"ස්වාධීන වෘත්තීය සමිති සාදා කම්කරු අයිතිවාසිකම් දිනා ගනිමු"

cmu-may-day-2026

කම්කරුවන් හට හා සෙසු ජන කොටස් වලට බලපාන ආර්ථික, දේශපාලන හා සමාජීය ප්රශ්න ගණනාවක් තිබියදීත් ඒවා ගැන හුවා දක්වමින් ආණ්ඩුවට හෝ හාම්පුතුන්ට විරුද්ධව කතා කිරීම හෝ බැන වැදීම වෙනුවට ඔවුන් කෙරේ විශ්වාසය තබමින් නොමඟ ගොස් සිටින අති විශාල කම්කරු හා සෙසු ජන කොටස් වලට වැදගත්ම පණිවිඩයක් ලබාදීම මේ මොහොත වනවිට වැදගත් වන බව අප සංගමය විශ්වාස කරති.

සමාජයේ ඕනෑම පීඩිත හෝ අසාධාරණයට ලක්ව සිටින ජන කොටසකට තම අභිවෘද්ධිය තකා ක්රියා කිරීමට ඇති එකම මාධ්යය වනුයේ තමන් කෙරේ පෞද්ගලිකව හා සමූහයක් වශයෙන් විශ්වාසය තබමින් ශක්තිමත්ව සංවිධානය වී බලධාරීන් සමඟ කේවල් කිරීම හා සටන් වැදීමයි. තම අයිතිවාසිකම් දිනා ගැනීමට හෝ තමන්ට සාධාරණයක් ඉටුකර ගැනීමට බලාපොරොත්තු තබමින් බාහිර කොටස් පසුපස, විශේෂයෙන් බල තන්හාවේ සිටින දේශපාලන පක්ෂ හා වාසි ලබා ගැනීමට උත්සාහ දරණ රාජ්ය නොවන සංවිධාන පසුපස හඹා යෑමෙන් ලැබුණ හෝ ලැබෙන දෙයක් නොමැත. යමක් ලැබී ඇත්නම් එම කොටස් තමන්ගේම සිය සංවිධාන සාදාගෙන නිවැරදි ප්රතිපත්ති අනුගමනය කරමින් කේවල් කිරීම හෝ සටන් කිරීම හරහා බව ඉතිහාසය පුරාම ඔප්පු වී ඇත.

ශ්රී ලංකාවේ අද පවතින තත්ත්වය සහ ගෝලීය මට්ටමේ ඇති වෙන වෙනස්කම් හා අභියෝගයන් මැද්දේ තමන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමට හෝ තමන්ගේ පැවැත්ම යම්තාක් දුරකට හෝ සහතික කර ගැනීමට නම් වැඩ කරන ජනතාවට තියෙන එකම මඟ ස්වාධීනව හා ශක්තිමත්ව සංවිධානය වී හඬ නැගීම හා සටන් වැදීමයි.

ලංකා වෙළඳ කාර්මික සහ පොදු කම්කරු සංගමය (සීඑම්යූ)

ඡායාරූප - ඩී.බී.රමේෂ් උදයංග