මෙරට ප්‍රථම "සාත්තු සේවා වෘත්තිකයන්ගේ සමූපකාර සමිතිය" නිල වශයෙන් ඇරඹේ

මෙරට ප්‍රථම "සාත්තු සේවා වෘත්තිකයන්ගේ සමූපකාර සමිතිය" නිල වශයෙන් ඇරඹේ

මෙරට සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ සහ වෘත්තීය නිපුණතා සහිත නව රැකියා අවස්ථා උත්පාදනය කිරීමේ රජයේ දැක්මට සමගාමීව, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) සහ ශ්‍රී ලංකා නාවික වෘත්තිකයන්ගේ ජාතික සංගමයේ (NUSS) පූර්ණ මඟපෙන්වීම යටතේ පිහිටුවන ලද "ප්‍රයිම් ලයිෆ් කෙයාර් (Prime Life Care) සාත්තු සේවකයන්ගේ සමූපකාර සමිතිය" පසුගිය මාර්තු 03 වන දින නාරාහෙන්පිට පිහිටි NUSS කාර්යාලයේදී නිල වශයෙන් දොරට වැඩියේය.

රජයේ දැක්ම සහ වෘත්තීය ප්‍රමිතිකරණය

මෙම සමූපකාර සමිතිය පිහිටුවීමේ සුවිශේෂී අරමුණ වන්නේ රෝහල්වල සාත්තු සේවයේ යෙදී සිටින වෘත්තිකයන් නිසි ප්‍රමිතියකට හා ගුණාත්මක සේවා තත්ත්වයන් යටතේ රැකියාගත කිරීමේ රජයේ ප්‍රතිපත්තිය ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීමයි. සාත්තු සේවා වෘත්තිකයන් විසින්ම පවත්වාගෙන යනු ලබන මෙම සමූපකාරය හරහා, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමිතීන් ආරක්ෂා කරමින් සේවක අයිතීන් සුරක්ෂිත කිරීම සහතික කෙරේ.

ජාත්‍යන්තර සහ දේශීය පාර්ශවකරුවන්ගේ සහභාගීත්වය

මෙම සමාරම්භක උත්සවය ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) ශ්‍රී ලංකා සහ මාලදිවයින් අධ්‍යක්ෂිකා ජොනි සිම්ප්සන් මහත්මිය (Ms. Joni Simpson) ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එසේම සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ දිසා කොමසාරිස් එම්.පී.ඩබ්ලිව්. ශිරෝමනී මහත්මිය ඇතුළු රජයේ නිලධාරීන් සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පාර්ශවකරුවන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

දස දහසක (10,000) නව වෘත්තීය බලකායක්

මෙතෙක් අත්දැකීම් මත පමණක් පදනම්ව සේවය කළ පිරිස් ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) මට්ටම් දක්වා පුහුණු කර ප්රමිතිගත කිරීම සමිතියේ ප්‍රධානතම ඉලක්කයකි. ඉදිරි කාලය තුළ කුසලතා පූර්ණ සත්කාර සේවා වෘත්තිකයන් 10,000ක් පුහුණු කර මෙරට සෞඛ්ය සේවයට දායක කරවීමට සමිතිය අපේක්ෂා කරන අතර, එමඟින් රජයේ රැකියා උත්පාදන වැඩපිළිවෙළට දැවැන්ත ශක්තියක් සැපයෙනු ඇත.

අභිමානවත් සේවාවක් සහ වෘත්තීය ගරුත්වයක්

ශ්‍රී ලංකාවේ සාත්තු සේවා ක්ෂේත්රයේ පෙරළියක් ඇති කරමින් වෘත්තිකයන්ට සිය ශ්‍රමයට නිසි වටිනාකමක්, වෘත්තීය ගරුත්වයක් සහ සුරක්ෂිත වැඩ පරිසරයක් ලබාදීමට ප්‍රයිම් ලයිෆ් කෙයාර් සමිතිය කැපවී සිටී. "අපේ අරමුණ රජයේ සෞඛ්ය දැක්ම අනුව යමින්, ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් සත්කාරක සේවාවක් දිවයින පුරා ව්‍යප්ත කිරීමයි," යනුවෙන් සමිතියේ සාමාජිකයෝ මෙහිදී සිය ප්‍රතිඥාව ලබා දුන්හ.

මෙම නවතම ප්රවේශය හරහා ශ්‍රී ලාංකේය සෞඛ්‍ය සේවාව නව මානයකට ඔසවා තැබීමට ප්‍රයිම් ලයිෆ් කෙයාර් සාත්තු සේවා සමූපකාරය සූදානම්ව සිටී.