යුද හමුදා නිලධාරීන් 20 දෙනෙකු සඳහා දුම්රිය රියදුරු පුහුණුව ලබා දීමට ගෙන තිබූ තීරණය තාවකාලිකව අත්හිටුවීමට රජය පියවර ගෙන තිබේ. ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන අද (18) මේ බව ප්‍රකාශ කර සිටියා.
හමුදා නිලධාරීන් පිරිසකට දුම්රිය රියදුරු පුහුණුව ලබාදීමට රජය ගත් තීරණයට විරෝධය පළ කරමින්, ලොකෝමොටිව් ඔපරේටින් ඉංජිනේරුවන්ගේ සංගමය ඊයේ (17) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ධාවන කටයුතුවලින් ඉවත් වීමට තීරණය කර තිබුණා. දුම්රිය රියදුරු ශ්‍රේණියට අලුතින් බඳවාගත් පිරිස සඳහා පැවැති පුහුණු වැඩසටහනකට, හමුදා නිලධාරීන් පිරිසක්ද ඇතුළත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබීම මීට හේතුවයි. මිට අදාලව පවතී සාකච්ඡාවකදී දුම්රිය රියදුරන් පවසා සිටියේ සිවිල් සේවාවක් වන දුම්රිය දෙපාර්තමේන්තුවේ රියදුරු පුහුණුව සඳහා හමුදා නිලධාරීන් සම්බන්ධ කරගැනීම අනුමත කළ නොහැකි බවයි.
මෙම තත්ත්වය සමනය කරගැනීම සඳහා ප්‍රවාහන අමාත්‍යාංශයේ බලධාරීන් සහ වෘත්තීය සමිති නියෝජිතයන් අතර දීර්ඝ වේලාවක් සාකච්ඡා පැවැත්වුණද, එහිදී එකඟතාවයකට පැමිණීමට දෙපාර්ශවයම අපොහොසත් වී ඇත.
අමාත්‍යංශයේ තීරණය රිවස්
ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දහස් සංඛ්‍යාත සිසුන්ගේ ප්‍රවාහන පහසුකම් කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යාම රජයේ මූලිකම ප්‍රමුඛතාවය බවයි. විභාගය වැනි තීරණාත්මක කාලසීමාවකදී සිසුන් දැඩි මානසික පීඩනයකට ලක්විය හැකි බැවින්, ඔවුන්ගේ ගමන් බිමන් අඩාල වීමට ඉඩ නොතැබීම රජයේ වගකීමක් බව ඔහු අවධාරණය කළේය.
හමුදා නිලධාරීන්ට දුම්රිය රියදුරු පුහුණුව ලබා දීමේ තීරණයට එරෙහිව ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය විසින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත් කර තිබීම තුළ දුම්රිය සේවාව අඩපණ වුවහොත් එය සෘජුවම විභාගයට පෙනී සිටින දරුවන්ට බලපාන බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
කෙසේ වෙතත්, අතීතයේදී ‘සයික්ලෝන් දිට්වා’ වැනි දරුණු ස්වභාවික ආපදා අවස්ථාවන්හිදී යුද හමුදාව දුම්රිය දෙපාර්තමේන්තුවට ලබා දුන් සුවිශේෂී සහයෝගය අමාත්‍යවරයා මෙහිදී අගය කළේය. හදිසි අවස්ථාවන්හිදී අත්‍යවශ්‍ය සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා පුහුණු සහ දක්ෂ කණ්ඩායමක් රජය සතුව සිටීමේ වැදගත්කම ද ඔහු වැඩිදුරටත් සිහිපත් කළේය.
වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් එකම හෝ ශිෂ්‍යයෙකුට සිය විභාග මධ්‍යස්ථානය වෙත යාමට නොහැකි වන තත්වයක් ඇතිවීම රජය කිසිසේත් අනුමත නොකරන බව අමාත්‍යවරයා පැවසීය. එබැවින් සිසුන්ගේ අනාගතය පිළිබඳව සලකා බලා, අදාළ හමුදා නිලධාරීන්ගේ පුහුණු වැඩසටහන තාවකාලිකව නතර කිරීමට පියවර ගත් බව ඔහු නිල වශයෙන් සඳහන් කළේය.
“ඇත්තටම අපි මේක පිළිකුළෙන් යුතුව හෙළා දකිනවා. මොකද පහුගිය දිට්වා සුලි කුණාටුව පැවැති අවස්ථාවේදී යුද හමුදාව කොච්චර කැපවීමෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට, ප්‍රවාහන දෙපාර්තමේන්තුවට, අමාත්‍යාංශයට කොච්චර උදව් කළාද කියලා අපි දන්නවා දැනටමත් අපි කෝච්චි පාරවල් හදන්න උදව් කරලා තියෙනවා, කෝච්චි එන්ජිං හදන්නත් ඒ ගොල්ලෝ දැන් මාස දෙකක් තිස්සේ රත්මලානේ උදව් කරනවා. යුද හමුදාවේ ඉංජිනේරුවෝ ඇවිල්ලා බේල් පාලම් හයි කරනවා එතකොට යුද හමුදාවේ සහභාගීත්වය කොච්චරද කියලා අපිට පේනවා.
