායක, සාමාජික - ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම

චින්තක කුලරත්න මහතා අතිරේක මැතිවරණ කොමසාරිස් (නීති), මැතිවරණ ආරවුල් විසඳුම් (EDR) අංශය

මැතිවරණ ලේකම් කාර්යාලය

තැ.පෙ. 02, සරණ මාවත

රාජගිරිය 10107

කොළඹ

සමසෞඛ්‍ය උපාධිධාරීන් සෞඛ්‍ය අමාත්‍යාංශ සීමාවාසික පුහුණුවට ඇතුලත් කර ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය හා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඒකාබද්ධව යෝජිත ක්‍රමවේදය නොසලකා හරිමින් සාමාන්‍ය දැනීම හා අභියෝග්‍යතාවය බුද්ධි පරික්ෂණයක් පැවැත්වීමට තීරණ කිරීම හා එකී විභාගයේ අයඳුම්කරුවන් අතරින් තොරාගත් පිරිසක් එම විභාගයට සහභාගී කරවා ගැනීම සඳහා ආණ්ඩු පක්ෂ සංවිධායකවරුන් හා මෙවර ප්‍රාදේශීය සභා ඡන්ද අපේක්ෂකයන් මාර්ගයෙන් බලපෑම් කිරීම

සිදුවීම: සෞඛ්‍ය සේවාවට අයත් පරිපුරක වෛද්‍ය සේවාවන්හි පවතින පුරප්පාඩු වෙනුවෙන් ආධුනිකයන් බඳවා ගැනීමට අදාලව සමසෞඛ්‍ය උපාධිධාරීන් අනිවාර්යය සීමාවාසික පුහුණුවට බඳවා ගැනීම වෙනුවෙන් සාමාන්‍ය දැනීම හා අභියෝග්‍යතාව ලිඛිත පරීක්ෂණයක් 2025.04.27 පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත. වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන වෛද්‍ය නලින්ද ජයතිස්ස මැතිතුමාගේ මඟපෙන්වීම යටතේ හා පක්ෂයේ මගපෙන්වීම යටතේ, ජාතික ජනබලවේගය ආණ්ඩු පක්ෂ සංවිධායකවරුන් හා මෙවර ප්‍රාදේශීය සභා අපේක්ෂකයන් ලෙස කටයුතු කරන අයවළුන් අයඳුම් කරුවන් අතරින් තෝරාගත් පිරිසක් වෙත දුරකථන ඇමතුම් ලබා දීමටත් ඔවුන් එකී විභාගයට සහභාගී කරවීම සඳහාත් ඊට අදාලව ඔවුන් පෞද්ගලිකව දැනුවත් කිරීමටත් කටයුතු කර ඇත.

අදාල සාක්ෂිය: අදාල හඩපට අනූව ජාතික ජනබලවේගයේ ආණ්ඩු පක්ෂයේ සංවිධායක සංජීව පුෂ්පකුමාර සහ පාලටුවේ NPP අපේක්ෂක රූබසිංහ පතිරණගේ හේෂාන් ධනුෂ්ක යන අය විසින් නලින්ද අයියා විසින් ජංගම දුරකථනය හරහා යොමුකල පෞද්ගලික කෙටි පණිවිඩයක් අනූව තොරාගත් විභාග අපේකෂකයන් වෙත දුරකතන ඇමතුම් ලබා දෙමින් අදාල විභාගය සඳහා සහභාගී වන ලෙසත් එසේ සිදුකරන ලෙස පක්ෂය ඔවුන්ට දැනුවත් කර ඇති බවත් පවසා ඇත. (හඬ පටයන් වෙත පිවිසීමට අවශ්‍ය QR කේතයන් සහ Links ලිපිය අවසානයේ ඇත)

ඔබගේ මැදිහත්වීම හරහා සිදු විය යුතු කටයුතු වලට අදාල ඉල්ලීම්:

1. සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ වන පරිපූරක වෛද්‍ය සේවාවේ පුරප්පාඩු සඳහා ආධුනික උපාධිධාරීන්  බඳවා ගැනීම සඳහා සාමාන්‍ය දැනීම හා අභියෝග්‍යතාව ලිඛිත පරීක්ෂණයක් ප්‍රමාණවත් නොවන බවත් ඒ හරහා විෂමාචාරයන් සිදු විය හැකි බවත් ඉතා පැහැදිලිව අප විසින් පෙන්වා දී ඇති අතරම මෙම ක්‍රියාවලිය හරහා එසේ සිදුවන බව හොඳින්ම තහවුරු වී ඇත. එබැවින් ඔබ සියළු දෙනාගේ කඩිනම් මැදිහත්වීම ලබා දෙමින් 2025.04.27 (හෙට) වන ඉරිදා දිනයේ පැවැත්වීමට නියමිත මෙම විභාගය අත්හිටුවීම සඳහා නියෝගයක් ලබා දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

