රාජ්‍ය බැංකවල රාජ්‍ය අයිතිය සුරක්ෂිත කරමු - කම්කරු ව්‍යාපරයේ සංවිධානාත්මක බලයක් ගොඩනගමු - ලංකා බැංකු සේවක සංගමය
අධිරාජ්‍යවාදී බල අරගලය.
2026 ජාත්‍යන්තර කම්කරු දින සැමරුම සමස්ත ලෝකවාසී කම්කරුවන්ටත්, විශේෂයෙන්ම අප සාමාජිකත්වය ඇතුළු ලාංකීය කම්කරුවන්ටත් ඉතා තීරණාත්මක වනු ඇත. ධනවාදී ලාභ අපේක්‍ෂාවන් වෙනුවෙන් ක්‍රියාත්මක අධිරාජ්‍යවාදී බල අරගලය මේ වනවිට මුළු ලෝකය පුරා කොල්ලකාරී ජන සංහාරක යුද්ධයක් නිර්මාණය කර ඇති අතර මෙම යුද්ධය ලෝකයේ සමස්ත ජනතාවටත්, පරිසරයටත් විශාල විනාශයක් සිදු කරමින් පවතී. එම ගෝලීය වාතාවරණය තුළ රටවල්වල ආර්ථික ප්‍රතිපත්ති හා නීතිවල සිදුවන වේගවත් වෙනස්කම්, කම්කරුවන්ගේ ජීවන තත්ත්වයන්ට සෘජුවම බලපාන අතර, සමාගම්වල ලාභ වැඩි කර ගැනීමට වැඩි අවස්ථා ලබා ගන්නා තත්ත්වයක් දක්නට ලැබේ.
ගෝලීය හා දේශීය සංදර්භය තුළ ශ්‍රී ලාංකීය කම්කරුවාගේ හෙට දවස.
COVID වසංගතය හා ඉන්පසු ව ඇති වූ ආර්ථික බිඳවැටීම දිට්වා සුළි කුණාටුව සහ වර්තමානයේ පවතින ගෝලීය යුධමය වාතාවරණයේ බලපෑම වැනි අඛණ්ඩ ව්‍යසනයන්ට මුහුණ දුන් අප රටේ කම්කරුවන්ගේ ජීවිතවල අනාගත අපේක්‍ෂාවන් වඩාත් අවිනිශ්චිත වී ඇත. කම්කරු පන්තිය එදිනෙදා ජීවත්වීමට කරන දෛනික අරගලය නොතකා, ධනේශ්වර පන්තියේ තැරැව්කරුවන් ලෙස ක්‍රියා කරන ආණ්ඩුව, සමස්ත ආර්ථික බර වැඩ කරන ජනතාව මතට පතිත කර ඇත. ඒ සමඟම, වෘත්තීය සමිතිවල හඬ හිතාමතාම නොසළකා හරිමින් වෘත්තීය සමිති විරෝධී දෘෂ්ඨිවාදයක් සහිත ව්‍යාපාරිකයින්ගේ අවශ්‍යතා අනුව රජයේ වැඩසටහන් ඉදිරියට ගෙන යන අතර, කම්කරුවන්ට තවදුරටත් වෘත්තීය සමිති නියෝජනයන් අවශ්‍ය නොවන බවට ද ප්‍රචාරය කරමින් ඇත.
