රිදීමාලියද්ද ප්‍රාදේශීය මාධ්‍යවේදී විමුක්ති සංජය පෙරේරාට පහරදීමේ සිදුවීම - පොලීසිය ජවාරම්කරුවන්ට සහාය දෙන්නේදැයි සැකයක් - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

free-media-movement

මහියංගණ රිදීමාලියද්ද ප්‍රාදේශීය මාධ්‍යවේදී විමුක්ති සංජය පෙරේරාට බරපතල ලෙස පහර දුන් දැව ජාවාරම්කරුවෙකු ලෙස සැළකෙන තැනැත්තෙකු පොලීසිය වෙත භාර වනතුරු අත්අඩංගුවට නොගැනීම පොලීසියේ අසමත් බව විදහා දැක්වීමක්ද, නැතහොත් අත්අඩංගුවට ගැනීමට මැලි බවක් දැක්වීමක්ද යනුවෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ප්‍රශ්න කරයි. ප්‍රදේශයේ සෙසු මාධ්‍යවේදීන් පවසන අන්දමට පසුගිය 19 වැනිදා විමුක්ති සංජයට පහර දුන් දැව ජාවාරම්කරු ප්‍රදේශයේ නිදැල්ලේ හැසිරෙමින් සිටයත් පොලීසිය ඔහු අත්අඩංගුවට නොගත් බවයි.

මෙම පහරදීමෙන් බරපතල තුවාල ලද විමුක්ති සංජය පෙරේරා ඌරණිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ පසු මහියංගණ මූලික රෝහලට මාරු කර යවා ඇත.

රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම්වරියට දැව ජාවාරමක් පිළිබඳ ව්‍යාජ ඔත්තුවක් ලබා දී ඇය ඇතුළු නිලධාරීන්ද මාධ්‍යවේදී විමුක්ති සංජය මහතාද කැඳවා ගෙන ගිය ජාවාරම්කරු විමුක්ති අතරමගදී තනිකොට ගෙන පහර දී ඇත. පහරදීමෙන් විමුක්තිගේ කැමරා ඇතුළු උපකරණවලටද හානි සිදුව ඇත.

එම අවස්ථාවේ ඔහු ගලවා ගැනීමට උත්සාහ ගත් රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම්වරියටද දැඩිව බැණ වදින ජාවාරම්කරු එහි වීඩියෝ පටිගත කිරීමක් අන්තර්ජාලයට මුදා හැර ඇත. ඊට අදාල හිංසනය සම්බන්ධවද පොලීසිය නීතිමය පියවර ගත යුතු බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ස්ථාවරයයි.