පේරාදේණිය විශ්වවිද්‍යාලයේ ලිංගික හිරිහැර ලක්වූ ආචාර්යවරියට යුක්තිය ඉටුවූ ආකාරය - නුවන් ඉෂාර මහගමගේ

university-of-peradeniya

විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක්, දන්ත වෛද්‍යවරියකට ලිංගික හිරිහැර කිරීමේ නඩුවේ තීන්දුව පසුගියදා ලැබුණා. ලංකාවේ විශ්වවිද්‍යාල තුළ සිදුවන ලිංගික හිරිහැර ගැන මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණය ගැඹුරින් සාකච්ඡා කෙරුවා. වැරදි කීපයකටම අදාලව මෙම මහාචාර්යවරයා වැරදිකරු බවත් සනාථ උනා. ඔහුට යළි අධ්‍යාපන ආයතනයක රැකියාව කිරීමත් මේ තීන්දුවෙන් තහනම් කෙරුවා.

කාට ද මොකක්ද උනේ? ඇයි මේ නඩුව වැදගත්? අපි දැන් නඩුව සවිස්තරාත්මකව කතා කරමු.

මේ නඩුව ගොනුකර තිබුණේ වෛද්‍ය W.A.M.U.L.අබයසිංහ මහත්මිය විසින්. ඒ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරියේ නිළධාරීන් කිහිප දෙනෙක්ට විරුද්ධව. මේ නිළධාරීන් අතර මහාචාර්ය W.M.තිලකරත්න මහතාගේ නමත් තිබුණා.

මේක අංශ ගණනාවකින් වැදගත් නඩුවක්. පළමුවැන්න තමයි, ලංකාවෙ අධ්‍යාපන ආයතනවල කාන්තාවන්ට සිදුවන කරදර ගැන ගැඹුරින් කතා කිරීම. දෙවැන්න තමයි මේක අපරාධ නඩුවක් නොවී, මූලික අයිතිවාසිකම් නඩුවක් ලෙස සිද්ධ වීම. තුන්වැන්න තමයි මූලික අයිතිවාසිකම් නඩුවක් පැවරිය යුතු “මාසයක“ කාල සීමාවට පසුව මේ නඩුව පැවරීම නිසා විශේෂ තීන්දුවක් ලබාදීම.

අපි බලමු සිදුවීම සහ තීන්දුව ගැන.

මේ නඩුව පවරපු ‘අබයසිංහ‘ මහත්මිය, දන්ත වෛද්‍යවරියක්. ඊට අමතරව දෙවැනි ශ්‍රේණියට උසස්වීම් ලද විශ්ව විද්‍යාල ආචාර්යවරියක්. ඇය ඉගැන්නුවේ රාජ්‍ය විශ්ව විද්‍යාලයක දන්ත වෛද්‍ය පීඨයේ.

නඩුවට අදාල ලිංගික හිරිහැරය සිද්ධ වෙනකොට ඇය පරිවාස ආචාර්යවරියක් (Probationary Lecturer). ඊට කලින් සහකාර ආචාර්යවරියක් විදිහටත් ඇය සේවය කරලා තිබුණා. ඊටත් අමතරව මේ කාලයේ ඇය, මේ පීඨයේම M.Phil.එකට ඉගෙනගනිමින් හිටපු ශිෂ්‍යාවක්.

කාට විරුද්ධවද මේ නීති ප්‍රශ්නය ආවෙ?

නඩුවේ නම් වග උත්තරකරුවන් ගණනාවක් හිටියා.

හැබැයි සිදුවීමට සම්බන්ධ පුද්ගලයා උනේ ‘අබයසිංහ‘ මහත්මියගේ අධ්‍යයන අධීක්ෂකයා හෙවත් senior academic supervisor වූ මහාචාර්ය W.M. තිලකරත්න. ඒ වගේම අබයසිංහ මහත්මියගේ M.Phil. එකේ සම අධීක්ෂකවරයෙක් විදිහටත් මේ මහාචාර්යවරයා කටයුතු කෙරුවා.