වෘත්තීය සමිති සමඟ පැහැදිලි සාකච්ඡාවකින් තොරව ගෙන ඒමට සූදානම් වන නව කම්කරු නීති ප්‍රතිසංස්කරණ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිකුත් කරන ලද නියෝගවලට දැඩි ලෙස අනුකූලව රාජ්‍ය ආයතන ඈවර කරමින් ගෙන යන වැඩපිළිවෙල, විදුලිබල මණ්ඩලය සමාගම් කිහිපයකට වෙන් කිරීම හා එම සමාගම්වල ලාභදායිත්වය වෙනුවෙන් කම්කරු පන්තියට අනාගතයේ දී වන්දි ගෙවීමට සිදුවීම, ඉන්ධන බෙදා හැරීමේ රජයේ ඒකාධිකාරය බිඳ දමා විදේශීය සමාගම් වලට අවස්ථාව ලබාදීම හරහා එම සමාගම්වල ලාභදායීත්වය වෙනුවෙන් ගනු ලබන තීන්දු හමුවේ කම්කරු පන්තිය මුහුණ දෙන අනාගත අභියෝග වැනි සකලවිධ තත්වයන් කම්කරුවන් ඇතුළු සාමාන්‍ය ජනතාවගේ ජීවිතවල අනාගත බලාපොරොත්තු බිඳ දමා ඇත. ඔවුන්ට තවදුරටත් දරිද්‍රතාවයට ගමන් කිරීම හැර වෙනත් විකල්පයක් ඉතිරි කර නොමැත.
සාධාරණ බදු ප්‍රතිපත්තියක් දිනා ගැනීමට සංවිධානය වෙමු.
2022 වසරේ දී රටේ පැවති අරාජිකත්වයෙන් ප්‍රයෝජන ගෙන අටවාගත් අනුප්‍රාප්තික ජනාධිපතිවරයාගේ ආණ්ඩුව IMF රූකඩයක් ලෙසින් ගනු ලැබූ මාරාන්තික තීරණයකට අනුව 2023 වසරේ සිට උපයන විට ගෙවීමේ බදු සඳහා ආදායම් සීමාව රුපියල් ලක්ෂයක් දක්වා පහත හෙලන ලදී. ඒ සමඟ ම බදු ප්‍රතිශතයන් ද වැඩි කරන ලදී. මෙම තීන්දුවත් සමග දැඩි ලෙස ජීවන වියදමෙන් මිරිකී සිටි කම්කරු ප්‍රජාව කබලෙන් ලිපට වැටීම සිදු විය. එම තත්වයත් සමඟ සංවිධානය වූ කම්කරුවන් සිදු කළ උද්ඝෝෂණ හා විවිධ ක්‍රියාකාරකම් ඔස්සේ 2024 වසරේ පැවති ජනාධිපතිවරණයට තරග කළ ප්‍රධාන අපේක්ෂකයන් බලයට පැමිණියහොත් බදු සම්බන්ධව සිදු කරන සංශෝධනයන් පිළිබඳව විවිධ පොරොන්දු ලබා දෙන ලදී. වත්මන් ජනාධිපතිවරයා බලය ලබා ගැනීමට පෙර ලබා දුන් පොරොන්දුවෙන් අඩක් පමණක් සිදු කර වර්තමානයේ නෑසූකන්ව සිටී. මේ වන විට රජයේ බදු ආදායම සැලකිය යුතු ලෙස අපේක්ෂා කළ මට්ටම ද ඉක්මවා ඇති අතර තව දුරටත් බදු දැල ව්‍යාප්ත කර සක්‍රිය බදු ගෙවන්නන් ප්‍රමාණය ඉහළ නංවාගැනීමට ඕනෑවටත් වඩා අවස්ථාව ඇත. 2020 සිට 2022 වසර දක්වා පැවති උද්ධමනයට අදාල ව රුපියලේ මූර්ත වටිනාකම දැඩි ලෙස ඛාදනය වූ අතර එවන් වටපිටාවක දී පනවන ලද මාරාන්තික බද්ද වසර හතරක් පුරා දරා ගනිමින් කම්කරු ප්‍රජාව අතිශය තීරණාත්මක කැප කිරීමක් සිදු කර ඇත. දැන් එහි උපරිම සීමාවට අප ළඟාවෙමින් ඇත. මෑතක දී පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකුගේ වැටුප් පතින් මාසිකව අය කරන්නා වූ බද්ද සම්බන්ධව හෙළිදරව් වූ අතර ජනතාවට නොමැති වරප්‍රසාද අපට අවශ්‍ය නොවන බව පවසමින් බලය ලබා ගත්තා වූ ආණ්ඩුවක් අදාල වැටුප් පත ඉදිරියේ තමන්ගේ නිරුවත මු`ඵ මහත් සමාජයට ම ප්‍රදර්ශනය කිරීම සිදු කර ඇත. 2026 ජාත්‍යන්තර කම්කරු දින සැමරුමේ දී සාධාරණ බදු ප්‍රතිපත්තියක් ස්ථාපිත කර ගැනීම වෙනුවෙන් කම්කරු පන්තියේ සංවිධානාත්මක බලයක් ගොඩනැගීමට අප අදිටන් කර ගත යුතුය.
