CMU මැයි දින ප්‍රකාශනය - 2025

cmu-may-day-2025
  • ස්වාධීන වෘත්තීය සමිති ව්‍යාපාරය ශක්තිමත් කරමු.
  • විවෘත ආර්ථිකය සහ IMF උගුලෙන් ජනතාව බේරා ගනිමු.
  • පාලකයින්ට ගැති කම්කරු නීති සංශෝධන උත්සාහය පරාජය කරමු.
  • ජීවන බරට ඔරොත්තු දෙන වැටුප් ලබා ගැනීමට සටන් වදිමු.
  • EPF – ETF මුදල් බේරා ගනිමු.

මෙවර මැයි දිනය කලින් වාරයන් වලට වඩා තවදුරටත් අවුල් වියවුල් වූ ආර්ථික, දේශපාලන සහ සමාජයීය තත්ත්වයන් තුළ පැවැත්වීමට සිදු වී ඇති බව පිළිගත යුතුය.

වසර 60 කට ආසන්න කාලයක් මුළුල්ලේම පවතින නව ලිබරල් ආර්ථික ක්‍රමය සහ එහි ප්‍රථිඵලයක් වශයෙන් නිර්මාණය වී ඇති ණය බර සහ බංකොලොත්භාවයේ විපාක වලට ගොදුරු වී සිටින්නේ මෙරටෙහි කම්කරුවන් ප්‍රමුඛ අති බහුතර පීඩිත ජනතාවයි.

බංකොලොත්භාවයෙන් මිදීම සඳහා බවට හුවාදක්වමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි වලට යටත් වී තවදුරටත් ණය ලබාගෙන ඇතත් එම කොන්දේසි වල අහිතකර බලපෑම් වලට ලක්වීමට සිදුව ඇත්තේ ද වැඩ කරන සහ සෙසු ජනතාවටය.

අහස උසට නැඟී ඇති භාණ්ඩ සහ සේවාවන් වල මිල සහ සෘජු හා වක්‍ර බදු ගෙවමින් ජීවන බර උසුලන්නට නොහැකිව ජනතාව පීඩා විඳිති.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති 44% ක තීරුබදු හේතුවෙන් රට විශාල පසුබෑමකට හා පරිහානියට ලක්වීමට සිදුවනු ඇත. අපනයන නිෂ්පාදන ක්ෂේත්‍රය කඩා වැටීම, රුපියලේ අගය තවදුරටත් පහත වැටීම සහ භාණ්ඩ වල මිල ඉහළ යාම, දහස් ගණනක් අපනයන ක්ෂේත්‍රයේ සේවයේ යෙදෙන සේවකයින් හට රැකියා අහිමි වීම යන කරුණු ප්‍රබල ලෙස ශ්‍රී ලංකා සමාජයට බලපෑම් එල්ල කරනු ඇත.

කලින් ආණ්ඩු මෙන්ම වර්තමාන ආණ්ඩුව අනුගමනය කරන්නේද විවෘත ආර්ථික ප්‍රතිපත්තිය හේතුවෙන්,  ඔවුන් විසින් මැතිවරණ සමයේ සහ ඔවුන්ගේ මැතිවරණ ප්‍රකාශය හරහා දුන් පොරොන්දු කිසිවක් ඉටු කර ගැනීමට නොහැකිව සිර වී සිටින තත්ත්වයක් ද උදා වී ඇත.

ධනේෂ්වර ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද ක්‍රමය හරහා කොතරම් අවංක හා කාර්යක්ෂමතාවයෙන් යුතු බව කියන කවුරු පාලන බලයට පත් වූවත්, ක්‍රමයේ වෙනසක් (System change) නොමැතිව වැඩි යමක් ලබා දීමට නොහැකි බවට මෙය කදිම උදාහරණයක් වී ඇත.

මෙම ආණ්ඩුව ද කලින් ආණ්ඩු අනුගමනය කළ හාම්පුතුන්ට ගැති කම්කරු ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවට දැනටමත් ඔප්පු වී හමාරය.

          පාලකයන්ට ගැති කලින් ආණ්ඩුව ගෙනා කම්කරු නීති සංශෝධනය ගැන ඔවුන් නිහඞ ප්‍රතිපත්තියක් අනුගමනය කරයි.

          කම්කරුවන් වෙනුවෙන් හඞ නඟන අප සංගමය ජාතික කම්කරු උපදේශක සභාවෙන් ඉවත් කර තම පක්ෂයේ සහ ආණ්ඩුවට ගැති CMU තරමට සුදුසුකම් නැති නියෝජිකයින් පත්කර ගනී.

          පසුගිය අයවැය හරහා ප්‍රකාශයට පත් කළ පුද්ගලික අංශයේ අවම වැටුප - රු.30,000/- හාම්පුතුන්ගේ බලපෑම් මත ගැසට් ප්‍රකාශයක් හරහා නීතිගත කිරීමට නොහැකිව සිටී.

          සියළුම ප්‍රධාන දේශපාලන පක්ෂ මැතිවරණ සමයේ ධනවතුන් සහ ව්‍යාපාරිකයින්ගෙන් විශාල ප්‍රමාණයෙන් මුදල් ලබාගෙන ඇති නිසා ඔවුන්ට අවාසි වන හෝ කම්කරුවන්ට වාසි වන කිසිදු තීරණයක් ගත නොහැක. අති බහුතර ඡන්දයකින් පත්ව සිටියත් මෙය කිරීමට නොහැකි බව ඔප්පු වී හමාරය.

