වැඩ කරන ජනතාවගේ වෘත්තීය සමිති ඒකාබද්ධ මැයි දින සැමරුම 2025            

may-day-2025

වැඩ කරන පන්තියේ බලයක් උදෙසා එක්සත්ව පෙළ ගැසෙමු !

චිකාගෝහි කම්කරුවන්, 1896 මැයි 04 වැනිදා හේමාකට් චතුරශ්‍රයේ විරෝධතාවක් පැවැත්වූයේ පැය අටක වැඩ දිනයක් ඉල්ලා සිටිමින්ය. එහෙත්, පොලිසියේ හිත්පිත් නැති ප්‍රහාරවලට මුහුණ දුන් කම්කරුවන්, එදින සිය ජීවිත කැප කරමින්, ශරීරයම ඇපයට තබමින් පැය අටේ වැඩ දිනය යථාර්ථයක් බවට පත් කළේය. ශ්‍රී ලංකාවේත්, ලෝකයේත් සියලු කම්කරුවන් පැය අටක වැඩ දිනය භුක්ති විඳින්නේ අපගේ පූර්වගාමීන්ගේ ඒ අරගල සහ කැපකිරීම්වල ප්‍රතිඵලයක් ලෙසටය. එහෙත් අද අප කාලයේ විෂම චක්‍රයක් සම්පූර්ණ කරන්නේ ලාංකික රජය සහ සේවා යෝජකයන් එක්ව ඒකීය කම්කරු නීතියකට මුවා වී පැය අටේ වැඩ දිනය ඇතුළු උත්තරීතර කම්කරු අයිතීන් කප්පාදු කිරීමට නව කම්කරු නීතියක් කෙටුම්පත් කරමින් සිටින මොහොතකය.

එසේම ජාත්‍යන්තර හා ජාතික තලයේ ඇතිවෙමින් පවතින තත්වයන් විසින් 2025 ජාත්‍යන්තර කම්කරු දිනය එක්ව සැමරීමට වඩ වඩාත් බල කෙරී ඇති මොහොතක ඇමෙරිකානු බදු, එක් අතකින් වෙළඳ යුද්ධයක් කරා ලෝකය ඇදගෙන යමින් සිටී. එසේම එම ප්‍රතිපත්තිය හේතුවෙන් ඇමරිකාව තුලම විශාල රැකියා කප්පාදුවක් ඇතිවීම හරහා විශාල සමාජ අර්බුදයක් නිර්මාණය වෙමින් පවති. මේ හේතුවෙන් ලෝක ආර්ථිකය හැකිලීමට ඉඩක් ඇති අතර ලංකාවේ ප්‍රධානතම අපනයනය වන ඇඟළුම් ක්ෂේත්‍රයේ 40% ක වෙළඳපලට සිදුවන බලපෑම අභිබවා යමින් තේ, රබර්, මත්ස්‍යය නිශ්පාදන අපනයනයන්ටද විශාල ඍජු බලපෑමක් සිදූවිය හැක. එසේම මෙම තත්වය හරහා ඇති කරනු ලබන වක්‍ර බලපෑම ඊටත් වඩා වැඩිවිය හැක. මේ හේතුවෙන් නිශ්පාදන වියදම අවම කිරීමේ මුහුණුවරින් සූරාකෑම තීව්‍ර කිරීම හෝ මුළුමනින්ම නිශ්පාදනයෙන් ඉවත්වීම හරහා රැකියා කප්පාදුවට යෑමද සිදුවිය හැක.

මැද පෙරදිග, යුක්‍රේනය ඇතුලු ජන සංහාරක යුද්ධ මෙන්ම ඉන්දු පාකිස්ථාන යුද්ධයක පෙර නිමිති දැනටමත් සමස්ත පෘථිවිය ලෝක යුද්ධයක් දක්වා ඇදගෙන යමින් පවතී. පළමු සහ දෙවන ලෝක යුද්ධ විසින් සිදුකල නිශ්පාදන බලවේගවල විනාශයට එහා යමින් මෙම යුධ ක්‍රියාවලිය සරණාගතයන් නම්වූ අලුත් පීඩිත ජන කොටසක් ලෝක ජනගහනයට එකතුකර ඇති අතර, න්‍යෂ්ටික අවි සමග සිදුකරන තුන්වන ලෝක යුද්ධයක් කිසිසේත්ම දරාගැනීමට පෘථිවි තලයට නොහැකිවනු ඇත.

කම්කරු පංතිය ප්‍රමුඛ පීඩිත ජනතාවගේ ආශිර්වාදය මතින් බලයට පැමිණි වර්තමාන ආණ්ඩුව IMF උගුලක සිරවී සිටී. ලංකාව මුහුණ දුන් ණය ආපසු ගෙවීමේ අර්බුදයට ණය ගැනීමේ ශක්‍යතාවය වර්ධනය කිරීම නැමැති වැරදි ඖෂධ වට්ටෝරුව යෝජනා කර ඇත. ඒ අනුව රාජ්‍ය ආදායම ඉලක්කගත වැඩි කිරීමකට යොමු කිරීම වෙනුවෙන් අධික බදු සහ රාජ්‍ය වියදම් අවම කිරීම හේතුවෙන් කම්කරු පංතිය සහ ලාංකීය ජනතාව ද්විත්ව ආර්ථික පීඩනයකට මුහුණ දී සිටී. මෙම තත්වය තුළ ජනතා අභිලාශයන් යටපත් කිරීම හේතුවෙන් අලුත් වටයක ආර්ථික පීඩනයකට කම්කරු ජනතාව ලක්කර ඇත. ඒ හරහා කම්කරු පංතිය සූරාකෑම තවත් තීව්‍ර කිරීමට මග පාදා ඇත.