රාජ්‍ය බැංකුවල රාජ්‍ය හිමිකාරිත්වය සුරක්ෂිත කරමු.
රාජ්‍ය බැංකුවල පූර්ණ හිමිකාරිත්වය රජය සතුව පැවතිය යුතු බව අප සංගමය දැඩිව විශ්වාස කළ අතර මීට දශක ගණනාවකට පෙර සිට ඒ වෙනුවෙන් බොහෝ කැප කිරීම් සිදු කර එම තත්ත්වය එලෙසින් ම පවත්වා ගැනීමට කටයුතු කර ඇත. වරින් වර බලයට පැමිණි ආණ්ඩු විවිධ වූ ස්වරූපයන්ගෙන් රාජ්‍ය බැංකුවල රාජ්‍ය අයිතිය කොල්ලකරුවන්ට විකුණා දැමීම සඳහා විවිධාකාරයේ ආලවට්ටම් වචන භාවිතා කරමින් ක්‍රියාකාරකම් සිදු කළ ද මේ දක්වා ඒ සියල්ල සාමුහිකත්වය මගින් පරාජය කිරීමට අපට හැකියාව ලැබී ඇත. 2022 වසරේ අය වැයේ දී ප්‍රධාන රාජ්‍ය බැංකුවල රාජ්‍ය හිමිකාරිත්වය 20% ප්‍රමාණයකින් විකුණා දැමීම සඳහා යෝජනා ඉදිරිපත් විය. එම යෝජනාවලට සංගමය දැඩි ලෙස විරුද්ධත්වය ප්‍රකාශ කළ අතර අපත් සමඟ භූමියේ එම යෝජනාවට විරුද්ධ වූ ප්‍රධාන පාර්ශවයක් වර්තමානයේ රාජ්‍ය බලය හොබවමින් සිටින අතර ඔවුන් විසින් ද එම යෝජනාවම නැවත වරක් කැබිනට් පත්‍රිකාවක් හරහා කරළියට ගෙන එමින් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කිරීම අප තරයේ ප්‍රතික්ෂේප කරන අතර ඉදිරියේ දී එන ඕනෑම අභියෝගයක් පරාජය කර රාජ්‍ය බැංකුවල රාජ්‍ය අයිතිය සුරක්ෂිත කර ගැනීමට මෙවර ජාත්‍යන්තර කම්කරු දිනයේ දී අප එකා මෙන් අදිටන් කර ගත යුතුව ඇත.
විශ්‍රාම අයිතිය තහවුරු කරනු ! විශ්‍රාම වැටුප් ගැටලු විසඳනු !