හිරිහැරයට ලක් වූ ‘අබයසිංහ‘ මහත්මිය සහ, හිරිහැරය සිදු කරපු මහාචාර්යවරයා අතර තිබුණු මේ සම්බන්ධය නඩුවේදී බොහොම වැදගත් උනා. මොකද ඇය සහ මහාචාර්යවරයා අතර ලොකු ගැප් එකක් තිබීම, ඒ කියන්නෙ කාන්තාව අඩු බලයක් සහිත තනතුරක සිටීම මේ සිදුවීමේදී බළපෑම්සහගත දෙයක් උනා.

මොකක්ද උනේ?

සිදුවීම උනේ 2017 ජූලි 1 වැනිදාත්, 2018 අප්‍රේල් 30 වැනිදාත් අතර කාලයේදි. මෙන්න මේ කියපු කාල සීමාවෙදි මහාචාර්යවරයා විසින් කරපු පහත වැරදි සම්බන්ධයෙන්,

  • නිතරම සිදු වූ වැළඳගැනීම
  • ඇයගේ අතින් ඇල්ලීම
  • ඇයගේ විරෝධය නොතකා පසු පෙදෙස සහ කකුල් ස්පර්ශ කිරීම
  • ජංගම දුරකතනයෙන් සයිබර් ක්‍රමයට ස්ටෝක් කිරීම
  • දැඩි ලෙස මානසිකව බළපෑමට ලක් කිරීම
  • ලිංගික හිරිහැර සම්බන්ධව විශ්ව විද්‍යාල මට්ටමෙන් තිබුණු රෙගුලාසි කඩකිරීම
  • අධ්‍යයන කාර්ය මණ්ඩලයේ විධිවිධාන සංග්‍රහය කඩකිරීම
  • විශ්ව විද්‍යාලය අපකීර්තියට පත්කිරීම
  • ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකු ලෙස ඔහු කෙරේ තබා තිබුණු විශ්වාසය කඩකිරීම

ආදී චෝදනා ගණනාවක් අධිකරණය විසින් ගොනු කෙරුවා. මේ සියල්ල සිද්ධ උනේ, අදාල කාන්තාව, මහාචාර්යවරයා යටතේ ඉගෙනගනිමින් ඉන්නකොට. මේ මහාචාර්යවරයාගේ අධීක්ෂණය යටතේ අධ්‍යයන කටයුතුවල නිරතවෙනකොට.

ඇයි මේක අපරාධ නඩුවක් නොවී, මානව හිමිකම් නඩුවක් උනේ?

මේක තමයි මේ නඩුවේ වැදගත්ම කොටස. සාමාන්‍යයෙන් ලිංගික හිරිහැරයක් අධිකරණයට එන්නෙම අපරාධයක් හැටියට. හැබැයි මේ නඩුව එතැනින් වෙනස්ම මාර්ගයකින් අධිකරණයට ආවෙ.

මේ වෛද්‍යවරියට උවමනා උනේ නෑ, අපරාධ නඩුවක් ගොනු කරන්න. නඩු තීන්දුව පැහැදිලිවම කියනවා ඇයට උවමනා උනේ, තමන් සේවය කළ විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය ගැන විශ්වාසය තියලා, ආයතනික මට්ටමෙන් මේ ප්‍රශ්නය විසඳාගන්න බව.

මේ හින්දා,

  • අදාල වෛද්‍යවරිය සිදුවීම උනාට පසුව පොලිසි ගියෙ නෑ
  • අපරාධ නඩුවක් ආරම්භ කෙරුවෙ නෑ
  • මේ වෛද්‍යවරිය බලාපොරොත්තු උනා, විශ්වවිද්‍යාලය විසින් නිසි විමර්ශනයක් කරලා, අවශ්‍ය දඬුවම් අභ්‍යන්තර ක්‍රමයකට ලබාදෙයි කියලා.

මේ හේතුමත ඇය අපරාධ නඩුවකට යෑම මඟහැරියා.

මේ අනුව, 2018 ජූලි 02 වැනිදා, අබයසිංහ මහත්මියගේ අම්මා විසින් විශ්වවිද්‍යාලයට අදාල පැමිණිල්ල ඉදිරිපත් කෙරුවා. ඒ තමන්ගෙ දුවට සිදු වූ ලිංගික හිරිහැර ගැන කියමින්. වෛද්‍යවරියගේ අම්මා, විශ්වවිද්‍යාල උපකුලපතිවරයාට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කෙරුවා.

