ත්‍රී,මලේ රෝහලේ බිළිඳා මියයාම ගැන වෛද්‍ය සංගමයෙන් නිවේදනයක්

trincomalee-hospital-2026

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ සූතිකාගාරයේදී සිදුවී ඇතැයි මාධ්‍ය හරහා ප්‍රකාශයට පත් වූ මළ දරු උපත‌ට අදාල සිද්ධිය සම්බන්ධව මාධ්‍ය දැනුවත් කිරීමයි.

2026 අප්‍රේල් මස 09 වැනි දින ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ සූතිකාගාරයක් තුලදී සිදු වී ඇති මළ දරු උපතක් සම්බන්ධව පුවතක් මාධ්‍ය ඔස්සේ මේ වන විට ප්‍රචාරය වෙමින් පවතින අතර යම් මාධ්‍ය ආයතන කිහිපයක් එයට වැරදි අර්ථකතන ලබාදෙමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් ක්‍රියාත්මක කල වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් හා මෙම සිද්ධිය සම්බන්ධ කරමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයට එරෙහිව අසත්‍ය ප්‍රචාර සිදුකරමින් සිටී.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලදී හදිසි ප්‍රතිකාර සේවාවන් කිසිවිටෙක බිඳවැටෙන්නට නොදෙන අතර හදිසි රෝගී සත්කාර සේවාවන්, විශේෂයෙන් හදිසි ප්‍රතිකාර ඒකක දැඩිසත්කාර ඒකක, සුතිකාගාර ආදී වූ ස්ථානයන්හි සේවාවන් අඛණ්ඩව සිදු කරගෙන යාමට අවශ්‍ය සියලු උපදෙස් ලබා දෙයි. ඒවාගේම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකදි මාතෘ රෝහල්, ළමා රෝහල්, පිළිකා වෛද්‍ය ආයතන, වකුගඩු රෝග ආශ්‍රිත රෝහල්, හමුදා රෝහල් සහ මානසික වෛද්‍ය විද්‍යායතන වල සේවාවන් බිඳ නොවැටි අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සියලු උපදෙස් අපගේ ශාඛා සමිති හරහා සියලු සාමාජිකයින් වෙත දැනුවත් කර සිටින්නෙමු.

සබැඳි පුවත

රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලදී සූතිකාගාර තුල කටයුතු කිසිසේත්ම එම වෘත්තිය සමිති ක්‍රියාමාර්ග සඳහා අදාල කර නොගන්නා අතර එම කටයුතු අනවරතව ක්‍රියාත්මක වේ. එසේ කටයුතු සිදු කෙරෙන වාතාවරණයකදී පටු දේශපාලණ අරමුණු මුල් කරගනිමින් අසත්‍ය පතුරවනු ලබන ඇතැම් මාධ්‍ය ආයතන වල මෙවන් ක්‍රියා තරයේ හෙළා දකින අතර අපගේ බලවත් අප්‍රසාදය පළකර සිටිමට කැමැත්තෙමු.

එසේම මෙම කණගාටුදායක සිදුවීම පිළිබඳව සාධාරණ වූත්, අපක්ශපාතී වූත් කඩිණම් පරීක්ශණයක්, මෙම අදාල තාක්ශණික කාරණා සහ එම ක්ෂේත්‍රය පිළිබඳව දැනුම ඇති විද්වත් කමිටුවක් මාර්ගයෙන් සිදු කිරීමට රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලා සිටියි. එවන් විද්වත් කමිටුවක් හරහා සිදු කරන ස්වාධීන පරික්ෂණයකට අවශ්‍ය අපගේ පූර්ණ සහයෝගය ලබාදෙමින් කටයුතු කිරීමට සුදානම් බව මෙයින් දන්වා සිටිමු.