වසර 18 ක දීර්ඝකාලීන ක්‍රියාමාර්ගයක ප්‍රතිඵලයක් ලෙස, 1996 දී රාජ්‍ය බැංකු පද්ධතියට අහිමි කළ විශ්‍රාමය නැවත වරක් 2014 වසරේ දී ස්ථාපිත කර ගැනීමට හැකියාව ලැබුණු අතර එය ලංකාවේ වෘත්තිය සමිති ව්‍යාපාරයේ දීර්ඝ කාලයක් අඛණ්ඩ අරගලයක නිරතව ලද සුවිශාලතම ජයග්‍රහණයක් ලෙස සටහන්ව ඇත. නමුත් එම ජයග්‍රහණය පූර්ණ ජයග්‍රහණයක් බවට පත් කර ගැනීමට 2021 වසරේ දී සංගමයේ මැදිහත්වීම මත ගනු ලැබූ උත්සාහය තුළ යම් සංශෝධනයක් සිදු වුව ද එය පැරණි විශ්‍රාමය හා සමානව පූර්ණ විශ්‍රාම අයිතිවාසිකමක් දක්වා වර්ධනය කර ගැනීම අද දවසේ අපට ඇති සුවිශාලතම අභියෝගයකි. එසේ ම විශ්‍රාම අරමුදල්හි පවතින ශක්තිමත්භාවය මත ආයුගණක වාර්තා හරහා තහවුරු කරන ලද සංශෝධනයන් පවා ක්‍රියාත්මක කිරීමට පාලකයන් කල් මැරීම ද විශාල අභියෝගයක්ව ඇත. විශ්‍රාම අහිමි රාජ්‍ය බැංකු සඳහා ද සාධාරණ විශ්‍රාමයක් ජයග්‍රහණය කර ගනිමින් වර්තමානයේ විශ්‍රාම අයිතිය ස්ථාපිතව ඇති රාජ්‍ය බැංකුවල පවතින දුර්වලතා ඉවත් කර ශක්තිමත් විශ්‍රාමයක් ස්ථාපිත කර ගැනීමට අප තිර ලෙස අධිෂ්ඨාන කර ගත යුතු ය.
තාක්ෂණය සහ කොටස් කොල්ලයට එරෙහිව පෞද්ගලික බැංකු රැක ගනිමු.
නව තාක්ෂණය තීව්‍ර ලෙස යෙදවීම හරහා සේවක කප්පාදුව මෙන් ම අධික වැඩ, මාර්ගගත තාක්ෂණයේ අනාරක්ෂිත බව හේතුවෙන් සේවා සුරක්ෂිත බව තර්ජනයට ලක් වීම එක් අතකින් බැංකු ක්ෂේත්‍රයේ සේවා සුරක්ෂිතභාවය අනතුරට ලක් කර ඇති අතර ලාභ ශ්‍රමය ලබා ගන්නා ක්‍රමවේදයන් බෝ කරන කොන්ත්‍රාත් සහ මෑන් පවර් ක්‍රම වෙළඳපල තුළ ශ්‍රමයට ගෙවන වැටුප් පහළ දමමින් සිටී. පැරණි සහචර ධනපතියන් කොටස් වෙලඳපල හරහා පෞද්ගලික බැංකුවල හිමිකාරිත්වය ඩැහැ ගැනීම, එම බැංකුවල ව්‍යාපාර සහ සේවක මණ්ඩලවලට සෘජු බලපෑම් සිදු කරමින් පවතී. මෙම තත්ත්වය ආපසු හැරවීමට මෙවර මැයි දිනය ශක්තියක් කර ගනිමු.
දිගු කාලීනව අත්සන් කිරීම ප්‍රමාද කර ඇති විදේශීය බැංකුවල සාමුහික ගිවිසුම් අත්සන් කිරීමට මෙම මැයි දිනයේ දී බල කර සිටිමු.
මහ බැංකුවේ තීරණ මත බැංකු ව්‍යාපාර කටයුතු සම්බාධකවලට ලක් කිරීමට එරෙහි වෙමු.