මේ පැමිණිල්ල දුන්නෙ, අපි කලින් සාකච්ඡා කරපු මහාචාර්යවරයාට. එයා තමයි නඩුවේ පළමු වග උත්තරකරු උනෙත්.

වෛද්‍යවරියගේ අම්මා විසින් උපකුලපතිට භාර දුන් පැමිණිල්ලේ 2017 ජූලි සිට 2018 අප්‍රේල් වනතුරු සිද්ධ වූ, ලිංගික හිරිහැර, මානසික හිරිහැර සියල්ල සඳහන්ව තිබුණා.

විශ්වවිද්‍යාලය මොකද කිව්වෙ?

පැමිණිල්ල ලැබුණට පස්සෙ, විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා විසින්, 2018 සැප්තැම්බර් 26 වැනිදා විමර්ශන කමිටුවක් පත් කෙරුවා. මේ කමිටුවේ අරමුණ තමයි, අදාල අකටයුත්ත ගැන හොයලා බලන එක. මේ කමිටුව විසින් සිදුවීම ගැන හෙව්වා. තීරණයකට ආවා. කමිටුව නිර්දේශ කෙරුවා මේ සිදුවීම ගැන විධිමත් විනය පරීක්ෂණයක් පැවැත්වීම සුදුසුයි කියලා.

මේ කමිටු තීරණය, පසු කාලයේදි අධිකරණයට වැදගත් උනා. මොකද කමිටු තීරණයෙන් පේනවා, මේක ගැන විශේෂයෙන් අවධානය යොමු කළ යුතුය කියන මතයේ, විශ්ව විද්‍යාලය හිටපු බව.

විනය පරීක්ෂණයේදි මොකද උනේ?

මේ අනුව, 2019 ජනවාරි මාසෙදි, අදාල මහාචාර්යවරයාට විරුද්ධ චෝදනා ගැන දැනුම් දුන්නා. පරීක්ෂණය ආරම්භ උනා. 2019 මැයි මාසෙදි මේ චෝදනාවල සංශෝධන කීපයකුත් සිද්ධ කෙරුවා. 2019 මැයි 24 වැනිදා, මහාචාර්ය තිලකරත්න විසින් මේ චෝදනාවලට පිළිතුරු දුන්නා.

විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා විසින්, මහාචාර්ය තිලකරත්නට විරුද්ධ චෝදනා ගැන පත් කරපු විනය කමිටුවේ සාමාජිකයින් 3 දෙනෙක් හිටියා. කමිටුව විසින් නිල වශයෙන් තමන්ගෙ කටයුතු 2019 ජූලි 8 පටන් ගත්තා. 2019 සැප්තැම්බර් 29 වැනිදා අවසන් කෙරුවා. සැළකිය යුතු කාලයක් ගත කරමින් සිදු කරපු විනය පරීක්ෂණයක් මේක.

මේ පරීක්ෂණය සිද්ධ උනේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම් පනතෙ තියෙන නීතිවලට අනුව.

විශ්වවිද්‍යාල විනය කමිටුවේ තීරණය මොකක්ද?

නඟලා තිබුණු චෝදනා අතරින් කීපයකට, අදාල මහාචාර්යවරයා වැරදිකරු බවත්, තවත් කීපයකට ඔහු වැරදිකරු නොවන බවත් තමයි විනය කමිටුවේ තීරණය උනේ.

ඒ අනුව, ලිංගික හිරිහැර සම්බන්ධ හැම චෝදනාවකටම, මහාචාර්ය තිලකරත්න වැරදිකරුවෙක් බව විශ්වවිද්‍යාල විනය කමිටුව විසින් පිළිගත්තා.

ඊට පස්සෙ මොකද උනේ?

ඊට පස්සෙ තමයි, මේ නඩුවේ හැරවුම් ලක්ෂ්‍යය.

අදාල විනය කමිටුව තමන්ගෙ තීරණ සියල්ල සහිත වාර්ථාව, යුනිවසිටි කවුන්සිලයට බාර දුන්නා. ඒ 2020 මැයි මාසෙ තිබුණු කවුන්සිල මීටිමේදි.

