වර්ථමානය වනවිට රටක් ලෙස ආර්ථිකය ස්ථාවර කරමින් සිටින බවත්, එය සරල පහසු රේඛීය මාර්ගයක ගමන් නොකරන බවත්, පවතින ලෝක යුධමය තත්ත්වය හමුවේ වුවද සියලු බර ජනතාව වෙතම නොදී සියල්ල කළමනාකරණය කරමින් ආර්ථිකය යම් ස්ථාවර තත්ත්වයකට පත් කරමින් සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කර සිටියේය.
අමාත්‍යවරයා මේබව පැවසූයේ පරිපාලන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී පුහුණුව සාර්ථකව අවසන් කළ නිලධාරිනියන් 275 දෙනෙකු සදහා සහතිකපත් බෙදාදීමේ උත්සවයට (26) දින පෙරවරුවේ එක්වෙමිනි. උත්සවය කොළඹ ශ්‍රී ලංකා ජාතික රෝහලේ නව බාහිර රෝගී අංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
මෙම පුහුණුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යාපන පුහුණු හා පර්යේෂණ අංශය විසින් කළුතර ජාතික සෞඛ්‍ය අධ්‍යාපන ආයතනයේ සම්භන්ධීකරණයෙන් දිවයින පුරා පළාත් මට්ටමින් පිහිටුවා ඇති පුහුණු මධ්‍යස්ථාන 11 කදී පවත්වන ලදී.
අයදුම්පත් කැදවා ජ්‍යෙෂ්ඨතාවය මධ්‍යම රජයේ සේවය කරනු ලබන අයදුම්කරුවන් 10 දෙනෙකු හා ඊට සමගාමීව පළාත් සභා මට්ටමින් සම්මුඛ පරීක්ෂණ පවත්වා අයදුම්කරුවන් 265 දෙනෙකු තෝරා 275 දෙනෙකු මෙම පුහුණුවට යොමු කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු කරන ලදී.
මාතෘ හා ළමා සෞඛ්‍ය සංවර්ධනය මූලික කොට ඇති සෞඛ්‍ය අධ්‍යපනය ලබා දීම, පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ රාජකාරී කටයුතු අධික්ෂණය, ක්ෂේත්‍ර පුහුණුවේදී සිසු පවුල් සෞඛ්‍ය සේවිකාවන් අධික්ෂණය ආදී රාජකාරී මෙම තනතුරට පැවරී ඇති වගකීම් අතර වේ.
මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙවර පැවති ලෝක සෞඛ්‍ය සමුළුවේ දී ශ්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවාව විශේෂ ඇගයීමකට,වර්ණනාවක පාත්‍ර වූ බව සදහන්කළ අතර එහි ගෞරවයේ ප්‍රධාන කොටසක් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනීයන් ඉටුකළ සේවය වෙනුවෙන් මෙරටට ලැබුණු බවද සදහන් කළේය.

විශේෂයෙන්ම තරුණ කාන්තාවන්ට, මව්වරුන්ට ගෙයින් ගෙට ගොස් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනීය අවස්ථානුකූලව මවක්, මිතුරියක්, සොයුරියක් වෙමින් ඉතාම සමීපව කටයුතු කරන බවත්, එලෙස කටයුතු කරමින් ඉටුකරනු ලබන සේවාව මහත්සේ අගය කරන බවත් අමාත්‍යවරයා මෙහි දී පැවසීය.
වර්ථමානය වන විට බෝනොවන රෝග පිළිබද ගැටළුවේදී එය නිරාකරණයට විශාල ආදර්ශයක් මෙරට පවුල් සෞඛ්‍ය සේවාව තුළින් ලැබෙන බව පෙන්වා දුන් අමාත්‍යවරයා අළුතින් ස්ථාපිත කරන ආරෝග්‍යා සුවතා මධ්‍යස්තාවල පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ටද සැලකියයුතු වැඩ කොටසක් ඉටුකිරීමට පැවරෙන බවද සදහන් කර සිටියේය.
එමෙන්ම ඉදිරියේ දී පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්යන්ට සිය සේවා කටයුකු සදහා යතුරු පැදි ලබා දීමට කටයුතු කරන බවත්, ලබන ජනවාරි මාසයේ නියමිත වැටුප් වැඩිවීම ලබා දීමට ක්‍රියාකරන බවද සදහන්කර සිටියේය.
පවුල් සෞඛ්‍ය සේවිකාවන් පූර්ව ප්‍රසව සංරක්ෂණය, අන්තර් ප්‍රසව සංරක්ෂණය සහ පසු ප්‍රසව සංරක්ෂණය යන තේමාවන් තුළ ගුණාත්මකවූත්, සානුකම්පිතවූත් සේවාවක් සපයමින් මාතෘ හා ළමා සෞඛ්‍ය සංවර්ෂණය මූලික කර සෞඛ්‍ය අධ්‍යපනය ලබා දීම වැනි මහත්වූ සේවාවක් සිදුකරනු ලබයි.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, අතිරේක ලේකම්වරුන්වන ජනක කිත්සිරි ගුණවර්ධන, චාමික එච් ගමගේ, විශේෂඥ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් වන සිසිර හර්ෂප්‍රිය කුමාර, විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා කුමාරපේලි, විශේෂඥ වෛද්‍ය සුරංග දොලමුල්ල, විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ,අධ්‍යක්ෂවරුන්වන වෛද්‍ය සමන්ත රණසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළුව එම අමාත්‍යාංශයේ නිලධාරීන්, වෘත්තීය සමිති නියෝජිතයන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