මහජනයාගේ අවශ්‍යතා මත සහන පොලී සහ ණය ක්‍රමවේද මගින් රටේ නිවාස අවශ්‍යතා සහ ඉතුරුම් මෙන් ම ආර්ථිකයේ සුළු හා අවිධිමත් අංශ රැක බලා ගන්නා බැංකු සඳහා හුදු වෙළඳපල තත්ත්වයන් සලකා මහ බැංකුව විසින් ව්‍යාපාර සම්බාධක පනවා ඇත. මෙම තත්ත්වය පහළ ආදායම් ලබන ජන කොටස් මෙන් ම අදාල බැංකුවල සේවක ප්‍රජාවට දරුනු ආර්ථික බලපෑම් ඇති කර තිබේ. ප්‍රාග්ධන අවශ්‍යතා ඇතුළු අනෙකුත් අවශ්‍යතා සපුරමින් මෙම බැංකු සහ ඒවායේ සේවකයින් රැක ගැනීමට මෙම මැයි දිනයේ දී පෙළ ගැසෙමු.
ඉතිහාසයෙන් පන්නරය ලබා වර්තමානයට මුහුණ දෙමු.
■ රක්ත වර්ණ වූ කම්කරු ධජය
1886 වර්ෂයේ දී පැය අටකට සීමා වූ සේවා කාලයක් දිනකට ලබා ගැනීම සඳහා චිකාගෝ නගරය කේන්ද්‍ර කරගනිමින් නිව්යෝක් සිට සැන් ප්‍රැන්සිස්කෝ දක්වා වැඩ වර්ජන හා විරෝධතා පෙලපාලි ක්‍රියාත්මක විය. ඒ අනුව 1886 මැයි 01 දින චිකාගෝ නගරයට එක් වූ හතළිස්දහසක පමණ වැඩ වර්ජිත කම්කරුවන් වීදි බැස සාමකාමී පෙළපාලියක් පැවැත්වූහ. මෙම පෙළපාලිය මැයි 02 හා 03 යන දෙදින තුළත් අඛණ්ඩව ක්‍රියාත්මත විය. රැල්ලක් ලෙස නැගී එන කම්කරු විරෝධතාවය යටපත් කිරීමේ අරමුණෙන් චිකාගෝ නගරයේ මැක්කොමික් කර්මාන්තශාලාවේ වැඩවර්ජනය කඩාකප්පල් කර දැමීමට හාම්පුතුන් දැරූ උත්සාහයේ දී වැඩවර්ජකයින් හා එය මර්දනය කිරීමට පැමිණි හොරිකඩයින් අතර ගැටුම් ඇති විය. මැයි 03 වන දින මෙම ගැටුම් උග්‍ර වීම හේතු කොටගෙන පොලිසිය විසින් ඊට වෙඩි තැබීම හමුවේ 06 දෙනෙකු මිය ගොස් 50 දෙනෙකු තුවාල ලැබූහ. පොලිස් වෙඩි පහරින් මිය ගිය සහ තුවාල ලැබූ කම්කරුවන් හෙ`ඵෑ ලෙයින් පෙලපාලියේ රැගෙන ගිය බැනර්, කොඩි සහ කම්කරුවන්ගේ ඇඳුම් රත් පැහැ ගැන්වුණු අතර එම රතු පැහැය කම්කරුවන්ගේ වර්ණය බවට පත් විය.
1886 මැයි මස අරගලය ජීවිත අහිමිවීම් අත්අඩංගුවට ගැනීම් වැනි මර්දනයන් සහිතව අවසන් වුවත් ඇමරිකානු කම්කරු පන්තියේ සටන් රැල්ල නොනැවතී පැවතිණි. සමස්තයක් වශයෙන් ගත් කළ 1886 මු`ඵ වැඩ වර්ජන ව්‍යාපාරය ජාත්‍යන්තර කම්කරු පන්ති ව්‍යාපාරයේ ජය ස්ථම්භයක් වශයෙන් සලකනු ලබයි.
■ මැයි මස 01 වන දිනය ජාත්‍යන්තර කම්කරු සහයෝගිතා දිනය ලෙස ප්‍රකාශයට පත් වේ.