යුනිවසිටි කවුන්සිලය විසින් බොහොම අදූරදර්ශී, අසාධාරණ තීරණයක් ගත්තා. ඒ අනුව, 2020 ජූලි මාසෙදි කවුන්සිලය විසින්, අදාල පෙත්සම්කාරියට (ඒ කියන්නෙ අගතියට පත් කාන්තාවට) කිව්වා, මහාචාර්යවරයාට විරුද්ධ චෝදනා සහ එම වාර්ථාව, කවුන්සිලය විසින් ප්‍රතික්ෂේප කරන බව. ඔවුන් මහාචාර්ය W.M.තිලකරත්නට විරුද්ධව කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තෙ නෑ. විශ්ව විද්‍යාල පාලනාධිකාරියේ අදහස උනේ, ‘අපි සහනයක් සළසන්නෑ, කැමති නම් වෙන තැනකින් සහනයක් හොයාගන්න‘ කියන එක.

මේකට හේතුවකුත් විශ්ව විද්‍යාල පරිපාලනය විසින් කිව්වා. අදාල විනය කමිටුව විසින්, මේ සිදුවීම වෙච්ච කාලය සහ, පැමිණිල්ල ඉදිරිපත් කිරීම අතර ලොකු කාලයක් ගත කිරීම ගැන අවධානය යොමු කරලා නෑ කිව්වා. ඒක තමයි හේතුව උනේ.

මහාචාර්යවරයා W.M.තිලකරත්න අදාල ලිංගික හිරිහැර කළ බවට, විනය කමිටුව තීරණය කරලාත්, විශ්ව විද්‍යාලය විසින් එය සුළුකොට තකමින් ක්‍රියාමාර්ග නොගැනීම, වෙද්‍යවරිය තවත් අපහසුතාවයට පත් කෙරුණා.

ඊළඟට මොකද උනේ?

අදාල වෛද්‍යවරිය විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට ගියා. ඒ අනුව, 2020 අගෝස්තු මාසෙදි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති විසින් ඇයට දැනුම් දුන්නා, විනය කමිටුවේ වාර්ථාව නැවත සළකා බලන්නැයි කියලා විශ්ව විද්‍යාලයට කියපු බව.

මේ අනුව, 2020 නොවැම්බර් මාසෙදි තිබුණු යුනිවසිටි කවුන්සිල හමුවෙදි නැවත මේක සාකච්ඡා උනා. කවුන්සියල මෙවරත් තමන්ගෙ තීරණය වෙනස් කෙරුවෙ නෑ. ඒ අනුව විශ්ව විද්‍යාල පාලනාධිකාරියේ තීරණය උනේ, විනය කමිටුවේ වාර්ථාව පිළි ගන්නෙ නැති බව. මහාචාර්යවරයාට විරුද්ධව පියවර ගන්නැති බව.

ඊළඟට?

මීළඟ පියවර විදිහට, වෛද්‍යවරිය මානව හිමිකම් කොමිසමට පැමිණිලි කෙරුවා. ඒ 2020 දෙසැම්බර් මාසෙදි යවපු ඊමේල් එකකින්.

මේ පැමිණිල්ල අනුව, මානව හිමිකම් කොමිසම විසින් පරීක්ෂණයක් කෙරුවාද නැද්ද ගැන, සඳහනක් නෑ. මාස ගණනාවක් පුරාම සහනයක් නොලැබුණු තැන, වෛද්‍යවරිය අවසාන පියවරක් විදිහට අධිකරණයට ගියා.

ඒ, මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරමින්. ඇය මේ පෙත්සම ගොනු කෙරුවෙ 2021 මාර්තු මාසෙදි.

මොකක්ද මූලික අයිතිවාසිකම් පෙත්සමක් කියන්නෙ?

මූලික අයිතිවාසිකම් පෙත්සමක් කියන්නෙ, කෙලින්ම ශ්‍රෙෂ්ඨාධිකරණයට ගොනු කරන පෙත්සම් වර්ග අතරින් එකක්. යම්කිසි රාජ්‍ය ආයතනයකින් හරි, රාජ්‍ය නිළධාරියෙකුගෙන් හරි සිද්ධ වන අසාධාරණයකට එරෙහිව තමයි මේ පැමිණිලි ගේන්නෙ. හැබැයි ඉතින් රජයේ නිළදාරියෙක්, අදාල නිළයේ නාමයෙන් කරන වැඩකට එරෙහිව වෙන්නත් ඕන.

මෙවැනි පෙත්සම් ගේන විදිහ ගැන, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ 17 සහ 126 වගන්තිවල පැහැදිලිව තිබෙනවා.

