GMOA දීප ව්‍යාප්ත වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

gmoa-Strike-Called-Off

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (11) සිට ක්‍රියාත්මක කිරීමට තිබූ දීප ව්‍යාප්ත වර්ජනයක අත්හිටුවා තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව, සෞඛ්‍ය අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවේ දී එළඹි එකඟතාවයන්ට ලැබුණු ධනාත්මක සහ සාධනීය ප්‍රතිචාර සලකා බලමින්, අද උදෑසන ආරම්භ කිරීමට නියමිතව තිබූ දීප ව්‍යාප්ත වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ විධායක සභාව විසින් තීරණය කරන ඇතැයි එම සංගමය සඳහන් කරයි.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මේ බව ප්‍රකාශ කරන්නේ මාධ්‍ය නිවේදනයක් මගිනි.

එම මාධ්‍ය නිවේදනයට අනුව: වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු  ක්‍රියාවලියේ ගැටලුවට අදාළ කරුණු සහ එකඟතා ක්‍රියාත්මක වීමට අදාළ ප්‍රවණතා සමීපව නිරීක්ෂණය කරමින්, ඉදිරි ක්‍රියාමාර්ග තීරණ කෙරෙනු ඇත.

අක්‍රමවත් සහ දෝෂ සහිතව ප්‍රකාශයට පත් කළ, පශ්චාත් සීමාවාසික අනුයුක්ත කිරීමේ පුරප්පාඩු ලැයිස්තුව නිවැරදි කිරීමේ ක්‍රියාවලිය ආරම්භ විය යුතු අතර, නිවැරදි ක්‍රමවේදය මත සකස් කරන ලද පුරප්පාඩු ලැයිස්තුව ප්‍රකාශයට පත් වන තුරු, වෘත්තිය ක්‍රියාමාර්ගයක් ලෙස එම ලැයිස්තුවට අයදුම් කිරීමෙන් සියලු පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් වැළකෙනු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය වැඩි දුරටත් සඳහන් කරයි.

මාධ්‍ය කමිටුව - රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

(the leader)