ඉතිං මේවගේ හදිසි අවස්ථාවකදි මේ වගේ කණ්ඩායමකට වෘත්තිය පුහුණුව තිබීමේ වටිනාකම අපි අත්වින්දා අමාත්‍යාංශයක් විදිහට. ඒ නිසා තමයි මේ 20 දෙනෙකුට මේ පුහුණුව ලබා දෙන්න අපි තීරණය කෙරුවේ. නමුත් හාරලක්ෂ පනස් දහසකට ආසන්න ප්‍රමාණයක් මෙවර සාමාන්‍යපෙළ විභාගය සඳහා මුහුණ දෙනවා. එක ළමයෙකුට හරි අනවශ්‍ය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය නිසා තමන්ගේ කඩඉම පසු කර ගැනීම සඳහා යම් කිසි ප්‍රවාහන අපහසුතාවයකට පත්වුණොත් ඒක අපිට දරාගන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ නිසා තාවකාලිකව මේ පුහුණුව සඳහා යොදපු යුද හමුදා නිලධාරීන් 20 අපි නවත්වනවා.” යනුවෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේය.
දුම්රිය දෙපාර්තමේන්තුවේ කළමනාකාරිත්වය සහ ප්‍රවාහන අමාත්‍යාංශය යුද හමුදා නිලධාරීන් සඳහා දුම්රිය රියදුරු පුහුණුව සාධාරණීකරණය කරන්නේ ප්‍රධාන කරුණු කිහිපයක් පදනම් කරගනිමිනි. ඔවුන්ගේ මූලික අරමුණ වන්නේ මහජන සේවාවන් බිඳවැටීමකින් තොරව පවත්වාගෙන යාම බව පවසයි. එසේ පවත්වාගෙන යාමට නම් සේවකයන් විසින් සිදු කරන වැඩවර්ජන නවතා දැමිය යුතු වෙයි. නොඑසේ නම් සේවකයන් වැඩ වර්ජනය කළත් සේවාව අඛණ්ඩව පවත්වාගෙන යාමට තවත් සැලැස්මක් තිබිය යුතු වෙයි. මෙය එවැනි සැලසුමක් ලෙස හැඳින්විය හැකිය.
“වැඩවර්ජනය කළොත් බලාගමු…” යනාකාරයේ ප්‍රකාශයකට වන පෙර සූදානමකි. පාලනාධිකාරිය විසින් හමුදා සහාය ලබාගැනීමේ උපායමාර්ගික වැදගත්කම අවධාරණය කරනුයේ ප්‍රධාන තර්ක කිහිපයක් පදනම් කරගනිමිනි. එහිදී මූලික වශයෙන්ම ඔවුන් බලපොරොත්තු වන්නේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පවතින ඕනෑම හදිසි අවස්ථාවකදී රජයේ නියෝග මත හමුදාව සේවයට කැඳවීමයි. එසේ සේවයට වාර්තා කිරීමට ඔවුන් නීතිමය වශයෙන් බැඳී සිටීම මෙහිදී රජයට මහත් අස්වැසිල්ලක් වේ. එමෙන්ම, සාමාන්‍ය දුම්රිය රියදුරන් සේවයෙන් ඉවත් වන අවස්ථාවලදී පවා මහජනතාවට අත්‍යවශ්‍ය වන කාර්යාල දුම්රිය ධාවනය කිරීමටත්, රටේ ආර්ථිකයට තීරණාත්මක වන ඉන්ධන වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය අඛණ්ඩව පවත්වාගෙන යාමටත් හැකි විකල්ප බලකායක් ලෙස මොවුන්ව යොදාගත හැකි වීම රජයේ මූලික උපායමාර්ගික අරමුණ වී තිබේ.
පාලනාධිකාරියේ ස්ථාවරය වන්නේ “මහජනතාව වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හමුවේ ප්‍රාණ ඇපකරුවන් නොවිය යුතුය” යන්නයි. එබැවින් ඕනෑම අවස්ථාවක දුම්රිය ධාවනය කිරීමට හැකි දක්ෂ පිරිසක් රජය සතුව සිටිය යුතු බව ඔවුන් තරයේ විශ්වාස කරයි. කෙසේ වුවද මේ සම්බන්ධයෙන් වෘත්තීය සමිති වල පවතින සම්ප්‍රදායික සටන් ක්‍රියාමාර්ග වලින් ඔබ්බට සිතිය යුතු වනු ඇත.
සාමාන්‍යපෙළ විභාගය නිසා ආණ්ඩුව මෙම තීරණය පස්සට ගත්තද වෙනත් සාමාන්‍ය කාලයකදී ඔවුන් එසේ සිදු නොකරනු ඇත. එවිට වෘත්තීය සමිත් සඳහා නව සටන් උපක්‍රම තේරීමට සිදු වනු ඇති අතර දුම්රිය සේවයේ ප්‍රධාන පාර්ශවකරුවන් වන මගීන්ගේ සහයද සහිත ක්‍රියාමාර්ග වලට එළඹීමට සිදු වනු ඇත.
| කල්ප මදුරංග