ඇයි අදාල වෛද්‍යවරිය මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගෙනාවෙ?

මේ පෙත්සම ගෙනාවෙ, විශ්ව විද්‍යාල පාලනාධිකාරියට එරෙහිව. විශ්ව විද්‍යාල පාලනාධිකාරිය කියන්නෙ රාජ්‍ය ආයතනයක්. ඒ හින්දා ඊට විරුද්ධව මූලික අයිතිවාසිකම් නඩුවක් ගේන්න හැකියාව තිබෙනවා.

වෛද්‍යවරිය කිව්වා, විශ්ව විද්‍යාල කවුන්සිලය විසින් තමන්ගෙ ප්‍රශ්නයට නිසි ක්‍රියාමාර්ග නොගත්තු බව. ඒක නීති විරෝධී, බලය අවභාවිත කළ, අත්තනෝමතික, අසාධාරණ ක්‍රියාවක් බව කිව්වා.

මෙහිදී වැදගත් නීති මූලධර්මයක් ගැනත් කතා උනා. ඒ තමයි “Ultra vires” කියන මූලධර්මය.

(ඒ කියන්නෙ, යම් ආයතනයක් විසින්, තමන්ට නීතියෙන් ලැබිලා තියෙන බලයට එපිටින් කටයුතු කරන එක.)

ඒ වගේම වෛද්‍යවරිය කිව්වා, විශ්ව විද්‍යාලය විසින් තමන්ගේ “Legitimate expectation” එක කඩකරපු බව.

(ඒ කියන්නෙ, යම් රජයේ ආයතනයක්, සාධාරණව සහ නීතිගරුකව කටයුතු කරාවි කියලා මිනිස්සු තුළ තිබෙන විශ්වාසය)

ඇත්ත, බැලූ බැල්මට මේ දෙකම විශ්ව විද්‍යාල පාලනාධිකාරිය විසින් උල්ලංඝනය කෙරුවා.

ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන පහත වගන්තිවල සඳහන් මූලික අයිතිවාසිකම් කඩ වූ බව වෛද්‍යවරිය කිව්වා.

  •  11 වන ව්‍යවස්ථාව: කෘෘර අමානුෂික සහ අවමන්සහගත සැළකිලිවලින් මිදීමට තියෙන අයිතිය
  • 12(1) වන ව්‍යවස්ථාව: නීතිය ඉදිරියේ සමානව සැළකීමක් ලැබීමට තිබෙන අයිතිය
  • 12(2) වන ව්‍යවස්ථාව: වෙනස්කොට සැළකීමෙන් මිදීමේ අයිතිය
  • වෛද්‍යවරිය මේ මූලික අයිතිවාසිකම් පෙත්සමෙන්, පහත දැක්වෙන සහන ඉල්ලුවා.
  • විශ්ව විද්‍යාල කවුන්සිලයේ තීරණය අවලංගු කරවීම
  • විනය කමිටුවේ තීරණය පිළිගන්නා ලෙස කවුන්සිලයට නියෝග කරවීම
  • අදාල මහාචාර්යවරයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට නියෝග කරවීම
  • ලිංගික හිරිහැර පිළිබඳව විශ්ව විද්‍යාල මට්ටමෙන් දැනුවත් කිරීමේ ව්‍යාපෘතියක් සඳහා අධිකරණ මඟපෙන්වීමක් ලබාදීම
  • ඊට අදාල වාර්ෂික සමුළුවක් ක්‍රියාත්මක කිරීම
  • වන්දි ලබාගැනීම

අධිකරණය මේ පෙත්සම සළකා බලන්න තීරණය කෙරුවා. ඊට හේතුව මේ සිද්ධියේදී බරපතළ ලෙස ඇයගේ මූලික අයිතිවාසිකම් කඩ වූ බව පේන්න තිබීම.

හැබැයි, අධිකරණයට මේ නඩුව අහන්න ප්‍රධාන බාධාවක් ආවා.

ඒ මොකක්ද?

ලංකාවෙ නීතියට අනුව, මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන්න ඕන, අදාල සිද්ධිය වෙලා මාසයක් ඇතුළත. නැතිනම් කාලය බාධාවක් වෙලා, ක්‍රියාමාර්ග ගන්න බැරිව යනවා. මේ බව, වග උත්තරකරුවන් (මහාචාර්යවරයාගේ පාර්ශ්වය) තර්ක කෙරුවා.

