දීපචෙලවන්ගේ කෘති රේගුව විසින් රඳවා ගැනීම යනු භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස අවහිර කිරීමකි - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
ලේඛක දීපචෙල්වන් මහතාගේ මුද්‍රිත සාහිත්‍ය කෘති කිහිපයක් චෙන්නායි නුවර සිට ආනයනය කිරීමේදී රේගුව මගින් රඳවා තබා ගැනීම සම්බන්ධව ශ්‍රී ලංකා කලා මණ්ඩලයට අයත් රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලය නිවේදනයක් නිකුත් කර තිබේ. අදාළ සිදුවීම සම්බන්ධයෙන් සංස්කෘතික අමාත්‍යවරයා කළ මැදිහත්වීමද අනුමණ්ඩලය කළ මැදිහත්වීමද පිළිබඳව එහි සඳහන්ව ඇති බැවින් එය රජයේ නිල ස්ථාවරය ලෙස පිළිගැනීමට සූදානම් බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි.
එහෙත්, දීපචෙල්වන් සිදුවීම සහ ඊට අමාත්‍යවරයා මැදිහත් වීම හුදෙකලා එක් සිද්ධියක් ලෙස සළකා බැහැර කළ නොහැකි බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ස්ථාවරයයි.
දෙමළ භාෂාවෙන් පළ වී ඇති දීපචෙල්වන්ගේ කෘති මෙලෙස රඳවා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව පිළිතුරු දිය යුතු කරුණු කිහිපයක් තිබේ. එනම්.
* මෙම කෘති රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් රේගුවට උපදෙස් ලබා දුන්නේ කිනම් පාර්ශවයක්ද?
* මෙම කෘතීන්හී අන්තර්ගතය අනීතික හෝ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් අයහපත් ලෙස බලපාන්නේද? බලපාන්නේ නම් ඒ කෙසේද?
* රේගු නිශ්කාශන කාර්යයන්හිදී සාහිත්‍ය කෘතියකට අදාළ කරුණු නිශ්චය කිරීමේ රේගුව සතු විෂය ප්‍රවීනත්වය කුමක්ද? යන්නයි.
ශ්‍රී ලංකා රේගුව මේ ගැටලුවලට කුමන පිළිතුරු ලබා දුන්නද නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ මතය වන්නේ ඔවුන් අනිසි ලෙස මැදිහත්ව ඇත්තේ නිර්මාණකරුවෙකු සතු ප්‍රකාශනයේ නිදහස සහ ඔහුගේ පාඨකයින් සතු දැනගැනීමේ අයිතිය උල්ලංඝනය කිරීමටයි. රේගුව යනු රාජ්‍ය ආයතනයක් බැවින් මෙවැනි සිදුවීම් අරභයා පැවතිය යුතු වගවීමෙන් බැහැරවීමට ආණ්ඩුවටද හැකියාවක් නොමැත.
එබැවින් දීපචෙල්වන්ට එරෙහිව ක්‍රියාත්මක කිරීමට උත්සාහ ගත් වාරණය භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස අහිමි කිරීමට දරන ලද ප්‍රයත්නයක් ලෙස සළකා හෙළා දකින නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සිංහල හෝ දෙමළ හෝ වෙනත් ඕනෑම භාෂාවකින් සිදුකෙරෙන නිර්මාණ කටයුතුවලදී නිර්මාණකරුවන්ගේ ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීමට ඒකාබද්ධ පෙරමුණක් ලෙස ක්‍රියාත්මක වන මෙන් මාධ්‍යවේදීන් කලාකරුවන් ඇතුළු සියලු පාර්ශවවලින් ඉල්ලා සිටී.