1889 ජූනි මාසයේ පැරිස් නුවර දී “පෙඩි්‍රක් එංගල්ස්” ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු කම්කරුවන්ගේ දෙවන කොමියුනිස්ට් ජාත්‍යන්තර සමු`ඵවේ දී, චිකාගෝ නුවර හේමාකට් චතුරශ්‍රයේ දී ඇති වූ කම්කරු සටන් අනුස්මරණය මැයි පළමුවෙනි දිනට යොදා ගත්තේ ය.
නමුත් පළමුවරට ජාත්‍යන්තර කම්කරු දිනය සමරන ලද්දේ 1890 දී ය. ප්‍රංශ නියෝජිත “ලැව්ටනී” විසින් කම්කරුවන් එක්සත්ව ක්‍රියා කරන ජාත්‍යන්තර කම්කරු දිනයක් ලෙස යෝජනා කළ අතර, සමු`ඵව එය ඒකමතිකව සම්මත කළේ ය.
■ ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර කම්කරු දින සැමරුමේ ආරම්භය
ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර කම්කරු දින සැමරුම පැවැත්වීම ආරම්භ වනුයේ 1927 දී ය. එවකට ඉංග්‍රීසි ගුරුවරයෙකු ලෙස කටයුතු කළ, ලංකාවේ කම්කරු ව්‍යාපාරයේ පියා ලෙස සැළකෙන මෙන් ම අප සංගමයේ ප්‍රථම සභාපති වූ ඒ. ඊ. ගුණසිංහ සහෝදරයාගේ ප්‍රධානත්වයෙන් පිටකොටුව ප්‍රයිස් පාක් හි දී මේ රැළිය පවත්වනු ලැබී ය. මෙවර අප විසින් මැයි රැළිය පවත්වන්නේ ද එම ඓතිහාසික ක්‍රීඩාංගනයේ වීම සුවිශේෂී තත්ත්වයකි.
1934 දී ශ්‍රී ලංකාවේ දෙවන ජාත්‍යන්තර කම්කරු දින සැමරුම පැවැත්වූයේ මාක්ස්වාදී සංගමය යි. මෙය ප්‍රථම වරට වමට සම්බන්ධ සමාජවාදී මතවාදය පළ කරන කම්කරු දින සැමරීම බවට ඉතිහාසගත වේ. දොස්තර සරවනමුත්තුගේ ප්‍රධානත්වයෙන් පිටකොටුව ප්‍රයිස් පාක්හි දී දෙවන කම්කරු දින සැමරුම පැවැත්විණි. ඉන් අනතුරුව 1935 දී වඩාත් ප්‍රබල කම්කරු දින සැමරුමක් පැවැත්විණි. එතැන් පටන් දිගටම කම්කරු දින රැලි හා පෙළපාලි පැවැත්වුණු අතර කම්කරුවන්ට එරෙහිව අසාධාරණ ලෙස සම්මත කර තිබූ නීත රීති, අතිකාල දීමනා, පැය අටේ වැඩ දිනය ඉල්ලීම යන අයිතීන් දිනා ගැනීමේ සටන් ක්‍රියාත්මක විය. 1946 හා 1947 වැඩ වර්ජන, 1953 හර්තාලය යන සිදුවීම් සමඟ කම්කරු සටන් පැවතෙද්දී 1956 සිදු වූ දේශපාලන පෙරළියත් සමඟ කම්කරු පන්තියට ඇහුම්කන් දෙන නායකයන්ගේ මැදිහත්වීම මත පැය අටේ සේවය නීතිගත වීම, විශ්‍රාම වැටුප් අයිතිය හිමි වීම, අර්ථසාධක අරමුදල් අයිතිය පෞද්ගලික අංශයට ලබා දීමට ගත් තීරණ කම්කරු පන්තිය ලැබූ තීරණාත්මක ජයග්‍රහණයන් වේ.
ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ඇතු`ඵ වමේ ව්‍යාපාරය විසින් ගෙන ගිය අරගලයක ප්‍රතිඵලයක් ලෙස 1956 දී මැයි පළමු වන දිනය නිවාඩු දිනයක් බවට පත් කළේ ය. ඒ අනුව මැයි පළමු වන දිනය ජාත්‍යන්තර කම්කරු දිනය සැමරීම වෙනුවෙන් නිවාඩු දිනයක් බවට පත් කර 70 වෙනි සංවත්සරය 2026 මැයි පළමු වන දිනයට යෙදෙන්නේ ය.
2026 ජාත්‍යන්තර කම්කරු දින සැමරුම අභිමානයෙන් සමරමු.
1886 සිට වසර 140 ක් දුරට දිව යන කම්කරු දින සැමරුම 1927 සිට ලංකාවේ සමරනුයේ 99 වන වරට ය. රාජ්‍ය මර්දනය තුළ ක්‍රියාත්මක පොලිස් වෙඩිතැබීම් ඔස්සේ සටන් සගයන් එකා මත එකා මැරී වැටෙද්දිත් පැය 8 ක වැඩ දිනයක් දිනා ගැනීම වෙනුවෙන් 1886 දී චිකාගෝ නුවර හේමාකට් චතුරශ්‍රයේ දී අරගල කළ සටන්කාමී කම්කරු සහෝදරත්වයේ ජීව ගුණය උකහා ගනිමින් ගෝලීය වශයෙන් හා දේශීය වශයෙන් කම්කරු පන්තියට එල්ලවන වත්මන් අභියෝග ජයග්‍රහණය කිරීම උදෙසා කම්කරු පන්තියේ සංවිධානාත්මක බලයක් ගොඩනැගිය යුතුව ඇත. 2026 ජාත්‍යන්තර කම්කරු දින සැමරුම එම අභියෝගාත්මක කාර්යභාර්ය සඳහා ඇරඹුමක් කර ගනිමු.
ලංකා බැංකු සේවක සංගමය ඇතුළු ස්වාධීන වෘත්තිය සමිති, බහුජන සංවිධාන, සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්, කලාකරුවන් ආදී සංවිධාන හා ක්‍රියාකාරීන් රැසකගේ සහභාගිත්වයෙන් ස්වාධින වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකතුව යටතේ අධිරාජ්‍යවාදි, කොල්ලකාරී ජනසංහාරක යුද්ධයට එරෙහිව පෙළ ගැසෙමු යන තේමාවෙන් වැඩ කරන ජනතාවගේ බලය ප්‍රදර්ශනය කෙරෙන ජාත්‍යන්තර කම්කරු දින පෙළපාලිය 2026 මැයි 01 වන දින පෙ.ව. 10.00 ට ලේක් හවුස් වටරවුම අසලින් ආරම්භ වන අතර පෙ.ව. 11.30 ට ඒ. ඊ. ගුණසිංහ ක්‍රීඩාංගනයට (Price Park) පැමිණීමෙන් අනතුරුව දහවල් 12.00 ට පමණ රැලිය ආරම්භ කරනු ඇත.
ඒ සඳහා ඉහළ ම සාමාජිකත්වයක් සහභාගි කරවමින් මෙම කම්කරු දින සැමරුම සාර්ථක කර ගැනීමට උපරිම දායකත්වයක් ලබා දෙන මෙන් සියලුම ශාඛා සංගම් නායක සහෝදර සහෝදරියන්ගෙන්, මධ්‍යම කාරක සභිකයන්ගෙන් හා දිස්ත්‍රික් සංවිධාන නායකත්වයෙන් සහෝදරාත්මකව ඉල්ලා සිටින අතර ඒ සඳහා සියලු සාමාජිකයින්ගේ දායකත්වය ලබා දෙන ලෙස ද සහෝදරාත්මකව ඉල්ලා සිටිමු.
ලංකා බැංකු සේවක සංගමය දිගුකල් දිනේවා !