ඒ අනුව කවුන්සිලය විසින් ඇගේ අයිතිවාසිකම් කඩකිරීම සහ, ඇය අධිකරණයට පැමිණීම අතර මාසයකට වැඩි පරතරයක් තිබුණා.

  •  කවුන්සිලයේ තීරණය, වෛද්‍යවරිය දැනගත්තේ කවදාද?
  • ඊට පසුව සිදු වූ වැදගත් යමක් විසින්, කාලය ගතවීම සාධාරණීකරනය වෙනවාද?

මේ තමයි අධිකරණය සළකා බලපු දේවල්. ඒ අනුව අධිකරණයට පහත දේවල් පෙනී ගියා.

  •  කවුන්සිල තීරණය, ඇය දැනගෙන තිබුණෙ 2020 ජූලි.
  • පසුව ඇය විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම සමඟ කටයුතු කෙරුවා. ඒක නීතියට අනුව, අධිකරණයට ඒම සඳහා නිසි පටිපාටියක් නෙවෙයි
  • මේ අනුව, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම හේතුවෙන් කල්ගතවීම සාධාරණ හේතුවක් නෙවෙයි
  • ඇය විසින් මානව හිමිකම් කොමිසමටත්, හුදු පැමිණිල්ලක් කළා මිස, ඊට අදාල පරීක්ෂණයක් සිදු උනාදැයි නොදන්නා හෙයින්, ඒකත් අදාල කරගත්තෙ නෑ.

මේ අනුව, අධිකරණය තීරණය කෙරුවා, මේ නඩුව ගොනු කරන්න ඇය ප්‍රමාද වැඩි බව. ප්‍රමාදයට සාධාරණ නෛතික හේතුවක් නැති බව.

හැබැයි, මේ නඩුවේ විශේෂ තැන ඒක නෙවෙයි.

එහෙනම්?

එවැනි තත්ත්වයක් තිබියදීත්, නඩුව ඉවත නොදමා ඉදිරියට ගෙනිච්චා. ඒ තමයි සුවිශේෂීත්වය. මේක ඉතාම දුර්ලබ එහෙත්, අතිශයින් යුක්තිසහගත අවස්ථාවක්.

ගරු විනිසුරු ජනක්ද සිල්වා විසින් තීරණය කෙරුවා, මෙවන් තත්ත්වයකදී පවා අධිකරණයට අපක්ෂපාතීව සිය අධිකරණ බලය මෙහෙයවන්න පුළුවන් බව. යුක්තිය පසිඳලන්න පුළුවන් බව.

ඊට හේතු උනේ,

  •  නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කළයුතු වීම
  • රාජ්‍ය ආයතනයක් විසින් කරපු නීති විරෝධී වැඩක් නොතකා ඉන්න අධිකරණයට නොහැකි වීම
  • හුදු තාක්ෂණික කාරණයක් හේතුවෙන්, රාජ්‍ය ආයතනයකට සිය වගකීමෙන් පැන යන්න ඉඩදිය නොහැකි වීම

මේ අනුව, අධිකරණය මේ නඩුවේදී, අගතියට පත් තැනැත්තිය වෙනුවෙන් සහන සැළසිය හැකිදැයි විමසා බැලුවා.

මේ නඩුවේදී, අදාල මහාචාර්යවරයා තමන්ට තිබුණු ලිංගික හිරිහැර ගැන ඔප්පුවීම ප්‍රශ්න කෙරුවෙ නෑ. නඩුයන්න කල්ගත වීම වැනි තාක්ෂණික කාරණා තමයි ප්‍රශ්න කෙරුවෙ. අධිකරණය ඒ ගැන සිය අවධානය යොමු කෙරුවා.

ඊට අමතරව, සෑම සේවකයෙකුටම ආරක්ෂාකාරී සේවා වටපිටාවක් සහ සහයෝගී පරිසරයක් තිබෙන්න ඕනි බවත් කිව්වා.

ඒ වගේම, අන්තර්ජාතික නීතියේ එන CEDAW සම්මුතියත් අධිකරණය විසින් අදාල කරගත්තා.

මොකක්ද මේ CEDAW?