2. මැතිවරණ කාලසීමවාක් තුල මෙසේ සිදු කිරීම මැතිවරණ ආචාරධර්ම හා නීති රෙගුලාසි අමු අමුවේ උල්ලංඝනය කිරීමක් වන බව නිරීක්ෂණය වන බැවින් ඊට අදාල නිසි ප්‍රතිචාර දක්වමින් ඔවුන්ගේ අපේක්ෂකත්වයට අදාල ඉදිරි තීන්දු තීරණ ලබා දෙන ලෙසත් කාරුණිකව ඉල්ලා සිටිමු.

3. මීට පෙර පැවති රජයන් යටතේ කටයුතු කල සෞඛ්‍ය අමාත්‍යවරුන්, සෞඛ්‍ය ලේකම්වරුන් සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඒකාබද්ධව මෙම උපාධිධාරීන් බඳවා ගැනීමට යෝජනා කල ක්‍රමවේදයට වෙනුවට සාමාන්‍ය දැනීම හා අභියෝග්‍යතාව ලිඛිත පරීක්ෂණයක් පැවැත්වීමට තුල මෙම බඳවාගැනීම දේශපාලනීකරණය වීම සිදු වන බව තහවුරු වී ඇති බැවින් ඒ පිළිබඳ රාජ්‍ය සේවා කොමිසම නිල වශයෙන් ලිඛිතව දැනුවත් කිරීම හා ඊට අදාල ඔබගේ උපදෙස් හා නිර්දේශ ලබා දීම.

4. මෙම සිද්ධියටල අදාලව නිසි විමර්ශනයක් සිදුකරමින් ඊට අදාලව ඔබගේ නිර්දේශ හා උපදෙස් සහිතව සෞඛ්‍ය අමාත්‍යවරයා සහ සෞඛ්‍ය ලේකම්වරයා ලිඛිතව දැනුවත් කිරීම. හැකියාවක් වෙතොත් එහි පිටපත් අප වෙත යොමු කිරීම

මෙම සිදුවීමට අදාල පසුබිම:

සමසෞඛ්‍ය උපාධිධාරීන් සිය සිව් අවුරුදු ගෞරව උපාධි සුදුසුකම් සම්පූර්ණ කිරීමෙන් පසුව සය මාසික සීමාවාසික පුහුණුවක් සම්පූර්ණ කිරීම අනිවාර්ය වන අතර ඔවුන් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින පුරප්පාඩු වලට බඳවා ගැනීම සඳහා මෙම සීමාවාසික පුහුණුව සාර්ථකව අවසන් කිරීම අනිවාර්යය වේ. 2024.06.14 දින රජයේ ගැසට් පත්‍රය හරහා සමසෞඛ්‍ය උපාධිධාරීන් මෙම සීමාවාසික පුහුණුවට බඳවා ගැනීම සඳහා අයඳුම්පත් කැඳවීම සිදුවූ අතර වෘත්තීන් කිහිපයකට අදාලව පවතින පුරප්පාඩු සංඛ්‍යාවට වඩා වැඩි අයඳුම්කරුවන් පිරිසක් අයඳුම්පත් යොමු කිරීමට කටයුතු කර තිබුනි.

සීමිත පුරප්පාඩු ප්‍රමාණයක් හමුවේ මෙම උපාධිධාරීන්ගේ සුදුසුකම් පරීක්ෂා කිරීමට හෝ ඔවුන්ගේ කුසලතාවයන් අනූව ඔවුන් පෙලගැස්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට නිල බලයක් හෝ සාදාචාරාත්මක අයිතියක් නොමැති බැවින් පවතින බඳවා ගැනීමේ පටිපාටි ප්‍රතිපාදන අනූව සාමාන්‍ය දැනීම හා අභියෝග්‍යතාව ලිඛිත පරීක්ෂණයක් වැනි ක්‍රමවේදයක් හරහා අයඳුම්කරුවන්ගෙන් කොටසක් තොරා ගැනීම සදාචාර සම්පන්න නොවන බැවින් හා එහිදී විෂමාචාරයන් සිදුවිය හැකි බවට ඉඟි පහළ වූ බැවින්, ඔවුන්ගේ අවසන් විභාග ප්‍රතිඵල මත හා සමස්ථ අධ්‍යයන කාලය පුරා ඔවුන් විසින් පෙන්නුම් කරන ලද අධ්‍යයන කුසලතාවයන් පදනම් කරගනිමින් ඔවුන්ගේ කුසලතා අනුපිළිවෙල සකස් කිරීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් වගකීම භාර ගන්නා ලදී. ඒ අනූව ඊට අදාල ප්‍රතිපත්තිමය එකඟතාවයන් සහිතව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් යොමුකල කුසලතා ලේඛණය හා එහි සංශෝධන 2024.11.18, 2024.12.18 හා 2024.12.28 දිනැති ලිපි හරහා රාජ්‍ය සේවා කොමිසම වෙත යොමු කිරීමටත් ඊට අදාල අනුමැතිය ඉල්ලුම් කිරීමටත් එවකට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ඇතුළු නිලධාරීන් විසින් කටයුතු කර ඇත.