මේ තත්වයන් දේශීය මෙන්ම විදේශීයව ද කම්කරු පංතිය එක මිටකට ගෙන ඒමේ අවශ්‍යතාවයන් නිර්මාණය කර ඇත. මෙවර ජාත්‍යන්තර කම්කරු දිනය සැමරෙන්නේ එවැනි වටපිටාවකය.

එබැවින් බල දේශපාලනය වෙනුවට කම්කරු පංති දේශපාලනය යෝජනා කරන වෘත්තීය සමිති ලෙස එක්වී කම්කරු පංතියේ ඒකාබද්ධ මැයි රැළියක් පැවැත්වීමට තීරණය කර ඇත.

1          ජාතික ශ්‍රම ප්‍රතිපත්තියක් සකස් කරනු !

2          සියලු කම්කරුවන්ට වෘත්තීය සමිති අයිතිය තහවුරු කරනු! ප්‍රචණ්ඩත්වයෙන් හා හිංසාවෙන් තොර වැඩ ලෝකයක් තහවුරු කරනු !

3          වැඩ කරන ජනතාව පීඩනයට හා සූරාකෑමට ලක් කරන IMF කොන්දේසි අනුව සිදු කරනු ලබන රාජ්‍ය ආයතන පෞද්ගලීකකරණය, කම්කරු නීති සංශෝධනය, ආර්ථික පරිවර්තන පනත සහ රාජ්‍ය ණය කළමනාකරණ පනත  වහාම හකුලා ගනුෟ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම යටතේ සිදුකළ EPF,  ETF වැනි සමාජ ආරක්‍ෂණ අරමුදල් කොල්ලය නවතනු !

4          වැඩ කරන ජනතාව මත පටවා ඇති උපයන විට ගෙවීමේ බද්ද සඳහා ඉල්ලා සිටි බදු සංශෝධන වහා ක්‍රියාත්මක කරනු !

5          රාජ්‍ය, පෞද්ගලික හා වතු සේවකයින්ට රු. 65,000/= ජාතික අවම වැටුපක් ලබාදෙනු. අසනීප නිවාඩු අයිතිය තහවුරු කරනුෟ අවම වාර්ෂික සේවක නිවාඩු ගණන 35 දක්වා වැඩි කරනු !

6          සියලුම බැංකු සේවකයිනගේ විශ්‍රාම අයිතිය තහවුරු කරනු. පවතින විශ්‍රාම ක්‍රමයන්හි ප්‍රතිලාභ වර්ධනය කරනු !

7          තැපෑල ඇතුළු රාජ්‍ය සේවයේ නව බඳවාගැනීම් සිදුකර දීමනා කප්පාදුව වහා නවතනු !

8          වතු සේවකයින්ගේ ඉඩම් අයිතිය තහවුරු කරනු !

9          ජාතීන් අතර සමගිය ගොඩනැගීමට ප්‍රතිපත්ති සකසනූ !

10        පරිසර සුරැකීමට අවශ්‍ය සියලු ප්‍රතිපත්ති සම්පාදනය කරනු !

කම්කරු යුක්තිය දේශගුණික යුක්තියයිෟ මහා පරිමාණ පරිසර දූෂකයිනි වන්දි ගෙවනු !

11        සාවද්‍ය ලෙස රටින් පිටමන් කළ ධනය නැවත ගෙන එනුෟ මූල්‍ය පාලන නීති හඳුන්වා දෙනු. අතිරේක වත්කම්වලට බදු අයකරනු. පැහැර හැරි සියලු ව්‍යාපාරික බදු නැවත අයකරනු !

12        ජනයා පීඩනයට පත්කර ඇති ක්‍ෂුද්‍ර මූල්‍ය ණය සඳහා වහා විසඳුම් ලබාදෙනුෟ ක්‍ෂුද්‍ර මූල්‍ය ණය ආයතන නිසි ලෙස නියාමනය කරනු !

13        PTA, OSA ඇතුළු සියලුම මර්දන අණ පනත් වහා අහෝසි කරනු ATA හා විද්යුත් විකාශන පනත් කෙටුම්පත් වහා හකුලා ගනු !

14        අත්‍යවශ්‍ය භාණ්ඩ, පාසල් උපකරණ, සෞඛ්‍ය සේවාවන්, ගොවි ධීවර ආම්පන්න හා යෙදවුම් මත පනවා ඇති බදු වහා ඉවත් කරනු !