ඒ කියන්නෙ, Convention on the Elimination of All Forms of Discrimination Against Women හෙවත්, කාන්තාවන්ට එරෙහි සෑම අකාරයකම වෙනස්කම් පිටුදැකීම වෙනුවෙන් වූ සම්මුතිය.

මේ අනුව, ලංකාවේ නීතිය තුළ, සේවාස්ථානවලදී කාන්තාවන් ආරක්ෂා කෙරෙන නීති මූලධර්ම තිබෙන බව පැහැදිලි කෙරුවා. එවැනි තැනක සිදුවන ලිංගික හිරිහැරයක් නිසා, ඇයගේ කායික මානසික හානිය, වෘත්තීය ජීවිතය පළුදු වීම වැනි දෑ ඇති වෙන්න පුළුවන් බව පැහැදිලි කෙරුවා.

ලිංගික හිරිහැරයක් කියන්නෙ අතිශය සංවේදී ප්‍රබල සිදුවීමක්. මෙවැනි වෙලාවක කාන්තාවන් ඒ ගැන ප්‍රසිද්ධියේ කතා කරන්න බය වෙනවා. ඒ වගේම විවිධ තර්ජන හින්දා ඔවුන් නිහඬ වෙනවා. එයින් කම්පනයට පත් වෙනවා. මේ අනුව, යුනිවසිටි කවුන්සිලය විසින් විනය කමිටුවේ වාර්ථාව ප්‍රතික්ෂේප කරන්න හේතුව ලෙස කියූ “පළමු ප්‍රමාදයේ ස්වභාවය“ පැහැදිලි උනා.

එය, මේ නඩුව, “ඇගේ දෙවැනි ප්‍රමාදය“ නොතකා ඉදිරියට ගෙනයන්නත් හේතුවක්.

මොකක්ද අධිකරණ තීරණය උනේ?

මේක අපරාධ නඩුවක් නෙවෙයි. ඒ හින්දා අපරාධ නඩුවක් ගොනු කෙරුවා නම් ලැබෙන තීන්දුව මෙහිදී ලැබෙන්නෑ. මේක මූලික අයිතිවාසිකම් නඩුවක්. (අපරාධ නඩුවක් ගොනු කරන්න අදාල වින්දිත කාන්තාව අකැමැති වූ බව ලිපියේ මුලදී සඳහන් කෙරුවා)

ඒ අනුව, මූලික අයිතිවාසිකම් නඩුවකදී ලැබිය හැකි සහන ගණනාවක් සහිත නඩු තීන්දුවක් ලබාදෙන්න අධිකරණය කටයුතු කෙරුවා.

නඩු තීන්දුව ලබා දීමේදී, කාල සීමාවේ ප්‍රශ්නය නිසා මේ නඩුව පසුබෑමට ලක් උනා. නමුත්, නඩුව විභාග කොට අවසානයේදී, පැහැදිලි තනි තීන්දුවක් වෙනුවට අතිශය වැදගත් නියෝග කීපයක් නිකුත් කරන්න අධිකරණය තීරණය කෙරුවා.

පළමු නියෝගය:

අධිකරණය විසින්, ලිංගික හිරිහැර සිදුකළ පුද්ගලයා වූ, මහාචාර්ය W.M.තිලකරත්නට කිසිඳු අධ්‍යාපන ආයතනයක රැකියාවක් ලබාගැනීම තහනම් කෙරුවා. මහාචාර්ය තනතුර හෝ වෙනත් කිසිඳු තනතුරක් ඔහුට අධ්‍යාපන ආයතනයක් තුළ මින් ඉදිරියට දරන්න බෑ. ගෙවීම් කරන තනතුරක් හෝ ගෙවීම් නොකරන ස්වේච්ඡා තනතුරක් දරන්නත් බෑ. මේ අනුව අදාල මහාචාර්යවරයාව අතිශයින්ම තදබල “රැකියා තහනමකට“ ලක් කෙරුවා. මේක නඩුවෙන් ලැබුණු වටිනාම නියෝගයක්.

