රාජ්‍ය ව්‍යවසායන් සඳහා මෑන්පවර් ආයතනවල සේවාවන් ලබා ගැනීම නියාමනය කිරීම සහ මෑන්පවර් සේවකයින්ගේ කම්කරු අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ පත්‍රිකාවකට අනුමැතිව හිමිව තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකාවේ ඇතැම් රාජ්‍ය ව්‍යවසායයන් සිය ප්‍රධාන මෙහෙයුම් කටයුතු සඳහා සේවකයින් ඍජුව බඳවාගැනීම වෙනුවට බාහිර පාර්ශ්වීය මෑන්පවර් ආයතන මඟින් තාවකාලික පදනමින් සේවකයින් ලබා ගැනීම ක්‍රමානුකූලව වර්ධනය වීමේ ප්‍රවණතාවක් පසුගිය කාලසීමාව තුළ නිරීක්ෂණය වී තිබේ.
එමෙන්ම, එවැනි සේවකයින් සැලකිය යුතු තරම් වන දීර්ඝ කාලයක් තිස්සේ එකම රාජ්‍ය ආයතනයක සේවයේ යොදවා ගනු ලැබ ඇති අවස්ථා ද දක්නට ලැබේ. එහි ප්‍රතිඵලයක් ලෙස ස්ථිර සේවකයින් හා සමාන රාජකාරි ඉටු කරන නමුත් රැකියා සුරක්ෂිතතාව, ව්‍යවස්ථාපිත ප්‍රතිලාභ සහ නිසි නීතිමය පිළිගැනීමක් නොමැති අනාරක්ෂිත සේවා නියුක්තික ප්‍රජාවක් එම ආයතන තුළ බිහි වී ඇත.
එකී තත්ත්වය, සමාන කාර්යයයේ නිරතවන සේවකයින්ට සමාන වැටුප් සහ ප්‍රතිලාභ (Equal Pay For Equal Work) යන මූලික කම්කරු සංකල්පයෙන් බැහැර වීමකි. ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ පෞද්ගලික රැකියා නියෝජිතායතන ප්‍රඥප්තියට අනුව මෙරට සේවක අයිතිවාසිකම් හා සුබසාධනය තහවුරු කිරීම සිදු කළ යුතු බැවින්, මෑන්පවර් ආයතනවල සේවකයින් යෙදවීම නියාමනය කිරීම සහ ඔවුන්ගේ කම්කරු අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම උදෙසා පවතින නෛතික ප්‍රතිපාදන සංශෝධනය කිරීමේ අවශ්‍යතාව හඳුනා ගනු ලැබ ඇත.
ඒ අනුව, රාජ්‍ය ව්‍යවසායයන්හි මූලික ව්‍යාපාර කටයුතු සඳහා දැනටමත් දීර්ඝ කාලයක් තිස්සේ සේවයේ යොදවා ඇති මෑන්පවර් සේවකයින්ට අගතියක් නොවන අයුරින්, ඔවුන් සම්බන්ධයෙන් ගත යුතු පියවර සහ අදාළ නීතිරීති සංශෝධනය කිරීම පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අදාළ නිලධාරින් සහ පාර්ශ්වයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම පිණිස කම්කරු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිව හිමිව ඇත.