15        නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය පෞද්ගලීකරණය නවතනුෟ අධ්‍යාපනය, සෞඛ්‍ය හා පොදු ප්‍රවාහන අවස්ථා පුළුල් කරනු !

16        අධිරාජ්‍යවාදී ආර්ථික අපේක්‍ෂාවන් වෙනුවෙන් සිදුකරන පලස්තීන ජන සංහාරය ඇතුළු සියලු යුද්ධ නවතනු !

17        මහජනතාවගේ ස්වාධිපත්‍යය හා රටේ ස්වෛරීභාවයට හානිවන ආරක්‍ෂක ගිවිසුම් හකුලාගනු !

18        ජාතික හා ජාත්‍යන්තර වශයෙන් සංක්‍රමණික ශ්‍රමිකයින්ගේ අයිතිවාසිකම් ආරක්‍ෂා කරනු !

19        ගෘහ සේවකයින් ඇතුළු අවිධිමත් අංශයේ කම්කරුවන් ද කම්කරු නීතිවලින් ආරක්‍ෂා කරනු !

20        පිළිගත් ජාතික වෙළඳ ප්‍රතිපත්තියකින් බැහැරව රාජ්‍යයන් සූරාකන වෙළඳ හා ආර්ථික ගිවිසුම් වහා හකුලා ගනු !

21        ජනමාධ්‍යවේදීන්ගේ හා මාධ්‍ය වෘත්තිකයින්ගේ වැටුප් හා අර්ථසාධක හිමිකම් අයිතිවාසිකම්ද ඇතුළු සියලු අයිතින් සුරක්ෂිත කිරීමට මැදිහත් වෙනු !

22        ජනමාධ්‍යවේදීන්ගේද ජනතාවගේද අදහස් පළකිරීමේ අයිතිය හා තොරතුරු දැනගැනීමේ අයිතියට බාධා පමුණුවන සියලූම මර්දනකාරී අණපනත් අහෝසි කරනු !

23        ආනයන/අපනයන ගැටළු හමුවේ තර්ජනයට ලක්වන ශ්‍රමිකයින්ගේ රැකියා ආණ්ඩුව විසින් සුරක්ෂිත කරනු !

24        ජනාධිපති ට්‍රම්ප්ගේ තීරු බදු වැඩි කිරීමේ තර්ජනයට සාර්ථකව මුහුණ දිය හැකි සැලසුමක් සකසමින් ඒ වෙනුවෙන් සියලු පාර්ශව කරුවන් නියෝජනය වන ජාතික කමිටුවක් පාර්ලිමේන්තුව මගින් ස්ථාපිත කරනු !

25        ලෝක කම්කරු බලයක් වෙනුවෙන් එක්සත්ව පෙළගැසෙමු !

අප මේ කරගෙන යන සටන අපේ රටේ දේශසීමා තුළ අවසන් නොවන්නේය. ධනයේ නිර්මාතෘවරුන් වූ අපි බලයේ හිමිකාරිත්වය අප සතුකර ගන්නා වූ ලෝක පාලනයක් උදෙසා ලොව පුරා වැඩ කරන ජනතාව හා එක්ව සටන් කරන්නෙමු.

වැඩ කරන ජනතාවට බලය

1.         ලංකා බැංකු සේවක සංගමය

2.         තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය

3.         ශ්‍රී ලංකා ජනරජ සෞඛ්‍ය සේවා සංගමය

4.         නිදහස් වෙළඳ කලාප හා පොදු සේවා සේවක සංගමය

5.         එක්සත් කම්කරු සම්මේලනය

6.         ලංකා වතු සේවා සංගමය

7.         ශ්‍රී ලංකා සියලු විදුලි සංදේශ සේවක සංගමය

8.         ලංකා විදුලිබල මණ්ඩල තාක්‍ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමය

9.         ස්ටෑන්ඩ්-අප්-මූමන්ට්

10.       ධීවර සහයෝගීතා ව්‍යාපාරය

11. Greenpeace සංවිධානය

12.       වාණිජ හා කාර්මික සේවක සංගමය

13.       ප්‍රොටෙක්ට් සංගමය

14.       රක්‍ෂණ පොදු සේවක සංගමය

15.       අන්තර් විශ්වවිද්‍යාලයීය වෘත්තීය සමිති මහා සම්මේලනය 

16.       නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ වෘත්තීය සමිතිය

17.       මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය

18.       එක්සත් පොදු සේවක සංගමය

19.       වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ

20.       Voice of the Plantation People Organisation

21.       ස්වාධීන තටාක සේවක සංගමය

22.       ප්‍රජාතාන්ත්‍රික අයිතීන් සුරැකීමේ ව්‍යාපාරය

23.       ලංකා වැවිලි සේවා සංගමය

24. වෘත්තීය ගුරුවරුන්ගේ සංවිධානය

25. ලංකා ප්‍රගති ගුරු සංගමය

26. ශ්‍රී ලංකා ජාතික ගුරු සංගමය

27.  ස්වාධීන ගුරු සේවා සංගමය

28.       පීපල්ස් ලීසිං සේවක සංගමය