          මොවුන් ද කලින් ආණ්ඩුව මෙන්ම, විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා EPF – ETF වලට අත නොතබන බවට දැන් කියන්නේ නැත.

          වැඩපළ මට්ටමේ හිංසනය නවතා කාන්තාවන්ට ආරක්ෂාව ලබාදෙන C190 සම්මුතිය තවමත් අපරාණුමත කර නැත.

වසර ගණනාවක් මුළුල්ලේම මෙම අමිහිරි අත්දැකීම් ලබා ඇති කම්කරුවන් ප්‍රමුඛ සෙසු ජනතාව නැවත නැවතත් මුලා වී, පොරොන්දු දේශපාලනය මත පිහිටා කණ්ඩායම් මාරුවෙන් මාරුවට පත්කර යැවීමේ ක්‍රියාවලියේ නිරත වී සිටීම කණගාටුවට හේතුවකි.

ස්වාධීන වෘත්තීය සමිති ව්‍යාපාරය ශක්තිමත් ලෙස ගොඩනඟමු.

වැඩ කරන ජනතාව තම ශක්තිය කෙරෙහි විශ්වාසය තබමින් තම තමන්ගේ වැඩපොළවල් වල සහ අනෙකුත් වැඩබිම් වල ස්වෙච්ඡාවෙන් සහ ස්වාධීනව පවතින වෘත්තීය සමිති සාදාගෙන පාලකයින් සමඟ සාමූහිකව කේවල් කර යමක් ලබා ගන්නවා හැරෙන්නට වෙන කිසිදු මඟක් තිබිය නොහැකි බව ඉතිහාසයේ අත්දැකීම් හරහා පැහැදිලි වී ඇත.

ලංකාවේ රාජ්‍ය අංශය තුළ පවතින දේශපාලන පක්ෂ වල වෘත්තීය සමිති වලට බැඳී, පක්ෂ අනුග්‍රහයෙන් යමක් ලබාගත හැකි බවට පැතිර ගොස් තිබූ මිත්‍යාව සහ රෝගය දැන් පුද්ගලික අංශය තුළත් පැතිර ගොස් ඇත.

දේශපාලන පක්ෂ වලට අවශ්‍ය වී ඇත්තේ තම පක්ෂ බලය සහ පාලන බලය අල්ලා ගැනීම මිසක් කම්කරු බලය ගොඩ නඟා ඔවුන්ගේ අයිතිවාසිකම් ලබාදීම නොවන බව වැඩ කරන ජනතාව තේරුම් ගත යුතුය.

රාජ්‍ය අංශයේ මෙන් පුද්ගලික අංශයට ආණ්ඩුවේ හෝ දේශපාලන ඇඟිලි ගැසීම් කළ නොහැක. දේශපාලන පක්ෂ වලට අයත් වෘත්තීය සමිති වල සාමාජිකයන්ගේ අවශ්‍යතාවයන් වලට වඩා එහි නායකයින්ගේ අවශ්‍යතාවයන් මත තීන්දු තීරණ ගනු ලබන අතර මෙවැනි බොහො සමිති වල අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් ද නැත.

පවතින ආණ්ඩුවට හිමි වෘත්තීය සමිතියක් විසින් අත්සන් තබා ඇති සමහර සාමූහික ගිවිසුම් හරහා කම්කරුවන්ව අමු අමුවේම පාවා දී ඇත. කම්කරුවන් විකිණුම් භාණ්ඩ වශයෙන් සලකන හාම්පුතුන්ගේ ප්‍රතිපත්ති මෙම සමිති පිළිගෙන එකඟත්වයන් වලට එළඹී ඇත. මෙය වැටුප් නියම කිරීම සම්බන්ධයෙන් වූ මූලික ප්‍රතිපත්ති සහ මූලධර්මයන් වලට පටහැනිය.

ලංකාවේ වෘත්තීය සමිති ඉතිහාසය තුළ, කම්කරුවන් වෙනුවෙන්ම කැප වී වැඩ කළ, ඓතිහාසිගත ජයග්‍රහණයන් ගණනාවක් ලබා දී ඇති ස්වාධීන වෘත්තීය සමිතියක් වශයෙන් CMU වට ඇත්තේ ආඩම්බරයකි.

එහෙත් වඩාත්ම දුර්වල, පසුබෑමට ලක්ව ඇති ස්වාධීන වෘත්තීය සමිති ව්‍යාපාරය නැවත ගොඩ නැඟීමේ වගකීම පැවරී ඇත්තේ ද අපටමය.

වෘත්තීය සමිති වල අනිවාර්ය සහ ප්‍රධානතම කොන්දේසිය සහ මූලධර්මය වන සැබෑ ස්වාධීනත්වය රැකගෙන වැඩ කරන ජනතාව ඇතුළු සෙසු ජන කොටස් වල ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා සහ ඔවුන්ගේ වෘත්තීය සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් රැකගැනීම සඳහා මෙවර ජාත්‍යන්තර කම්කරු දිනයේදී අදිටන් කර ගනිමු.

CMU මැයි දින පෙළපාලිය සහ රැස්වීමට දහස් ගණනින් සාමාජිකයින් සහභාගී වී ලංකාවේ සැබෑ කම්කරු පන්ති ව්‍යාපාරය ගොඩනඟමු.

ලෝක කම්කරු දිනය දිනේවා !