කෙසේ නමුත් නව රජය පත්වීමත් සමඟම එම ක්‍රියාදාමයට අදාල රාජ්‍ය සේවා කොමිෂන් සභා අනුමැතිය ලබා ගැනීම සඳහා සක්‍රීය මැදිහත්වීමක් සිදු නොකල අතරම මොනයම් හෝ හේතුවක් මත මෙම සමස්ථ ක්‍රමවේදය නොසලකා හරිමින් සාමාන්‍ය දැනීම හා අභියෝග්‍යතාව ලිඛිත පරීක්ෂණයක් හරහා උපාධිධාරීන් පෙල ගැස්වීම සුදුසු බවට නිර්දේශයක් ලබා ගැනීමටත් ඊට අදාල විභාගය 2025.04.27 වන හෙට දිනයේ පැවැත්වීමටත් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ මැදිහත්වීම මත තීරණය විය.

වෘත්තීය සමිති, වෘත්තීයවේදී ආයතන, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඇතුළු පාර්ශ්ව කිහිපයක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙම ඒකපාර්ශ්වික තීරණය හරහා උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට හා සෞඛ්‍ය අමාත්‍යාංශ බඳවා ගැනීම් ක්‍රමවේදයට හා එහි සුජාත බවට අදාලව යම් බලපෑමක් සිදුවිය හැකි බව දැනුවත් කරමින්, ලිපි නිකුත් කරමින් හා සාකච්ඡාමය අවස්ථාවන් ලබා දෙන ලෙස ඉල්ලුම් කලද මෙතෙක් ඊට අදාල කිසිඳු පාර්ශ්වයකට සාකච්ඡා ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යවරයා හෝ සෞඛ්‍ය ලේකම්වරයා නම්‍යශීලි ප්‍රතිපත්තියක් අනුගමනය කර නොමැත.

මීට අමතරව විශ්වවිද්‍යාල සිසුන් හා උපාධිධාරීන් විසින් විරෝධතා, පාගමන්, ශිෂ්‍ය අරගල වැනි බොහෝමයක් දෑ සංවිධානය කරමින් ඊට අදාල ප්‍රතිරෝධය දක්වා ඇති අතර 2024.03.27 වන දින සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවයේදී අළුයම 2.00 ට පමණ පොලිසිය කැඳවා දැඩි මර්ධනකාරී වැඩපිළිවෙලක් දියත් කිරීමටත් උපාධිධාරීන් සහ ශිෂ්‍ය ක්‍රියාකාරීන් කිහිප දෙනෙක් අත්අඩංගුවට ගැනීමටත් කටයුතු කරන ලදී.

ස්තුතියි!

මෙයට විශ්වාසී

රවී කුමුදේශ් - සභාපති, පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය

චානක ධර්මවික්‍රම - ලේකම්, පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය

ලෙසන්ත චතුරංග - උප ලේකම්, පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය

පිටපත්:

1.         සභාපති/ ලේකම් රාජ්‍ය සේවා කොමිෂන් සභාව

2.         සභාපති/ ලේකම් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව

3.         ගරු සෞඛ්‍ය අමාත්‍යතුමා

4.         සෞඛ්‍ය ලේකම්තුමා

5.         සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමා

https://www.facebook.com/share/v/19pMpCWxvc/
https://www.facebook.com/share/p/18uxw5BbPb/
https://www.facebook.com/share/v/169zX8qHxJ/?mibextid=xfxF2i
https://www.facebook.com/100063472812819/posts/pfbid02LxdbdTdYYKZ9a1LCwkrTEUvjtHfp5EuH5ufg2s3F44f4LGNv2XwYRkLNQpDVryohl/?d=n