දෙවැනි නියෝගය:

මේක ලබාදුන්නෙ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට. මේ නියෝගයෙන් අධිකරණය විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට කිව්වා, මහාචාර්ය W.M.තිලකරත්නව කිසිම ආයතනයක සේවයට බඳවාගන්න එපා කියලා. ඒ කියන්නෙ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතේ තිබෙන විශ්ව විද්‍යාල හෝ අනෙක් අධ්‍යාපන ආයතන කිසිවක ඔහුට සේවය කිරීම තහනම්. මේ අනුව, ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියට නැවත ඔහුට එන්න බෑ.

තුන්වැනි නියෝගය:

මේක නිකුත් කෙරුවෙ විශ්ව විද්‍යාලයට. මේ අනුව, මෙම විශ්ව විද්‍යාලය විසින් ලිංගික හිරිහැර පිළිබඳව අදාල විශ්ව විද්‍යාලයේ ප්‍රතිපත්තියක් සකස් කරන්න ඕන. ඒක නිසි විදිහට ක්‍රියාත්මක කරන්න ඕන. සිසුන් සහ කාර්ය මණ්ඩලයට ඒ ගැන දැනුවත් කිරීම් කරන්න ඕන. වාර්ෂිකව ප්‍රගතිය සමාලෝචනය කරන්න ඕන. මේ නියෝගය කලින් දෙක වගේ දඬුවමක් නෙවෙයි. අනාගත සුබ සිද්ධිය තකා කරන ආයතනික වෙනස්කමක්.

ඔය තමයි අධිකරණ තීරණය.

අදාල වෛද්‍යවරිය අපරාධ නඩුවක් ගොනු කෙරුවා නම් තත්ත්වය වෙනස් වෙනවා ද? ඔව්. එවැන්නක් අධිකරණයේදී ඔප්පු උනා නම්, මහාචාර්යවරයා උපරිම සිර දඬුවම් ලබනවා. නමුත් මේක මූලික අයිතිවාසිකම් නඩුවක්. මේක ගොනු කෙරුවෙ, අදාල සිදුවීමට අභ්‍යන්තර ක්‍රියාමාර්ග ගැනීම පිණිස විශ්ව විද්‍යාලයට බළපෑම් කරන්න.

ලෝකයේ මූලික අයිතිවාසිකම් ක්ෂේත්‍රය දෙස බලද්දී, මේක බොහොම සුවිශේෂී එකක්.

ඊට හේතුව, බාධක ගණනාවක් තිබියදී, අදාල වින්දිත වෛද්‍යවරියගේ පාර්ශ්වයෙන් පවා නෛතික හිඩැස් තිබියදී, ඒ සියල්ල අතරින් ගමන් කොට, උපරිම යුක්තිය දිනාදීපු අවස්ථාවක් මේක. නඩු පවරන කාල සීමාව ඉක්මවීම නිසා අවසන් තීරණයක් නොදී, නියෝග කීපයක් හරහා යුක්තිය ඉටුකළ අවස්ථාවක් මේක.

ඒ වගේම, ලංකාවේ අධ්‍යාපන ආයතන පද්ධතියේ අකටයුතුකම් හෙළි වූ අවස්ථාවක්. ලිංගික හිරිහැර කරන මහාචාර්යවරුන්, ඔවුන්ව ආරක්ෂා කරන පාලනාධිකාරීන් හෙළි වූ අවස්ථාවක්. ඊට අමතරව මේ ආයතනවල තනතුරුවල බලය, ධූරාවලියේ ඉහළ සිටින අයගේ ආකල්ප, අයුක්තිය, නිසි අවබෝධයක් නැතිකම ආදී ප්‍රශ්න ගණනාවක ප්‍රතිපලයක් මේක.

විශ්ව විද්‍යාල පද්ධතිය වඩාත් විනිවිද පෙනෙන, වගකියන, ගරුත්වයක් සහිත, ආරක්ෂාකාරී, සමානාත්මතාවය අගයන තැනක් බවට පත් කරන්න අවශ්‍ය මූලික පියවර මේ නඩුවෙන් ලබාදුන්නා. මේ තීරණය ලබා දුන්නේ ගරු විනිසුරු ජනක් ද සිල්වා, ගරු විනිසුරු අචල වෙන්ගප්පුලි, ගරු විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු යන අය විසින්.

වැඩිදුර කියවන අයට නඩු අංකය: S.C.F.R. Application No. 81/2021

සටහන: ©️Nuwan Ishara Mahagamage | නුවන් ඉෂාර මහගමගේ FB පිටුවෙන්